කන්ද උඩරට සුලෝහිතයනුත් ගැටෙන්නට සූදානම්

117th Hill Capitals Battle of the Maroons

81

මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර 117 වැනි වරටත් පැවැත්වෙන කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම වාර්ෂික මහා ක්‍රිකට් තරගය මේ මස 22 සහ 23 දෙදින පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

මෙම තරගය මෙරට ආරම්භ වූ පැරණිතම වාර්ෂික මහා ක්‍රිකට් තරග අතුරින් දෙවැනි වන්නේ කොළඹ රාජකීය විද්‍යාලය සහ ගල්කිස්ස සාන්ත තෝමස් විද්‍යාලය අතර පැවැත්වෙන නිල් මහා සටනට පමණයි. ඔවුන් 1879 දී නිල් සටන ආරම්භ කරන ලද අතර කන්ද උඩරට නිල් සටනේ ආරම්භය සටහන් වෙන්නේ 1893 වසරේදීයි.

ටී. බී. තෙන්නකෝන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරග මාලාවේ මෙතෙක් පැවැති තරග අතුරින් ධර්මරාජ විද්‍යාලය තරග 35ක ජයග්‍රහණ ද සහ කිංස්වුඩ් විද්‍යාලය තරග 19ක ජයග්‍රහණ ද ලබා ගනිමින් නිමා වී තිබෙනවා. තරග 62ක් නිමා වී ඇත්තේ නොවිසඳුණ තරග ලෙසයි.

දෙවිදුහල් අතුරින් අවසන් වරට ජයග්‍රහණයක් වාර්තා වී ඇත්තේ 2015 වසරේදීයි. ඒ තරුෂ වරාගොඩ ගේ නායකත්වයෙන් යුත් ධර්මරාජ විද්‍යාලයයි.  කිංස්වුඩ් විද්‍යාලය අවසන් වරට සුලෝහිත සංග්‍රාමයක් ජයග්‍රහණය කර ඇත්තේ මිට වසර 66කට පෙර එනම් 1958 වසරේදීයි. එවර එම කණ්ඩායමේ නායකත්වයේ කටයුතු කර ඇත්තේ මොරිස් ප්‍රනාන්දුයි.

ධර්මරාජ විද්‍යාලය වසර 9ක් තිස්සේත් සහ කිංස්වුඩ් විද්‍යාලය දශක 6ක් තිස්සේ නොලද ජයග්‍රහණයන් මෙම තරගයේ දී බලාපොරොත්තු වන බැවින් මෙවර කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමය වඩාත් උණුසුම් වෙතැයි බලාපොරොත්තු විය හැකියි.

ඒ අනුව එහි වැඩි වගකීම් බෙදී යන්නේ දෙවිදුහල් හී නායකයන් වෙතයි. මෙවර ධර්මරාජ විද්‍යාලය මෙහෙයවීමේ වගකීම පැවැරී ඇත්තේ 5 වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක දුලන බන්දුලසේන වෙත වන අතර කිංස්වුඩ් නායකත්වය සිව් වැනි වසරේ වර්ණලාභී ක්‍රීඩක නෙලුක දිසානයක සතු වෙනවා.

කිංස්වුඩ් විද්‍යාලය

ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ තරග 9කට සහභාගී වූ කිංස්වුඩ් විද්‍යාලය එම තරග අවසන් කරනනේ ඒ අතුරින් තරග 3ක් ජයග්‍රහණය කිරීමට සමත් වෙමිනුයි. තවත් තරග 3ක් පරාජය වෙමින් අවසන් කරද්දී ඉතිරි තරග 3 විසඳුමකින් තොරව අවසන් කළ තරග ලෙසයි සටහන් වෙන්නේ.

පන්දු යවන්නන්ගේ වැඩි දක්ෂතාවලින් පරිපූර්ණ කිංස්වුඩ් විද්‍යාලය මෙවර තරගයේ දී එම දක්ෂතා සමඟින් ම තරගයට එළැඹීම ඔවුන්ගේ ප්‍රමුඛ සැලසුම විය හැකියි. එහි දී ඔවුන්ගේ ප්‍රබල තුරුම්පුව වන්නේ මේ දක්වා කඩුලු 40ක් ඉක්මවා ලබා සිටින වමතින් දඟ පන්දු යවන කෙනුල පිහිලංගේයි.

