යුද – ගුවන් සෙබළියන් 20-20 අවසන් සටනට

238
SLC women's t20 semi finals

අන්තර් සමාජ කාන්තා පන්දුවාර 20 – 20 ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නට ගුවන් සහ යුද සෙබලියන් විය. ඒ අද පැවති අවසන් පූර්ව වටයේදී නාවික හමුදා සහ කෝල්ට්ස් ක්‍රීඩිකාවන් පරාජය කරමිනි.

පසුගිය ලිපි: ත්‍රිවිධ හමුදා A හා කොල්ට්ස් සමාජයන් අර්ධ අවසන් තරගවලට

අන්තර් සමාජ කාන්තා පන්දුවාර 20 ක්‍රිකට්  තරගාවලියේ අවසන් පූර්ව තරග අද පැවැත්වුනේ කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගනයේදීය. පළමු අවසන් පූර්ව තරගයේදී යුද හමුදා A ක්‍රීඩිකාවන් කොල්ට්ස් ක්‍රීඩා සමාජ කාන්තා කණ්ඩායම සමගින් තරග වැදුණි. කාසියේ වාසිය දිනාගත් කෝල්ට්ස් නායිකාව පන්දු යැවීම තෝරා ගන්නා ලදී.

යුද හමුදා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 117කි. ඉරේෂා දමයන්ති සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 22 බැගින් ලබාගෙන ඉනිම සවිමත් කරන ලදී. ලක්මාලි මෙත්තානන්ද නොදැවී ලකුණු 18යි. යුද හමුදා ක්‍රීඩිකාවන් 3 දෙනෙක් දුවද්දී දැවී ගිය අතර, පන්දු යැවීමේදී පූජානි ලියනගේ කඩුලු 2ක් දවාගැනීමට සමත් විය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කෝල්ට්ස් ක්‍රීඩිකාවන්ට පන්දුවාර 20 තුළ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 85ක් පමණි. දීපිකා රසංගිකා ලකුණු 32ක් සහ අමාෂා අංජලී ලකුණු 15ක් රැස් කළත් අනෙක් කිසිදු ක්‍රීඩිකාවකට ලකුණු 6 සීමාව ඉක්මවා යාමට නොහැකි විය. පන්දු යැවීමේදී නිලක්ෂිකා සිල්වා සහ නිලූකා කරුණාරත්න අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදී.

පළමු අවසන් පූර්ව තරගය

යුද හමුදා කාන්තා A – 117/8 (20) – ඉරේෂා දමයන්ති 22, නිලක්ෂිකා සිල්වා 22, ඉමල්කා මෙන්ඩිස් 21, ලක්මාලි මෙත්තානන්ද 18*, පූජානි ලියනගේ 2/12

කෝල්ට්ස් කාන්තා  – 85/7 (20) – දීපිකා රසංගිකා 32, අමාෂා අංජලී 15, නිලූකා කරුණාරත්න 2/14, නිලක්ෂිකා සිල්වා 2/16 ෂෙරීනා රවිකුමාර්  1/7

යුද හමුදා කාන්තා A කණ්ඩායමට ලකුණු 32ක් ජයක්.


දෙවන අවසන් පූර්ව තරගයේදී ගුවන් හමුදා A ක්‍රීඩිකාවන් තරග වැදුනේ නාවික හමුදා A ක්‍රීඩිකාවන් සමගිනි. ජාත්‍යන්තර අත්දැකීම් ඇති ක්‍රීඩිකාවන් රැසකගෙන් සමන්විත ගුවන් හමුදා කාන්තා කණ්ඩායම මේ තරගය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

නාවික හමුදා නායිකාව කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරා ගන්නා ලදී. හසිනි පෙරේරා සහ ලසන්ති මධුභාෂිණි දෙවන කඩුල්ලට ගොඩනැගූ ලකුණු 58ක සබඳතාව හැරෙන්නට අන් කිසිදු පිතිකාරිණියක් පිටියේ ස්ථාවර වන්නට අසමත් විය. හසිනි හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමග ලකුණු 38ක් රැස් කළ අතර ලසන්ති ලබාගත් ලකුණු සංඛ්‍යාව 31ක්.

නාවික හමුදා කාන්තා A ඉනිම පන්දුවාර 20 අවසානයේ දැක්වුයේ කඩුලු 9කට ලකුණු 108ක් ලෙසයි. පන්දු යැවීමේදී ඕෂධී රණසිංහ කඩුලු 3ක් දවාගනිද්දී, චමරි අතපත්තු සහ චමරි පොල්ගම්පොල අතරේ කඩුලු 2 බැගින් බෙදී යන ලදි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ගුවන් කාන්තාවන්ට අවසන් තරගයේ ස්ථානයක් වෙන් කර ගැනීමට වැය වුයේ පන්දුවාර 18යි පන්දු 3ක් සහ කඩුලු 3ක් පමණයි. ඉනිමේ වැඩි බරක් කරට ගත් චමරි අතපත්තු නොදැවී ලකුණු 77ක් රැස් කළේ හතරේ පහර 9කින් සහ හයේ පහර 2කින් කෝල්ට්ස් පිටිය වර්ණවත් කරමිනුයි. ඇය ඒ සඳහා වැය කළේ පන්දු 59ක් පමණයි. යශෝධා මෙන්ඩිස් ලකුණු 20ක් රැස් කරන ලදී.

දෙවන අවසන් පූර්ව තරගය

නාවික හමුදා කාන්තා A – 108/9 (20) –  හසිනි පෙරේරා 38, ලසන්ති මධුභාෂිණි 31, දිනේෂා හීනටිගල 14,  ඕෂධී රණසිංහ 3/15, චමරි පොල්ගම්පොල 2/18, චමරි අතපත්තු 2/27

ගුවන් හමුදා කාන්තා A – 111/3 (18.3)චමරි අතපත්තු 77*, යශෝධා මෙන්ඩිස් 20, ඉනෝකා රණවීර  2/19

ගුවන් හමුදා කාන්තා A කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

අන්තර් සමාජ පළමු කාණ්ඩයේ කාන්තා 20-20 තරගාවලියේ අවසන් මහා තරගය ගුවන් සහ යුද හමුදා ක්‍රීඩිකාවන් අතර ලබන ඉරිදා (17) පස්වරු 1ට කොළඹ CCC ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතව අැත.

තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල්පිටුවට