Shakib ලෝක කුසලානයෙන් ඉවතට

ICC Cricket World Cup 2023

4177
ICC Cricket World Cup 2023

අතෙහි ඇති වූ ආබාධයක් නිසා බංග්ලාදේශ ක්‍රිකට් නායක Shakib Al Hasan හට ලෝක කුසලනයේ ඉතිරි තරගය අහිමි වන බව බංග්ලාදේශ ක්‍රිකට් පාලක මණ්ඩලය තහවුරු කර තිබෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ ඊයේ (06) පැවති තරගය අතරතුර ඔහු මෙලෙස ආබාධයට ලක්ව තිබෙන අතර ඔහුගේ ස්ථානය සඳහා Anamul Haque ආදේශ කරන බව ද ඔවුන් තහවුරු කර සිටියා.

ඒ අනුව Shakib නිල වශයෙන් ලෝක කුසලානයෙන් ඉවත් වන අතර ඉතිරි තරගයේ දී කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උප නායක Najmul Hossain Shanto විසින් සිදු කිරීමට නියමිත බව ද වාර්තා වෙනවා.

ශ්‍රී ලංකාව සමඟ පැවති තරගයේ දී තුන් ඉරියව්වෙන් දැක් වූ දස්කම් නිසා තරගයේ වීරයා සම්මානය Shakib හට හිමි වුනා.

තරගය අවසන් වීමෙන් පසුව අතෙහි ඇති වේදනාව නිසා ඔහුව වෛද්‍ය පරීක්ෂා සඳහා යොමු කර තිබෙන අතර එහි දී ඔහුගේ අතෙහි ඇඟිල්ලක අස්ථි බිඳීමක් සිදුව තිබෙන බව තහවුරු වී තිබෙනවා.

“ඔහුට ඉනිම ආරම්භයේ සිට මෙම වේදනාව තිබුණා. ඔහු වේදනා නාශක ලබා ගෙනයි දිගටම පිතිකරණයේ යෙදුණේ. ඔහුව වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමෙන් පසු අස්ථි බිඳීමක් සිදු වෙලා තියෙනවා කියලා තහවුරු වුනා.

ඒ නිසා ඔහුට සති තුන හතරක කාලයක් විවේක ගන්න සිදු වෙනවා. ඔහු (07) අද නැවතත් බංග්ලාදේශයට පිටත් වෙයි”, යැයි කණ්ඩායම් නිලධාරී Bayjedul Islam ප්‍රකාශ කළා.

බංග්ලාදේශ කණ්ඩායම මෙවර ලෝක කුසලානයේ මේ දක්වා තරග 8කට සහභාගී වී තරග දෙකක් ජයග්‍රහණය කර තිබෙන අතර ඔවුන් සහභාගී වන අවසන් තරගය ප්‍රබල ඕස්ට්‍රේලියා කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිතයි.

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<