බංගලි පුහුණුකරු මැතිව්ස් වෙනුවෙන් කම්පා වෙයි!

ICC Cricket World Cup 2023

6627

පසුගිය සඳුදා (06) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වුණු ලෝක කුසලාන තරගය අතරතුර සිදු වූ ඇන්ජලෝ මැතිව්ස්ගේ දැවී යාම සම්බන්ධ සිදුවීම පිළිබඳ බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු Allan Donald විසින් සිය අදහස් ප්‍රකාශ කර තිබෙනවා.

මෙම තරගයේ දී බංග්ලාදේශ නායක Shakib Al Hasanගේ ඉල්ලීමක් පරිදි හිටපු ශ්‍රී ලංකා නායක ඇන්ජලෝ මැතිව්ස් ක්‍රිකට් ඉතිහාසයේ පළමු වරට Timed Out අවස්ථාව යටතේ දැවී ගියා. මෙම සිදුවීමෙන් පසු සමස්ත ක්‍රිකට් ලෝකයම මේ පිළිබඳ කතාබහ කිරීමට පෙළඹුණු අතර තරගයෙන් පසුව බංග්ලාදේශ නායකයා ඒ පිළිබඳ පවසා තිබුණේ කණ්ඩායමේ ජයග්‍රහණය වෙනුවෙන් තමන් ඒ දේ සිදු කළ බවයි.

නමුත් සිදුවීමට මුහුණ දුන් මැතිව්ස් තරගයෙන් පසුව එය අතිශය පිළිකුල් සහගත අයුරින් විස්තර කළේ තම ක්‍රිකට් ජීවිතයේ කෙදිනක හෝ මෙවැනි අත්දැකීමක් අත්විඳ නොමැති බව පවසමිනුයි. 

මේ අතර තවත් හිටපු සහ වත්මන් ක්‍රිකට් තරු රැසක් ද මේ පිළිබඳ අදහස් දක්වා තිබූ අතර ඔවුන් බොහෝමයක් දෙනා Shakibගේ හැසිරීම විවේචනය කර තිබුණා. මේ අතර බංග්ලාදේශ වේගපන්දු පුහුණුකරු ලෙස කටයුතු කරන හිටපු දකුණු අප්‍රිකානු ක්‍රීඩක Allan Donald විසින් ද මේ පිළිබඳ CricBlog වෙබ් අඩවිය වෙත අදහස් දක්වා තිබුණේ මේ අයුරිනුයි.

“එය දකින්නට ලැබීම කලකිරීමට පත් කරවන සුළුයි. Shakib ඔහුගේ අවස්ථාව ලබා ගැනීම ගැන මට තේරුම් ගන්න පුළුවන්. ‘මම ජයග්‍රහණය කරන්න ඕනම දෙයක් කරනවා’ කියලයි ඔහු කිව්වේ. නමුත් ඔබට මගේ කටහඬින් තේරෙනවා මම ඒකට කැමති නැහැ කියලා. 

ඒ වගේ දෙයකට මම කැමති නැහැ. ශ්‍රී ලංකාවෙන් බිහි වූ ශ්‍රේෂ්ඨතම ක්‍රීඩකයෙක් එකඳු පන්දුවකට හෝ මුහුණ නොදී Timed Out වීමෙන් පිටියෙන් ඉවත් වෙලා යනවා බලන් ඉන්න ඇත්තටම අමාරුයි. 

ඔබ කතා කරන්නේ ක්‍රීඩාවේ දී එකිනෙකාට ඇති ගෞරවය, ක්‍රීඩාවේ ජීව ගුණය වගේ දේවල්. මම ඒ වගේ දේවල් (දැවී යාම වැනි) දකින්න කැමති නැහැ. ඒ තමයි මම. 

අපේ තරගයක දී කවුරු හරි කිව්වොත් ‘හරි, ඔබට ඉල්ලීමක් කරන්න පුළුවන්’ කියලා. මම කියන්නේ ‘ඇත්තටම, මේක වෙන්නේ නැහැ. මේක වෙන්න දෙන්න බැහැ.’ කියලා. 

තමන් ක්‍රීඩා කරන තරගයක එවැනි අවස්ථාවක් නිර්මාණය වුවහොත් කිසිසේත් ම අනෙක් ක්‍රීඩකයින්ට එවැනි තීරණයක් ගැනීමට ඉඩ ලබා නොදෙන බවයි Donald පවසන්නේ. එමෙන්ම සදීරගේ දැවී යාමෙන් පසුව පිටියට පිවිසි මැතිව්සගේ හිස්වැස්මේ ගැටලුව දකින මොහොතේ ක්‍රියා කළ යුතුව තිබූ ආකාරය ද Donald මෙහි දී තමන්ට අනුව පැහැදිලි කරනවා.

“ඔබට කියන්න පුළුවන් හොඳම දෙය තමයි, ‘හරි, කමක් නැහැ මිත්‍රයා. ඔබේ හිස්වැස්ම ඉක්මනට හදා ගන්න. ඔබට එය වෙනස් කර ගන්න වෙලාව තියෙනවාකියලා. 

එමෙන්ම එම සිදුවීම දෙස බලා හිඳිද්දී Shakib වෙත ගොස් එය නතර කරන මෙන් ඉල්ලා සිටීමට පවා සිතුනු බවයි Donald මෙහි දී වැඩිදුරටත් සඳහන් කරන්නේ. 

“එය සිදු වූ විට මම ඇත්තටම හිතුවේ පිටියට ගිහින් ‘ ඇති ඇති, අපි ඉන්නේ මේකට නෙවෙයි. අපි එවැනි කණ්ඩායමක් නෙවෙයි’ කියලා කියන්න. ඒක තමයි මගේ ක්ෂණික සිතුවිල්ල වුනේ. 

දේවල් හරි ඉක්මනට සිදු වුනා. නමුත් ඔබ අධිකාරිය ගැන කතා කරනවා නම් මම ප්‍රධාන පුහුණුකරු නෙවෙයි. මම නෙවෙයි භාරකාරත්වය දරන්නේ.  

මම දැක්කා Marais Erasmus කියනවා, ‘කරුණාකරලා ඇන්ජලෝ, දැන් ඔබට පිටියෙන් ඉවත් වෙන්න පුළුවන්’ කියලා කියනවා.

ඉන්පසුව දැක්කා ඇන්ජලෝ තමන්ගේ හිස්වැස්ම අරන් ගිහින් එය ප්‍රචාරක පුවරු වෙත විසි කරන අයුරු. මම පුදුමයට පත් වෙලා හිටියේ.”

එමෙන්ම තරගයෙන් අනතුරුව දෙපාර්ශවය අතර සුහද අතට අත දීමක් සිදු නොවීම ද තමා අපේක්ෂා කළ බවයි Donald විසින් මෙහි දී සඳහන් කර තිබුණේ.

මේ වන විට සිදුවීමෙන් පසු දින දෙකක් පමණ ගෙවී ගොස් ඇතත් තවමත් ඒ පිළිබඳ ඇති කතාබහේ නම් අඩුවක් සිදු වී නැහැ. එම නිසාම ඉදිරියේ දී ද මේ පිළිබඳ තවත් විශේෂ අදහස් නිකුත් වෙනු ඇතැයි අපට බලාපොරොත්තු විය හැකි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

ESPN Cricinfo ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<