ත්‍රිත්ව ක්‍රීඩකයෝ කටුගස්තොට කඳවුර වනසයි

Upcountry Battle of the Blues

102

මහනුවර ත්‍රිත්ව විද්‍යාලය සහ කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලය අතර පැවැති 105 වැනි “කන්ද උඩරට නිල් මහා සටනට” සමගාමීව පැවැති වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගයෙන් ලකුණු 100ක ජයග්‍රහණයක් ලබා ගැනීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් වූවා.

මෙවර මෙම තරගය පැවැතියේ 42 වැනි වරටයි.

කටුගස්තොට සාන්ත අන්තෝනි විද්‍යාලයීය පිටියේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ත්‍රිත්ව විද්‍යාලය කඩුලු 9ක් දැවී ලකුණු 228ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලයට ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 128ක් පමණයි.

Upcountry Battle of the Blues, Limited Over, කටුගස්තොට, 23 මාර්තු 2024

කාසියේ වාසිය – සාන්ත අන්තෝනි විද්‍යාලය

ක්‍රීඩාංගණය – සාන්ත අන්තෝනි විද්‍යාලය, කටුගස්තොට.

සාන්ත අන්තෝනි විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – තිසර ඒකනායක (නායක), කෞෂික කුමාරසිංහ, ජානුක රත්නායක (කඩුලු රකින්නා), ජනිත් රත්නසිරි, දිනුර ගනේගොඩ, කෙවන් ප්‍රනාන්දු, ඉඳුවර ගලපිටගේ, කවීෂ පියුමාල්, බිමාෂ් සමරසිංහ, චාරුක ඒකනායක, දසුන් වැලිඅංග.

ත්‍රිත්ව විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – දිමන්ත මහවිතාන (නායක), විදුක ධම්මගේ, සුපුන් වඩුගේ, දිනූෂ පීරිස්, මනුල කුලරත්න, ජනිත් රවිශ්ක, වතිල උදාර, තරණ විමලධර්ම, දිනුක තෙන්නකෝන්, මලිත් රත්තානයක, තිසල් යාපා.

කාසියේ වාසිය දිනා ගත් සත්කාරක සාන්ත අන්තෝනි විද්‍යාලයීය නායකයාගේ ආරාධනාව අනුව ත්‍රිත්ව ඉනිම ආරම්භ කරන්නට පිටියට පිවිසෙන්නේ නායක දිමන්ත මහවිතාන සහ විදුක ධම්මගේ. ඔවුන් දෙදෙනා එක් ව පළමු කඩුල්ලට ලකුණු 51ක සබඳතාවක් එක් කළා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ විදුක ධම්මගේ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 24ක් ලබා සිටියා.

ඉන් අනතුරුව පිටියට පිවිසි සුපුන් වඩුගේ, දිමන්ත මහවිතාන සමඟ එක් වී 2 වැනි කඩුල්ලට ද ලකුණු 72ක සබඳතාවක් එක් කළා.

එහි දී දිමන්ත මහවිතාන පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 55ක් ලබා ගත් අතර සුපුන් වඩුගේ පන්දු 71කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 56ක් ලබා ගත්තා.

ඉන් අනතුරු ව ත්‍රිත්ව ඉනිමට සැලකිය යුතු ලකුණු ප්‍රමාණයක් එක් කළේ ජනිත රවිශ්ක. ඔහු පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 39ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී තිසර ඒකනායක ලකුණු 29කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ ම හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව කවිෂ පියුමාල් සහ චාරුක ඒකනායක කඩුල්ල බැගින් බෙදා ගත්තා.

ලකුණු 229ක හඹායන පිළිතුරු ඉනිම නායක තිසර ඒකනායක සහ කෞෂික කුමාරසිංහ විසින් ආරම්භ කළ ද ඔවුන්ට සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඔවුන්ගේ අසාර්ථක වීමත් සමඟින් සාන්ත අන්තෝනි පළමු කඩුලු 6 ලකුණු 44ක් තුළ දවා ගැනීමට සංචාරක පන්දු යවන්නෝ සමත් වූවා.

ඔවුන්ගේ පීඩනය හමුවේ ඉඳුවර ගලපිටගේ පන්දු 88කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 40ක් ලබා ගැනීමට සමත් වුවා. ඔහුට අමතර ව ජානුක රත්නායක පන්දු 29ක දී හතරේ පහර 5ක් සමඟින් ලකුණු 29ක් ද සහ කවිෂ පියුමාල් පන්දු 41ක දී හතරේ පහර 4ක් සමඟින් ලුණු 22ක් ලබා ගත්තා.

කඩුලු දවා ගැනිමේ දී දිනුක තෙන්නකෝන් සහ තරණ විමලධර්ම කඩුලු 3ක් බැගින් බෙදා ගත් අතර මලිත් රත්නායක කඩුලු 2ක් ද සහ මනුල කුලරත්න කඩුල්ලක් ද දවා ගත්තා. කඩුල්ලක් ලබා නොගත්ත ද පන්දු වාර 9ක් ලකුණු 19කට සීමා කරමින් යැවීමට සුපුන් වඩුගේ සමත් වීම කැපී පෙණුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

ත්‍රිත්ව විද්‍යාලය – කඩුලු 9ක් දැවී 228 (50.0) දිමන්ත මහවිතාන 55, විදුක ධම්මගේ 24, සුපුන් වඩුගේ 56, ජනිත් රවිශ්ක 39, තිසර ඒකනායක 5/29

සාන්ත අන්තෝනි විද්‍යාලය – සියලුම දෙනා දැවී 128 (41.3) ජානුක රත්නායක 29, ඉඳුවර ගලපිටගේ 40, කවීෂ පියුමාල් 22, දිනුක තෙන්නකෝන් 3/19, තරණ විමලධර්ම 3/19, මලිත් රත්නායක 2/18

ත්‍රිත්ව විද්‍යාලයට ලකුණු 100ක ජයක්.

  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – තිසර ඒකනායක (සාන්ත අන්තෝනි විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – දීමන්ත මහවිතාන (ත්‍රිත්ව විද්‍යාලය)
  • තරගයේ වීරයා – සුපුන් වඩුගේ (ත්‍රිත්ව විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<