Dharamsala හෙල්ලූ උණුසුම් තරගයක, වාර්තා රැසක්

ICC World Cup 2013

695

2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය ඊයේ (28) නිමා වූයේ ක්‍රිකට් පිටියට නව තරග වාර්තා රාශියක් ද එක් කරමින්.

ඒ අතර ප්‍රමුඛයෙන් ම සටහන් වෙන්නේ ලෝක කුසලාන ඉතිහාසයේ තරගයක දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව කණ්ඩායම් 2 එක් ව වාර්තා කිරීමයි.  ්‍

ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර තරගය

27 වැනි තරගය (දිවා) Dharamsala, ඔක්තෝබර් 28, 2023, ICC Cricket World Cup 

  • කාසියේ වාසිය – නවසීලන්තය  
  • තරගයේ වීරයා – Travis Head (ඕස්ට්‍රේලියාව) 

ඕස්ට්‍රේලියාව – සියලුම දෙනා දැවී 388 (49.2) David Warner 81, Travis Head 109, Mitchell Marsh 36, Glenn Maxwell 41, Josh Inglis 38, Pat Cummins 37, Trent Boult 3/77, Mitchell Santner 2/80, Glenn Phillips 3/37 

නවසීලන්තය – කඩුලු 9ක් දැවී 383 (50) Devon Conway 28, Will Young 32, Rachin Ravindra 116, Daryl Mitchell 54, Tom Latham 21, James Neesham 58, Josh Hazlewood 2/70, Pat Cummins 2/66, Adam Zampa 3/74 

ඕස්ට්‍රේලියාවට ලකුණු 5ක ජයක්.  

ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගයක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු 

  Runs  Team 1  Team 2  Wkts  Overs  Ground  Date 
1  771  ඕස්ට්‍රේලියාව  නවසීලන්තය  19  99.2  Dharamsala  28.10.23 
2  754  දකුණු අප්‍රිකාව  ශ්‍රී ලංකාව  15  94.5  Delhi  07.10.23 
3  714  ඕස්ට්‍රේලියාව  බංග්ලාදේශය  13  100.0  Nottingham  20.06.19 
4  689  පාකිස්තානය   ශ්‍රී ලංකාව  13  98.2  Hyderabad  10.10.23 
5  688  ඕස්ට්‍රේලියාව  ශ්‍රී ලංකාව  18  96.2  Sydney  08.03.15 

 

771: ලෝක කුසලාන තරගයක දී කණ්ඩායම් 2ක් එක්ව වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ මෙයයි. මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ඕස්ට්‍රේලියාව ලකුණු 388ක් ලබා ගත් අතර දෙවැනියට පන්දුවට පහර දුන් නවසීලන්තය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 383ක්.  

ඔවුන් මෙම වාර්තාව සතු කර ගත්තේ ඊට දින 21කට පෙර දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව එක්ව ලකුණු 754ක් ලබා ගනිමින්  තබා තිබූ වාර්තාව අභිබවා යමිනුයි.

6: ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගයක දී වාර්තා කරන ලද වැඩිම ලකුණු සංඛ්‍යාවන් අතර පළමුවෙන් ම ලියැවෙන තරග 10 අතරින්, 6කට සම්මාදන් වීමට ඕස්ට්‍රේලියාව මේ සමඟ සමත් වෙනවා. ඊට පසුව වැඩිම වාර ගණනක් ඊට එක් වී ඇත්තේ ශ්‍රී ලංකාව සහ පාකිස්තානයයි. ඔවුන් අවස්ථා 3 බැගින් ඊට එක් ව තිබෙනවා.

388/10 (49.2): ඕස්ට්‍රේලියාව විසින් මෙම තරගයේ දී වාර්තා කරන ලද ඉනිම නවසීලන්තයට එරෙහිව ලෝක කුසලාන තරගවල දී වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත්වුනා. එහි ඊට පෙර රැඳී තිබුණේ ඕස්ට්‍රේලියාව විසින් ම 2007 ලෝක කුසලාන තරගාවලියේ දී කඩුලු 6ක් දැවී ලබා සිටි ලකුණු 348යි.

  • ඕස්ට්‍රේලියාවේ මෙම වාර්තාගත ඉනිම නවසීලන්තයට එරෙහිව ජාත්‍යන්තර එක්දින තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් එල්ල කරන ලද වැඩිම ලකුණු අතර තෙවැනි ස්ථානයට පත් වුනා.

එහි පළමු ස්ථානය 2015 වසරේ දී එංගලන්ත විසින් කඩුලු 9ක් දැවී ලබා ගත් ලකුණු 408ට ද සහ දෙවැනි ස්ථානය 2009 වසරේ දී ඉන්දියාව විසින් කඩුලු 9ක් දැවී ලබා ගන්නා ලද ලකුණු 392ට ද හිමි වෙනවා.  

350+: ඕස්ට්‍රේලියාව විසින් මෙම තරගයේ දී ද ලකුණු 350 සීමාව ඉක්මවා යමින් පිට පිට ම තරග ත්‍රිත්වයක දී එම දක්ෂතාව දැක් වූ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ එක ම කණ්ඩායම බවට පත් වුනා.

