ක්‍රිකට් පුහුණුකාරිණියක් වෙන්න අවස්ථාවක්

163

ඉතා ශීඝ්‍රයෙන් ජනප්‍රියත්වයට පත්ව තිබෙන කාන්තා ක්‍රිකට් ක්‍රීඩාව ශ්‍රී ලංකාවේ අස්සක් මුල්ලක් නෑරම ප්‍රචලිත කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සෑම අංශයක් කෙරෙහිම අවධානය යොමු කර තිබේ.

එහි මූලිකම පියවර ‌ලෙසින් කාන්තාවන්ට ක්‍රිකට් පුහුණු කිරීමේ ක්‍රමවේදය පිළිබඳව මූලික දැනුමක් ලබා දීම සඳහා පුහුණු පාඨමාලාවක් පැවැත්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් විධිවිධාන යොදා තිබේ.

මූලික අදියර හෙවත් Level 0 සිට පැවැත්වෙන මෙම පුහුණු පාඨමාලාවට සහභාගි වීමට කැමති වයස අවුරුදු 18ට වැඩි කාන්තාවන්ට මේ සඳහා අයැදුම් කළ හැක. මෙහි දී ක්‍රිකට් ක්‍රීඩාවේ නියැලුණු කාන්තාවන්ට අමතරව දිවයින පුරා පාසල් වල සේවය කරන ශාරීරික පුහුණු උපදේශිකාවන්ට (PTI) සහ ක්‍රීඩා පුහුණුකාරිණියන්ට ද මෙම පුහුණු පාඨමාලාව හැදෑරීමේ අවස්ථාව උදා වනු ඇත.

ශ්‍රී ලංකාවේ පළාත් 4ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම පුහුණු පාඨමාලාව ක්‍රියාත්මක වේ. එහි දී මධ්‍යම සහ නැගෙනහිර පළාත් ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයක දී ද, වයඹ, උතුරු මැද සහ උතුරු යන පළාත ඒකාබද්ධව එක් කේන්ද්‍රස්ථානයක දී ද, දකුණ සහ ඌව පළාත් එක් කේන්ද්‍රස්ථානයක දී ද සහ බස්නාහිර පළාතේ ද මෙම පුහුණු පාඨමාලා ක්‍රියාත්මක වනු ඇත.

මෙහි ඇති විශේෂත්වය වන්නේ ක්‍රිකට් ක්‍රීඩාව හඳුන්වා දීමේ පටන් ක්‍රියාත්මක අදියර 0 සිටම පාඨමාලාව ක්‍රියාත්මක වීමය. මේ සඳහා උනන්දු වන කාන්තාවන්ට මෙම අදියර නිමා වීමෙන් පසු ඉදිරියේ දී පුහුණු අදියර i, ii, සහ iii යන (Level i,  Level ii, Level iii) පාඨමාලා හැදෑරීමෙන් පසු ජාත්‍යන්තරය දක්වා යෑමේ අවස්ථාව උදා කර දීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඒකායන අභිප්‍රාය වී තිබේ.

ඒ ඒ පළාත් වෙනුවෙන් පුහුණු පාඨමාලා පැවැත්වීම සඳහා පුහුණු උපදේශකයින් පත් කර තිබෙන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු ඔවුන් ඇමතීමෙන් ලබා ගත හැක. මධ්‍යම සහ නැගෙනහිර පළාත වෙනුවෙන් 0743442505 යන අංකයට ද, වයඹ, උතුරු මැද සහ උතුරු පළාත වෙනුවෙන් 0777718303 යන අංකයට ද, දකුණ සහ ඌව පළාත වෙනුවෙන් 0743449388 යන අංකයට ද, සහ බස්නාහිර පළාත වෙනුවෙන් 0743451550 යන දුරකථන අංකයට ද අමතා වැඩිදුර තොරතුරු දැන ගත හැක.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිල වෙබ් අඩවියේ මාධ්‍ය නිවේදනයකි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<