සාන්තුවරයන්ගේ සටන සාමකාමීව විසඳේ

90th Battle of the Saints

81

කොළඹ සාන්ත ජෝසප් විද්‍යාලය සහ බම්බලපිටිය සාන්ත පීතර විද්‍යාලය අතර 90 වැනි වරටත් පැවැත්වෙන “මොරිස් ජේ. ලෙගෝ පියතුමන් අනුස්මරණ කුසලාන” සාන්තුවරයන්ගේ සටන වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (23) කොළඹ SSC පිටියේ දී විසඳුමකින් තොරව අවසන් වූවා.

එසේ වූවත්, 2016 වසරේ ලත් ජයග්‍රහණයත් සමඟින් මෙම කුසලානය මෙතෙක් සතුව තිබූ සාන්ත පීතර විද්‍යාලය විසින් ම නැවත රැගෙන ගිය ද කුසලාන මේසයේ වැඩි කුසලාන ප්‍රමාණයකට හිමිකම් කිමට සාන්ත ජෝසප් විද්‍යාලය සමත් වීම කැපී පෙණුනා.

Battle of the Saints, කොළඹ, 22 – 23 මාර්තු

o කාසියේ වාසිය – සාන්ත ජෝසප් විද්‍යාලය

o ක්‍රීඩාංගණය – සිංහල ක්‍රීඩා සමාජ පිටිය, කොළඹ 7

තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් සාන්ත පීතර විද්‍යාලය තම පන්දුවාර 60 හමුවේ කඩුලු 9ක් දැවී ලකුණු 270ක් ලබා ගත් අතර  ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සාන්ත ජෝසප් විද්‍යාලය කඩුලු 5ක් දැවී ලකුණු 228කින් සෑහීමකට පත් වෙමින් ඉනිම අත්හිට වූවා.

ඔවුන් අද මෙම ඉනිම ආරම්භ කරන්නේ පෙර දින කඩුල්ලක් දැවී ලකුණු 91ක් ලබා ගත් තැන සිටයි. ඒ වෙද්දී පන්දු 61කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 53ක් ලබා සිටි හිරුන් කපුරුබණ්ඩාර අද තම ඉනිම ලකුණු 94ක් දක්වා රැගෙන ගියා. ඒ වෙද්දී ඔහු පන්දු 108කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට එක්කරගෙන තිබුණා.

ඔහු මෙන් ම පන්දු 70කට මුහුණ දී ලකුණු 23ක් ලබා සිටි අභිශේක් ජයවීර ද අද තම ඉනිම ලකුණු 80ක් කරා රැගෙන ගියා. ඔහු පන්දු 151කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 80ක් ලබා ගත්තා.

ශතක ආසන්නයට පැමිණි ඔවුන්ගේ එම ඉනිම් ක්‍රියාත්මක වූ 2 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 153ක සබඳතාවක් ගොඩ නැගීමට ද ඔවුන් සමත් වූවා. නමුත් එතැන් සිට ඔවුන්ගේ අනෙකුත් පිතිකරුවන්ගෙන් ලකුණු පුවරුවට එතරම් ම සහයෝගයක් ලැබුණේ නැහැ. එවන් පසුබිමකයි සාන්ත ජෝසප් විද්‍යාලය ඉනිම අත්හිටුවන්නේ.

එම ඉනිමේ දී කඩුලු ලබා ගැනීමේ දී දක්ෂතා දැක් විමට නායක විශේන් හැළඹගේ සමත් වූවා. ඔහු ලකුණු 66කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව ශෙනන් රොද්‍රිගෝ සහ ජොසුවා සෙබස්තියන් කඩුල්ල බැගින් දවා ගත්තා.

ඉන් අනතරු ව ලකුණු 42ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි සාන්ත පීතර ක්‍රීඩකයෝ එවර කඩුලු 9ක් දැවී ලකුණු 204ක් ලබා ගනිමින් තරගයේ විසඳුමක් බලාපොරොත්තුවෙන් දෝ ඔවුන්ගේ ඉනිම ද අත්හිටුවමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළා. ඒ අනුව තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සාන්ත ජෝසප් විද්‍යාලයට ලැබුණ ඉලක්කය ලකුණු 247ක්.

එහෙත් තරගය අවසන් වන විට ඔවුන් පන්දුවාර 13ක් තුළ ද ලබා ගත්තේ කඩුල්ලක් දැවී ලකුණු 75ක් පමණයි.

සාන්ත පීතර 2 වැනි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ පළමු ඉනිමේ දී ශතකයක් ලබා ගනිමින් දක්ෂතා දැක් වූ ඩිලන දම්සර. ඔහු මෙවර පන්දු 120කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තා.

එම ඉනිමේ දී අසදිස ද සිල්වා සමඟින් 5 වැනි කඩුල්ලට එක් වෙන ඩිලන දම්සර එම කඩුල්ල වෙනුවෙන් ලකුණු 48ක සබඳතාවක් එක් කළා. අසදිස ද සිල්වා කණ්ඩායමට එක් කළ ලකුණු සංඛ්‍යාව 21ක්.

ඔහුට අමතර ව කණ්ඩායමේ නායක විශේන් හැළඹගේ පන්දු 15කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා.

එම ඉනිමේ කඩුලු දවා ගැනීමේ දී මානස මධුභාෂණ ලකුණු 66කට කඩුලු 4ක් දවා ගත් අතර යෙනුල දෙව්තුස ලකුණු 52කට කඩුලු 3ක් දවා ගත්තා. ඊට අමතර ව දිනුක් සේරසිංහ ද කඩුල්ලක් දවා ගත්තා.

දවසේ අවසන් ඉනිම සැරසීමේ දී හිරාන් ජයසුන්දර පන්දු 42කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 38ක් ද සහ හිරුන් කපුරුබණ්ඩාර පන්දු 31කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 27ක් ද ලබා සිටියා.

දැවී ගිය කඩුල්ලේ හිමිකාරීත්වය විශේන් හැළඹගේ සතු වුනා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

සාන්ත පීතර විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 9ක් දැවී 270 (60.0) ඔවීන් සල්ගාදු 46, ඩිලන දම්සර 103, නේතන් ඩේවිඩ් 35, ඉෂිර ආයුපාල 21, මානස මධුභාෂණ 3/69, යෙනුල දෙව්තුස 4/74

සාන්ත ජෝසප් විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 5ක් දැවී 228 (49.0) අභිශේක් ජයවීර 80, හිරුන් කපුරුබණ්ඩාර 94, විශේන් හැළඹගේ 3/66

සාන්ත පීතර විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 204 (63.0) ඩිලන දම්සර 65, විශේන් හැළඹගේ 25, අසදිස ද සිල්වා 21, ජොෂුවා සෙබස්තියන් 19, ඉෂිර ආයුපාල නොදැවී 21, යෙනුල දෙව්තුස 3/52, මානස මධුභාෂණ 4/66

සාන්ත ජෝසප් විද්‍යාලය – දෙවැනි ඉනිම කඩුල්ලක් දැවී 75 (13.0) හිරාන් ජයසුන්දර නොදැවී 38, හිරුන් කපුරුබණ්ඩාර නොදැවී 27

තරගයේ විසඳුමක් නෑ.

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – හිරාන් ජයසුන්දර (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – යෙනුල දෙව්තුස (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – හිරුන් කපුරුබණ්ඩාර (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • තරගයේ තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක් වූ ක්‍රීඩකයා – අභිශේක් ජයවීර (සාන්ත ජෝසප් විද්‍යාලය)
  • තරගයේ වීරයා – දිලන දම්සර (සා. පීතර විද්‍යාලය)

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<