383/9 (50): නවසීලන්තය මෙම තරගයේ දී වාර්තා කරන ලද මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන තරගයක දී කණ්ඩායමක් හඹාගොස් ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව බවට පත්වුනා.

එහි ඊට පෙර පළමු ස්ථානයේ රැඳී සිටියේ පාකිස්තානයයි. ඔවුන් මෙම ලෝක කුසලානයේ 8 වැනි තරගයේ දී ශ්‍රී ලංකාව ලබා ගත් ලකුණු 344ක් හඹා යමින් කඩුලු 4ක් පමණක් දැවී ලකුණු 345ක් ලබා ගනිමින් එහි පළමු අසුනට පත් ව සිටියා.

  • මෙම ලකුණු සංඛ්‍යාව ලෝක කුසලාන තරග ඉතිහාසයේ නවසීලන්ත ක්‍රීඩකයෝ ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව ලබා ගන්නා ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාවන් අතර දෙවැනි ස්ථානයට පත්වුනා. එහි පළමු ස්ථානය හිමිව ඇත්තේ 2015 ලෝක කුසලානයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව කඩුලු 6ක් දැවී ලබා ගත් ලකුණු 393යි.
  • ඕස්ට්‍රේලියාවට එරෙහිව ලෝක කුසලාන තරගයක දී වාර්තා වූ ඉහළ ම ලකුණු සංඛ්‍යාවේ වාර්තාව ද මෙම ඉනිමත් සමඟින් නවසීලන්තය සතු කරගත්තා.

ඊට පෙර ඉන්දියාව 2019 ලෝක කුසලාන තරගයක දී ඕස්ට්‍රේලියාව එරෙහිව කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු 352 එහි පළමු ස්ථානයේ රැඳී තිබුණා.

118: මෙම තරගයේ දී ඕස්ට්‍රේලියා ක්‍රීඩකයෝ පළමු පන්දුවාර 10 තුළ ලකුණු 118ක් ලබා ගන්නා ලද අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ එවැනි දක්ෂතාව කළ දෙවැනි අවස්ථාව බවට පත්වුනා. එහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව්වනුයි. ඔවුන් 2003 වසරේ දී කැනඩාවට එරෙහිව ලකුණු 119ක් ලබා ගනිමින් එහි පළමු අසුන හිමිකර ගෙන සිටිනවා.  

  • ඕස්ට්‍රේලියාවේ මෙම ඉනිම ජාත්‍යන්තර එක්දින තරගවල දී, නවසීලන්තය සමඟින් තෙවැනි ස්ථානයේ සම ව අසුන් ගන්නවා. 2015 වසරේ දී නවසීලන්තය, ශ්‍රී ලංකාවට එරෙහිව මේ ලෙසින් ම දක්ෂතා දක්වනවා.  

එම ලැයිස්තුවේ පළමු ස්ථානයේ රැඳී සිටින්නේ ශ්‍රී ලංකාවයි. ඔවුන් 2006 වසරේ දී එංගලන්තයට එරෙහිව ලකුණු 133ක් ලබා ගනිමින් එම ලැයිස්තුවේ පළමුවැනියා වී සිටින අතර දෙවැනි ස්ථානය කැනඩාවට එරෙහිව ලකුණු 119ක් ලබා ගත් බටහිර ඉන්දීය කොදෙව්වෝ 2003 වසරේ සිට රැඳී සිටිනවා.  

32x6s: මෙම තරගයේ දී ඕස්ට්‍රේලියාව හයේ පහර 20ක් සහ නවසීලන්තය හයේ පහර 12ක් ලෙසින් හයේ පහර 32ක් ලබා ගන්නා ලද අතර එය ලෝක කුසලාන තරග ඉතිහාසයේ තරගයක දී දෙවැනියට වාර්තා වූ වැඩිම හයේ පහර සංඛ්‍යාවේ තරගය බවට පත්වුනා.  

මෙහි පළමු ස්ථානයේ රැඳී සිටින්නේ එංගලන්තය සහ ඇෆ්ගනිස්තානයයි. ඔවුන් 2019 ලෝක කුසලානයේ දී හයේ පහර 33ක් ලබා ගනිමින් එම ස්ථානයේ රැඳී සිටිනවා. එහි දී එංගලන්තය හයේ පහර 25ක් සහ ඇෆ්ගනිස්තානය හයේ පහර 8ක් ලබා ගනිමින් එම ස්ථානයේ රැදී සිටිනවා.

20x6s: මෙම තරගයේ දී ඕස්ට්‍රේලියාව විසින් එල්ල කරන ලද හයේ පහර 20 එක්දින ජාත්‍යන්තර තරග ඉතිහාසයේ කණ්ඩායමක් විසින් ප්‍රතිවාදී කණ්ඩායමකට එරෙහිව වාර්තා කරන ලද වැඩිම හයේ පහර සංඛ්‍යාවේ වාර්තාවයි.

