ධර්මරාජය වසර 9කට පසුව ජය පැන් බොයි

117th Hill Capitals Battle of the Maroons

84

මහනුවර කිංස්වුඩ් විද්‍යාලය සහ ධර්මරාජ විද්‍යාලය අතර 117 වැනි වරටත් පැවැති “කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම” වාර්ෂික මහා ක්‍රිකට් තරගය අද (23) මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී නිමා වූයේ ධර්මරාජ විද්‍යාලය ඉනිමක සහ ලකුණු 69ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.  

මෙම ජයග්‍රහණය වාර්තා වන්නේ 2015 වසරට පසුව වන අතර එම වසරේ ද ජයග්‍රාහකයන් වූයේ ධර්මරාජ විද්‍යාලයයි. මෙම තරග විසඳුමත් සමඟින් මේ වන විට ධර්මරාජ විද්‍යාලය ජයග්‍රහණ 36ක් ලබා ගනිමින් තව දුරටත් කන්ද උඩරට සුලෝහිත සංග්‍රාම භූමියේ තම ආදිපත්‍ය පැතිරුවා. කිංස්වුඩ් විද්‍යාලය මේ දක්වා දිනා ඇත්තේ අවස්ථා 19ක දී පමණයි.   

Hill Capitals Battle of the Maroons, මහනුවර, 22- 23 මාර්තු 2024 

  • කාසියේ වාසිය – කිංස්වුඩ් විද්‍යාලය 
  • ක්‍රීඩාංගණය – පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, මහනුවර 

තරගයේ පළමු දිනය අයහපත් කාලගුණ තත්ත්වය මත පන්දුවාර 60කට පමණක් සීමාවෙමින් නිමා වූ අතර ඒ වෙද්දී පළමුවෙන් පන්දුවට පහර දෙමින් සිටි ධර්මරාජ විද්‍යාලයීය ක්‍රීඩකයෝ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 325ක් ලබා ගනිමින් ඉනිම අත් හිටුවා තිබුණා.   

පෙර දිනයේ තරග කාලයෙන් කාර්තුවක් ම අහිමි කර ගනිමින් අද කිංස්වුඩ් ක්‍රීඩකයෝ තරගයට පිවිසෙන්නේ දැවැන්ත ඉලක්කයක් කර මත තබා ගනිමිනුයි. නමුත් ඔවුන්ගේ ඉනිමේ පළමු කඩුලු ත්‍රිත්වයෙන් ලැබූ දායකත්වය ඊට කිසිසේත් ම ප්‍රමාණවත් වූයේ නැහැ.  

පන්දු 35ක් තුළ එම කඩුලු 3 බිඳ වැටුණ අතර ලබා සිටියේ ද ලකුණු 12ක් පමණයි. නමුත් එතැන් සිට කිංස්වුඩ් ඉනිම තරමකින් ගොඩ ගැනීමට කවිජ ගමගේ සහ නිකේශල නානායක්කාර සමත් වූවා. ඔවුන් දෙදෙනා එක් ව 4 වැනි කඩුල්ලට ලකුණු 78ක සබඳතාවක් එක් කරන්නේ පන්දු 143ක දී.  

නිකේශල නානායක්කාර පන්දු 54කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 20ක් ලබා සිටිය දී දුවද්දී දැවී යෑමකට ගොදුරු වෙමින් සිවු වැනි කඩුල්ලේ සබඳතාව බිඳ වැටුණා. අනතුරුව පිටියට පිවිසියේ නායක නෙනුක දිසානායක.  

ඔහු හා කවිජ ගමගේ පිටියේ රැදී සිටිය දී දිනයේ දහවල් විවේකය උදා වූ අතර ඒ වෙද්දී කිංස්වුඩ් ක්‍රීඩකයෝ කඩුලු 4ක් දැවී ලකුණු 93ක් ලබා තිබුණා.  

දිවා විවේකයෙන් අනතුරු ව කවිජ ගමගේ සහ නෙනුක දිසානායක කිංස්වුඩ් ඉනිම ගොඩ ගැනීමට උත්සාහ කළ ද එය අසාර්ථක ප්‍රයත්නයක් ම වූවා. කවිජ පන්දු 152කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 67ක් ලබා සිටිය දී 5 වැනි කඩුල්ල ලෙසින් තම ඉනිම හැර ගියා.  

ඔහුගේ දැවී යෑමෙන් පසුව යැවුණ අනෙක් පන්දුවේ දී ද  කඩුල්ලක් බිඳ හෙළීමට පන්දු යවමින් සිටි ඔනිජ සේසත් සමත් වීමත් සමඟින් කිංස්වුඩ් ඉනිමේ කඩා වැටීමත් ඉක්මන් වූවා.    