ඊට අමතර ව නායක නෙලුක දිසානයක, අමේෂ රූපසිංහ, දිනුක සඳරුවන්, යොසත් අබේකෝන් සහ ඩිල්ශාන් වීරවංශ කිංස්වුඩ් පන්දු යැවීමේ බලඇණිය ශකිත්මත් කිරීමට සූදානම් ව සිටින්නෝ ලෙසින් හැඳින්වෙනවා.

පිතිකරුවන් අතුරින් ඉහළින් ම කියැවෙන්නේ උප නායක කවිජ ගමගේ ගේ නමයි. ඔහු මෙම තරගවාරයේ දී කෑගල්ල සාන්ත මේරිස් විද්‍යාලයට සහ තෝලංගමුව ඩඩ්ලි සේනානායක විද්‍යාලවලට එරෙහිව වාර්තා කරන ලද ශතක ද සමඟින් ලකුණු 650ක් ඉක්මවා ලබා සිටිනවා.

ඊට අමතර ව නිලක්ෂ නානායක්කාර, බරණ රත්නායක සහ කඩුලු රැකීමේ ක්‍රීඩක අමිරු අමුණුපොළ පිතිකරු ලැයිස්තුව ශක්තිමත් කරන්නෝ ලෙසින් හැඳින්වෙනවා.

කිංස්වුඩ් විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: නෙලුක දිසානායක (නායක), කවිජ ගමගේ (උප නායක), පමුදිත බණ්ඩාර, සදීශ රත්නායක, චනුල් කොඩිතුවක්කු, අමේෂ් රූපසිංහ, අමිරු අමුණුපොළ, දමිත රත්නායක, උපාධි ජයවර්ධන, නදීශ බණ්ඩාරනායක, ගෞරංග බණ්ඩාර, යොසත් අබේකෝන්, ආධීල් ෂෙරීෆ්, හරිත් ගුණසේකර, බරණ රත්නායක, කෙනුල පිහිලංගේ, රිස්වාන් රසාක්, රනීශ් හේරත්, ඩිල්ශාන් වීරවංශ, සඳරුවන් නවරත්න.

නාමල් චන්ද්‍රකුමාර (විදුහල්පති), ලක්ෂාන් තිලකරත්න (ක්‍රීඩා භාර ආචාර්ය), තිස්ස විජේරත්න (ක්‍රිකට් අධ්‍යක්ෂ),  ඇසල ජයරත්න (ක්‍රිකට් භාර ආචාර්ය), සුරේෂ් පීරිස් (ප්‍රධාන පුහුණුකරු), හිසර බණ්ඩාර (සහාය පුහුණුකරු).

ධර්මරාජ විද්‍යාලය

ධර්මාරාජ විද්‍යාලය මෙවර ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කළ වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ දී තරග 13ක් ක්‍රීඩා කරමින් ඉන් තරග 7ක් ජයග්‍රහණය කිරීමට සමත් වූවා. අනෙකුත් තරග අතුරින් තරග 2ක් පරාජය වෙද්දී ඉතිරි තරග 4 නිමා කරන්නේ විසඳුමකින් තොරව අවසන් වූ තරග ලෙසයි.

ධර්මරාජ විද්‍යාලය සතු ප්‍රබලත ම ක්‍රීඩකයා වෙන්නේ ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් කණ්ඩායම නියෝජනය කළ පුලිඳු පෙරේරායි. එම කණ්ඩායම හා එක්වෙමින් අවසන් කළ තරග වැඩි ප්‍රමාණයක දී පිතිකරුවෙක් ලෙසින් දැක් වූ දක්ෂතා මෙම තරගයේ දී ද ඔහුගෙන් බලාපොරොත්තු වීමත් ඒ අනුව ඔහු කෙරෙහි වැඩි විශ්වාසය තැබීමත් සිදු වෙනවා.