ඊට පෙර මෙම වාර්තාව සතු කරගෙන සිටියේ 2013 වසරේ දී ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර තරගයේ දී ඉන්දියාව විසින් එල්ල කරන ලද හයේ පහර 19යි.

10x6s: මෙම තරගයේ දී ඕස්ට්‍රේලියානු පිතිකරුවෝ පළමු පන්දුවාර 10 තුළ දී හයේ පහර 10ක් ලබා ගැනීමට සමත් වන අතර එය 2019 වසරේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් විසින් එංගලන්තයට එරෙහිව දැක්වූ දක්ෂතාව හා සමතැන් ගන්නවා.

59: ඕස්ට්‍රේලියාවේ ආරම්භක වමත් පිතිකරු Travis Head මෙම තරගයේ දී පන්දු 59ක දී වාර්තා කරන ලද ශතකය ලෝක කුසලාන තරග ඉතිහාසයේ ආරම්භක පිතිකරුවෙක් විසින් වාර්තා කරන ලද වේගවත් ම ශතකය බවට පත්වුනා.

ඊට පෙර මෙම වාර්තාව සතු ව තිබුණේ මෙවර ලෝක කුසලානයේ දී ඉන්දියාවේ Rohit Sharma විසින් ඇෆ්ගනිස්තානයට එරෙහිව පන්දු 63ක දී ලබා ගන්නා ලද ශතකයයි. 

  • එමෙන්ම ඔහුගේ එම ශතකය තම මංගල ලෝක කුසලාන තරගයේ දී වාර්තා වූ අතර එය ලෝක කුසලාන වාර්තා පොත් අතරට එක් වෙන්නේ වේගවත් ම කෝඩුකාර ශතකය ලෙසයි. මීට පෙර එම වාර්තාව සතුව තිබුණේ දකුණු අප්‍රිකාවේ  David Miller වෙතයි. ඔහු 2015 වසරේ දී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව පන්දු 81ක දී තම මංගල තරගයේ දී ශතකය වාර්තා කළා. 
  • Travis Headගේ මෙම ශතකය නවසීලන්තයට එරෙහිව එක්දින ජාත්‍යන්තර තරගවල වාර්තා කරන ලද වේගවත් ම ශතක අතර තෙවැනි තැනට පත්වුනා. එහි පළමු අසුන 2019 වසරේ දී පන්දු 57ක දී ශතකය වාර්තා කළ ශ්‍රී ලංකාවේ තිසර පෙරේරා සතු වන අතර දෙවැනි අසුන  පන්දු 58ක දී ශතකය වාර්තා කළ එංගලන්තයේ Jonny Bairstow සතු වෙනවා.
  • Travis Headගේ මෙම ශතකය ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්තයට එරෙහිව වාර්තා කරන ලද වේගවත් ම ශතකය බවට ද පත්වුනා. ඊට පෙර එම වාර්තාව සතුව තිබුණේ 2019 වසරේ දී පන්දු 80ක දී ශතකය වාර්තා කළ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩක Carlos Brathwaite වෙතයි.

77: නවසීලන්තයේ Rachin Ravindra මෙම තරගයේ දී පන්දු 77ක දී තම ශතකය වාර්තා කරන ලද අතර එය ලෝක කුසලාන ඉතිහාසයේ නවසීලන්ත ක්‍රීඩකයෙක් වාර්තා කරන ලද වේගවත් ම ශතක බවට පත්වුනා

එම අසුන, මීට පෙර ද හිමි ව තිබුණේ Rachin Ravindra වෙතයි. ඒ මෙවර ලෝක කුසලානයේ දී එංගලන්තයට එරෙහිව පන්දු 82කින් වාර්තා කරන ලද ශතකටයි.

  • ඕස්ට්‍රේලියාවට එරෙහිව වාර්තා කරන ලද වේගවත් ම ශතකයේ හිමිකාරීත්වය ද Rachin Ravindra මෙම තරගයේ දී තම ඉනිමට වෙන්කර ගන්නවා. එහි ඊට පෙර රැඳී තිබුණේ 1975 පළමු ලෝක කුසලානයේ දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ Clive Llyod පන්දු 82කින් වාර්තා කරන ලද ශතකයයි.

0/89 (9): මේ දක්වා ලෝක කුසලාන කඩුලු 56ක් හිමිකර ගෙන සිටින ඕස්ට්‍රේලියාවේ වමතින් වේගපන්දු යවන Mitchell Starc මෙම තරගයේ දී පන්දුවාර 9.0ක් යැව්ව ද, එකඳු හෝ කඩුල්ලක් දවා ගැනීමට නොහැකි වෙනවා. එය ඔහුගේ ක්‍රිකට්  වාර්තා පොත් අතරට එක් වෙන්නේ, ලෝක කුසලාන තරගාවලි 3ක තරග 24ක දී කඩුල්ලක් දවා නොගත් එක ම අවස්ථාව ලෙසයි. 

2023 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය පිළිබඳ සියලු උණුසුම් පුවත් සහ පිටියෙන් පිටත සිදු වූ රසබර තොරතුරු ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<