ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් පළමු වරට සංවිධානය කරන 2023 ACC Women’s T20 Emerging Teams Asia Cup තරගාවලිය මේ මස 12 වැනිදා සිට 21 වැනිදා දක්වා හොංකොං රාජ්‍යයේ දී පැවැත් වීමට නියමිතයි.
මෙම තරගාවලිය සඳහා ඉන්දියාව, බංග්ලාදේශය, පාකිස්තානය සහ ශ්‍රී ලංකාව යන රටවල A කණ්ඩායම් සහභාගී වෙන අතර මැලේසියාව, නේපාලය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය (UAE) කණ්ඩායම් සමඟ සත්කාරක හොංකොං රාජ්‍යවල ජාතික ක්‍රිකට් කණ්ඩායම් නියෝජනය කරනු ලබනවා.
තරගාවලිය A සහ B යන කාණ්ඩ 2 යටතේ පැවැත්වෙන අතර එහි දී ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන්නේ B කාණ්ඩයයි. එම කාණ්ඩය යටතේ බංග්ලාදේශ A, මැලේසියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩයම් සහභාගී වීමට නියමිතයි.
මෙම මංගල මහා තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වයට සත්‍යා සංදීපනී නම් කර ඇති අතර උප නායකත්වය මල්ෂා ෂෙහානි වෙත පිරිනමා තිබෙනවා.
සත්‍යා සංදීපනී (නායිකාව)
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි සත්‍යා සංදීපනී මේ දක්වා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට සහභාගී වී තිබෙනවා. එය 2020 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දියාව සමඟ පැවති තරගයයි.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩිකාවක් ලෙසින් හැඳින්වෙන සත්‍යා 2019 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලියේ අනුශූර ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්. එම තරගාවලියේ දී ඇය තරග 4කට සහභාගී වෙමින් ලකුණු 130ක් ලබා ගනිමින් දක්ෂතා දක්වනවා. ඊට මාලදිවයින කණ්ඩායමට එරෙහිව පන්දු 48කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 96ක් ලබා ගැනීමට ද ඇය සමත් වෙනවා.
නිමා වූ ආසන්නත ම අන්තර් පළාත් සුපිරි කණ්ඩායම් 4 විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ Blues කණ්ඩායම නියෝජනය කළ සත්‍යා, එම තරගාවලියේ තරග 6ක ඉනිම් 6ක දී ලකුණු 61ක් ලබා ගන්නවා.
නිමා වූ වසරේ පැවති අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා නාවික හමුදා කණ්ඩායම නියෝජනය කළ සත්‍යා එහි දී තරග 4ක දී අර්ධ ශතකයක් සමඟින් ලකුණු 77ක් ලබා ගන්නවා. එය එම තරගාවලියේ පිතිකාරිණියක් පෑ ඉහළ ම දක්ෂතා අතර 5 වැනි ස්ථානයට පත් වූවා. තරගාවලියේ වැඩිම කඩුලු ලාභිනිය වූයේ ඇයයි. කඩුලු 8ක් දවා ගත් ඇය එම අසුන වෙන් කර ගන්නවා.
මල්ෂා ෂෙහානි (උප නායිකාව)
ශ්‍රී ලංකා ගුවන් හමුදා කණ්ඩායම නියෝජනය කරන මල්ෂා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරගයක් සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 12කට සහභාගී වී සිටිනවා.
තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන 28 හැවිරිදි ක්‍රීඩිකාවක් ලෙසින් හැඳින්වෙන ඇයගේ මෑත කාලීන තරග අතර දී අන්තර් පළාත් සුපිරි කණ්ඩායම් 4 විස්සයි විස්ස තරගාවලියේ දී Reds කණ්ඩායම නියෝජනය කරමින් තරග 7ක ඉනිම් 6ක දී ලකුණු 62ක් සහ කඩුලු 7ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.
ඊට අමතර ව ඇය නිමා වූ එම වසරේ ම පැවති සුපිරි කණ්ඩායම් 4 පන්දුවාර 50 තරගාවලියේ අවසන් මහා තරගයේ දී පිතිකාරිණියක් ලෙසින් ලකුණු 29ක් සහ පන්දු යවමින් ලකුණු 23කට කඩුලු 5ක් දවා ගනිමින් අවසන් තරගයේ ඉහළ ම දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාව බවට ද පත් වෙනවා.
2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ ක්‍රිකට් තරගාවලියේ රිදී පදක්කම දිනූ කණ්ඩායම නියෝජනය කිරීමට ද ඇය සමත් වූවා.
විශ්මි ගුණරත්න
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරග 4කට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 16කට ක්‍රීඩා කර ඇති විශ්මි කණ්ඩායම හා එක් වෙන්නේ වඩාත් විශ්වාසවන්ත පිතිකාරිණිය ලෙසින්.