කෙසේ වෙතත් එම තත්ත්වය හමුවේ නෙනුක දිසානායක පන්දු 76කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 22ක් ද සහ යෝසත්අබේකෝන් පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලකුනු 27ක් ලබා ගත්තා. 

කඩුලු ලබා ගැනීමේ දී ඔනිත සේසත් ලකුණු 34කට කඩුලු 4ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා. ඊට අමතර ව ශෙශාන් මාරසිංහ කඩුලු 3ක් ද සහ නිසල අබේරත්න කඩුලු 2ක් ද දවා ගත්තා. 

ඔවුන් දක්ෂතා සමඟින් කිංස්වුඩ් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 178ක් පමණයි. ඒ අනුව ප්‍රතිවාදීන් ඉදිරියේ ලකුණු 147ක් පිටුපසින් සිටි කිංස්වුඩ් ක්‍රීඩකයන්ට නැවත පන්දුවට පහර දීමට ධර්මරාජ ක්‍රීඩකයෝ ආරාධනා කරනවා.  

එම ඉනිමේ ද පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 15ක් වෙද්දී හරවා යැවීමට ධර්මරාජ පන්දු යවන්නෝ සමත් වූවා. එසේ යන ගමනේ දී ලකුණු 69ක් ව තිබිය දී පන්දු 30ක් තුළ එකඳු හෝ ලකුණක් ලබා ගැනීමට නොහැකි වෙමින් කිංස්වුඩ් විද්‍යාලයීය කණ්ඩායමේ කඩුලු 3ක් දැවී ගියා.  

එතැන් සිට ධර්මරාජ විද්‍යාලයේ ජය වලකා ලීමේ උපාය මාර්ගයක් වී නම් ඒ අයහපත් කාලගුණ තත්වය ම පමණයි. එහෙත් එහි වාසිය ද සාන්ත තෝමස් විද්‍යාලය කරා පැමිණියේ නැහැ.  

ඒ අනුව තරගය අවසන් වෙන්නේ සාන්ත තෝමස් විද්‍යාලය පිට පිට පන්දුවට පහර දුන් පිටියේ දී ලකුණු 78කට තම ඉනිම සීමා කර ගනිමිනුයි. 

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ නායක නෙනුක දිසානායක. ඔහු පන්දු 20කට මුහුණ දෙමින් ලකුණු 18ක් ලබා ගත්තා. 

පන්දු යැවීමේ දී දක්ෂිත මනුකල්ප ලකුණු 30කට කඩුලු 8ක් වන අතර ඔනිජ සේසත් සහ පුලිඳු පෙරේරා කඩුල්ල බැගින් දවා ගත්තා.  

තරගයේ කෙටි ලකුණු පුවරුව 

 

ධර්මරාජ විද්‍යාලය – පළමු ඉනිම කඩුලු 2ක් දැවී 325 (60.0) පුලිඳු පෙරේරා 92, ඔනජිත් ද සිල්වා නොදැවී 103, ඉසුරු පන්නල 105, ලක්වින් අබේසිංහ නොදැවී 18  

කිංස්වුඩ් විද්‍යාලය – පළමු ඉනිම සියලුම දෙනා දැවි 178 (72.1) කවිජ ගමගේ 67, නිකේශල නානායක්කාර 20, නෙලුක දිසානායක 22, යොසත් අබේකෝන් නොදැවී 27, නිසල අබේරත්න 2/34, ශෙශාන් මාරසිංහ 3/31, ඔනිජ සේසත් 4/34 

කිංස්වුඩ් විද්‍යාලය – දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 78 (30.2) නෙනුක දිසානායක නොදැවී 18, දක්ෂිත මනුකල්ප 8/30  

 

ධර්මරාජ විද්‍යාලයට ඉනිමක සහ ලකුණු 69ක ජයක්.  

  • තරගයේ දක්ෂතම පන්දු රකින්නා – ඉසුර පන්නල (ධර්මරාජ විද්‍යාලය) 
  • තරගයේ දක්ෂතම පන්දු යවන්නා – දක්ෂිත මනුකල්ප (ධර්මරාජ විද්‍යාලය)
  • තරගයේ දක්ෂතම පිතිකරු – ඔනජිත් ද සිල්වා (ධර්මරාජ විද්‍යාලය)
  • තරගයේ වීරයා – දක්ෂිත මනුකල්ප (ධර්මරාජ විද්‍යාලය)

 තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව වන ThePapare.com සමඟින්.  

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<