ඔහු මෙම කණ්ඩායම හා එක් වෙන්නේ උප නායකයා ලෙසයි. ජාතික කණ්ඩායම හා දිගු කලක් එක් ව සිටීම හේතුවෙන් ඔහුට මෙවර පාසල් තරගාවලියේ දී පාසල් කණ්ඩායම හා සමඟ එක් වීමට අවකාශ ලැබෙන්නේ තරග කිහිපයකට පමණයි. එසේ වූවත් ඔහු මෙවර පාසල් ක්‍රිකට් වාරයේ දී ලකුණු 500ක් ඉක්මවා ලබා ගැනීමට සමත් ව සිටිනවා.

කණ්ඩායමේ නායක දුලන බන්දුලසේන වමත් තුන් ඉරියව් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසයි සැලකෙන්නේ. ඔහු කණ්ඩායමේ වැඩිම කඩුලුලාභියා බවට පත් වෙන්නේ කඩුලු 50ක් සම්පූර්ණ කිරීමත් සමඟයි.

කණ්ඩායමේ කඩුලු රැකීමේ වගකීම සතු ඉසුරු පන්නල කණ්ඩායමේ වඩාත් සටන්කාමී පිතිකරුවෙක් ලෙසින් හැඳින්වෙනවා. ඔහු ද මේ දක්වා ලකුණු 500ක් ඉක්මවා ලබා සිටින අතර කඩුලු රැකීමේ දී දවා ගැනීම් 50කට ආසන්න සංඛ්‍යාවකට දායකත්වය දක්වා තිබෙනවා.

ධර්මරාජ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම: දුලන බන්දුලසේන (නායක), පුලිඳු පෙරේරා (උප නායක), කේ. එච්. ටී. මධුරංග, ඒ. සී. කේ. මහගෙදර, ටී. එල්. බී. අබේසිංහ, ඩී. ඕ. එස්. ද සිල්වා, එස්. එස්. රත්නායක, අයි. කේ. ජයවර්ධන, ඕ. එස්. තිලකරත්න, ඩී. එස්. බී. විජේසේකර, එම්. සී. රූපසිංහ, එච්. ටී. ඩී. මනුකල්ප, ඉසුරු පන්නල, ජී. එස්. වයි. මාරසිංහ, කේ. එම්. ගුණරත්න, එන්. එස්. බී. අබේරත්න, ඩබ්ලිව්. එම්. සී. බී. ඒකනායක, ඩී. එම්. ජේ. එච්. දිසානායක, එල්. එච්. බී. දිසානායක, එම්. ඒ. අයි. විරසේකර.

කමල් ආරියසිංහ (විදුහල්පති), සාලිය සමරවික්‍රම (ක්‍රීඩා භාර ආචාර්ය), දුමින්ද බණ්ඩාර (ක්‍රිකට් භාර ආචාර්ය), සේනක දිසානායක (පුහුණුකරු).

දෙවිදුහල් අතර 37 වැනි වරටත් පැවැත්වෙන වාර්ෂික එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගය මේ මස 31 වැනිදා පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.

මෙතෙක් නිමා වූ එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගවල දී අවස්ථා 18ක දී ජයග්‍රහණ සතු කර ගන්නට ධර්මරාජ විද්‍යාලය සමත් ව ඇති අතර ඔවුන් පසුගිය වසරේ දී ද තිසරු වන්නිනායකගේ නායකත්වයෙන් යුක්තව සුලෝහිත කුසලානය දිනා ගත්තා.

කිංස්වුඩ් විද්‍යාලය මේ දක්වා අවස්ථා 13ක දී ජයග්‍රහණය කර ඇති අතර ඔවුන් අවසන් වරට එක්දින තරගයක් ජයග්‍රහණය කරන්නේ 2017 වසරේ දී අවිශ්ක චන්ද්‍රසිරිගේ නායකත්වය යටතේයි.

117 වැනි කන්ද උඩරට සුලෝහිත සංග්‍රාමයට එක් වෙන ධර්මරාජ විද්‍යාලයීය සහ කිංස්වුඩ් විද්‍යාලයීය ක්‍රීඩකයන්ට ThePapare.com හී සුබ පැතුම්!

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<