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට අවතීර්ණ වූ තවමත් 17 වැනි වියේ පසුවෙන විශ්මි 2023 වසරේ දකුණු අප්‍රිකාවේ දී පැවති ICC වයස අවුරුදු 19න් පහළ කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායිකාව ලෙසින් සහභාගී වුනා. එම තරගාවලියේ ඇය ශ්‍රී ලංකා පිතිකරණ ලැයිස්තුවේ පළමුවැනියා බවට පත්වුනා. ලකුණු 134ක් වාර්තා කළ ඇය, එහි සාමාන්‍ය 44.66ක් ලෙසින් රඳවා ගැනීමට සමත් වුනා.
2022 වසරේ පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලිය ද 2023 ICC කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කළ පළපුරුදු දක්ෂ ක්‍රීඩිකාවක්.
උමේෂා තිමාෂිනී
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස ශ්‍රී ලංකා නාවික හමුදාව නියෝජනය කරන 22 හැවිරිදි වියේ පසුවෙන උමේෂා තිමාෂිනී, නිමා වූ වසරේ අන්තර් ක්‍රීඩා සමාජ ක්‍රිකට් තරගාවලියේ වැඩිම ලකුණු ලාභිනියයි. ඇය තරග 4කට සහභාගී වෙමින් ලකුණු 120ක් ලබා ගන්නවා. එහි ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 40.00ක් ලෙසයි දැක්වුණේ.
උමේෂා මේ වෙද්දී ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 8කට සහභාගී වී සිටිනවා. 2019 වසරේ ආසියානු තරගාවලියේ රිදී පදක්කම දිනූ කණ්ඩායමේ ද සාමාජිකාවක් වූ ඇය 2020 වසරේ දී ඔස්ට්‍රේලියාවේ පැවති ICC කාන්තා ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියට නම් කරන ලද සංචිතයේ ද ක්‍රීඩිකාවක් ව සිටියා.
- හොංකොං යන ශ්‍රී ලංකා නැගීඑන කාන්තා සංචිතය නම් කරයි
- ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙක්
- ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න අවස්ථාවක්
- නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් පළමු වරට ශ්‍රී ලංකා සංචාරයකට
- බංග්ලාදේශ ජයග්රහණයෙන් ඉනික්බිතිව
ඉමේෂා දුලානි
තවමත් 21 වැනි වියේ පසුවෙන ඉමේෂා දුලානි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරගයකට සහභාගී වූ ක්‍රීඩිකාවක්. එමෙන් ම ඇය 2021 වසරේ සිම්බාබ්වේ දී පැවති කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට නම් කරන ලද සංචිතයේ ද 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට නම් කරන ලද සංචිතයේ ද ක්‍රීඩිකාවක් ලෙසින් රැඳී සිටියා.
පියුමි වත්සලා
27 වැනි වියේ පසුවෙන පියුමි වත්සලා සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායම මෙන් ම අන්තර් පළාත් කාන්තා විස්සයි විස්ස තරගාවලියේ දී Greens කණ්ඩායම ද නියෝජනය කළ ක්‍රීඩිකාවක්. ඇය නිමා වූ පළාත් තරගාවලියේ දී තරග 5ක දී ලකුණු 35ක් ලබා ගන්නවා.
සචිනි නිසංසලා
21 වැනි වියේ පසුවෙන තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන සචිනි නිසංසලා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් එක්දින ජාත්‍යන්තර තරගයකට සහ විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 5කට ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාවක්.
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිවිසි ඇය සීනිගම කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් අන්තර් ක්‍රීඩා සමාජ තරගාවලිය හා එක් වෙනවා.
කෞෂිනී නුත්‍යාංගනා
කොළඹ අනුලා විද්‍යාලයෙන් ක්‍රිකට් පිවිසි 20 හැවිරිදි වියේ පසුවෙන කෞෂිනී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විස්සයි විස්ස ජාත්‍යන්තර තරග 3කට ක්‍රීඩා කර ඇති ක්‍රීඩිකාවක්.
ACE කැපිටල් ක්‍රිකට් කණ්ඩායම ද නියෝජනය කරන ඇය 2022 කාන්තා ආසියානු කුසලානයේ සහ 2023 කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන සංචිතවලට ද සිටි ක්‍රීඩිකාවක්.
තාරිකා සෙව්වන්දි
26 වැනි වියේ පසුවෙන තාරිකා සෙව්වන්දි කොළඹ විහාරමහාදේවි විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි ක්‍රීඩිකාවක්. ඇය මේ දක්වා ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කරමින් එක්දින තරගයකට සහ විස්සයි විස්ස තරග 3කට ක්‍රීඩා කර තිබෙනවා.
