ICC මාසයේ ක්‍රීඩිකාව සම්මානයට ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවන් දෙදෙනෙක්

298

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ලබා දෙන මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සම්මානයේ මැයි මාසයට අදාළ සම්මාන සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ නම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මැයි මාසයට අදාළ ක්‍රීඩකයාගේ සම්මානය සඳහා පාකිස්තාන නායක Babar Azam, බංග්ලාදේශ ක්‍රීඩක Najmul Hossain Shanto සහ අයර්ලන්ත ක්‍රීඩක Harry Tectorගේ නම් යෝජනා වී තිබෙනවා.

මෙහි කාන්තා සම්මානය සඳහා යෝජනා වූ ක්‍රීඩිකාවන් තිදෙනා අතරින් ක්‍රීඩිකාවන් දෙදෙනෙක් ම ශ්‍රී ලංකාව නියෝජනය කරන ක්‍රීඩිකාවන් වන අතර එලෙස යෝජනා වී ඇත්තේ නායිකා චමරි අතපත්තු සහ හරිෂිතා මාධවීයි.

එම සම්මානය සඳහා නිර්දේශ වී ඇති අනෙක් ක්‍රීඩිකාව වන්නේ තායිලන්ත කාන්තා කණ්ඩායම නියෝජනය කරමින් ඉහළ දස්කම් දැක්වූ Thipoatch Putthawong ක්‍රීඩිකාවයි.

චමරි අතපත්තු 2022 වසරෙන් පසුව මෙම සම්මානයට යෝජනා වූ පළමු අවස්ථාව මෙය වන අතර බංග්ලාදේශය සමඟ පැවති තරගාවලියේ දැක්වූ දස්කම් මත ඇය මෙම සම්මානයට යෝජනා වී තිබෙනවා.

බංග්ලාදේශය සමඟ පැවති එක්දින තරගාවලියේ පැවැත්වීමට හැකි වූ එකම තරගයේ දී ලකුණු 64ක් වාර්තා කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගිය චමරි විස්සයි විස්ස තරගාවලියේ තරග තුනේම ලකුණු 30ට වඩා වාර්තා කිරීමට ද සමත් වුනා.

සම්මානය සඳහා නිර්දේශ අනෙක් ක්‍රීඩිකාව වන හර්ෂිතා බංග්ලාදේශ තරගාවලියේ දී තරග හතරක් තුළ ලකුණු 170ක් (එක්දින තරගයක් සහ විස්සයි විස්ස තරග තුනක්) සහ එක්දින තරගයේ දී නොදැවී ලකුණු 45ක් ලබා ගැනීමට සමත් වුනා.

විස්සයි විස්ස තරගාවලියේ දී ඇය ලකුණු 125ක් ලබා ගැනීමට සමත් වූ අතර ඇයව දවා ගැනීමට හැකි වුනේ එක් තරගයක පමණක් වීම විශේෂත්වයක්. ඇය එම තරගාවලියේ පිළිවෙළින් ලකුණු 45ක්, 29ක් සහ නොදැවී ලකුණු 51ක් ලබා ගැනීමට සමත් වුනා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ මාසයේ ක්‍රීඩකයා සහ ක්‍රීඩිකාව සඳහා පහත link එක ඔස්සේ මනාප පල කළ හැක.

දෙස් විදෙස් ක්‍රිකට් පිටියේ නවතම තොරතුරු සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟ.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<