2019 දකුණු ආසියානු තරගාවලියේ රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා කණ්ඩායම ද නියෝජනය කළ ඇය 2022 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා තරගාවලිය ද නියෝජනය කළා. එමෙන් ම නිමා වූ අන්තර් පළාත් සුපිරි කණ්ඩායම් 4 ක්‍රිකට් තරගාවලියේ දී Reds කණ්ඩායම නියෝජනය කරන ඇය, එහි තරග 4ක ඉනිම් 4ක දී පිතිකාරිණියක් ලෙසින් ලකුණු 33ක් සහ පන්දු යවන්නියක් ලෙසින් කඩුලු 8ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා. ඇයගේ පන්දු යැවීම එම තරගාවලියේ කඩුලු ලැබූවන්ගේ ලැයිස්තුවේ 5 වැනි අසුනට හිමිකම් කීවා.
කෝල්ට්ස් ක්‍රිකට් පිටියෙන් පළමු පෙළ කාන්තා ක්‍රිකට් තරග පිටියට පිවිසි ඇය මේ වන විට ශ්‍රී ලංකා නාවික හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනවා.
නිමේෂා මධුශානි
පොතුපිටිය මහා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි නිමේෂා මධුශානි පන්දු යවන්නියක් ලෙසින් කණ්ඩායම හා එක් වෙනවා.
ඇය නිමා වූ අන්තර් පළාත් සුපිරි කණ්ඩායම් 4 ක්‍රිකට් තරගාවලියේ දී Greens කණ්ඩායම නියෝජනය කරමින් Blues කණ්ඩායමට එරෙහිව ලකුණු 13කට කඩුලු 6ක් දවා ගන්නවා. BRC පිටියේ දී පෑ මේ දක්ෂතාව ඇයගේ තරග දිවියේ ඉහළ ම දක්ෂතා අතරට එක් වූ අතර එය එම තරගාවලියේ හොඳම පන්දු යැවීම බවට ද පත්වුනා.
එම තරගාවලිය නිමා වෙන විට ඇය තරග 3ක ඉනිම් 3ක දී පන්දු යවමින් ලකුණු 54ක් පමණක් ලබා දෙමින් කඩුලු 10ක් දවා ගන්නවා. ඇයගේ එම දක්ෂතාව තරගාවලියේ වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් අතර 2 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූවා.
නිලක්ෂනා සඳමිනි
රත්ගම දේවපතිරාජ විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි 23 හැවිරිදි වියෙ පසුවෙන නිලක්ෂනා සඳමිනි මේ වෙද්දී තම දක්ෂතා එකතු කරමින් සිටින්නේ ශ්‍රී ලංකා නාවික හමුදා ක්‍රිකට් කණ්ඩායම සමඟයි.
ඇය 2019 දකුණු ආසියානු තරගාවලියේ රිදී පදක්කම්ලාභී ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක් වන අතර අන්තර් පළාත් තරගාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩිකාවක්.
මධුශිකා මෙත්තානන්ද
28 හැවිරිදි වියේ පසුවෙන මධුශික ශ්‍රී ලංකාව වෙනුවෙන් විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයකට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්. අන්තර් පළාත් තරගාවලියේ දී ගාල්ල කණ්ඩායම නියෝජනය කළ ඇය ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක්.
රශ්මි සිල්වා
ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිසි රශ්මි සිල්වා ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින ජාත්‍යන්තර තරග 2කට ක්‍රීඩා කළ ක්‍රීඩිකාවක්. අන්තර් පළාත් සුපිරි කණ්ඩායම් 4 ක්‍රිකට් තරගාවලියේ දී Greens කණ්ඩායම නියෝජනය කළ ඇය ශ්‍රී ලංකා ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකාවක්.
දෙව්මි විහංගා
2023 වසරේ දී වයස අවුරුදු 19න් පහළ කාන්තා ලෝක කුසලාන තරගාවලිය නියෝජනය කළ දෙව්මි විහංගා එම තරගාවලියේ දී තරග 5ක ඉනිම් 5කට සහභාගී වෙමින් අර්ධ ශතකයක් සමඟින් ලකුණු 113ක් සහ කඩුලු 9ක් ලබා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩිකාවක්.
දකුණත් පිතිකාරිණියක් සහ දකුණතින් පිට දඟපන්දු යවන ඇය ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් ක්‍රිකට් පිටියට පිවිස මේ වෙද්දී හලාවත මේරියන්ස් කණ්ඩායම වෙත තම දක්ෂතා එක් කරනවා.
ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග කාලසටහන
- ජුනි 12 වැනිදා – UAE කණ්ඩායම සමඟ Kowloon හිදී
- ජුනි 14 වැනිදා – බංග්ලාදේශය සමඟ Kowloon හිදී.
- ජුනි 16 වැනිදා – මැලේසියාව සමඟ Kowloon හිදී.
ආසියානු කුසලාන නැගීඑන කාන්තා ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු ම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<