බංග්ලාදේශ ජයග්‍රහණයෙන් ඉනික්බිතිව

Bangladesh Womens Tour of Sri Lanka 2023

209

බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ මෙරට සංචාරය පසුගියදා නිමා වූවා. මෙරට දී එක්දින සහ විස්සයි විස්ස තරගාවලි ද්විත්වයකට සහභාගී වූ ඔවුන්ට සිය රට බලා යෑමට සිදු වූයේ හිස් අතින්.

දෙරට අතර පළමුවෙන් ම පැවැතියේ එක්දින ජාත්‍යන්තර තරගාවලියයි. ICC කාන්තා ශූරතාවලිය වෙනුවෙන් ද පැවැති එම තරගාවලිය තරග 3කින් යුත් වූවා. එම තරගාවලිය අවසන් වූයේ 1-0ක් ලෙස සත්කාරක ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කරමින් වන අතර විස්සයි විස්ස තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට නැවතත් ඔවුන් සමත් වූවා.

එක්දින තරගාවලිය

තරගාවලියේ පැවැති පළමු තරගය වර්ෂාව හේතුවෙන්  පන්දුවාර 36.4කට පමණක් සීමා වෙන අතර දෙවැනි තරගය වර්ෂාව හේතුවෙන් සම්පූර්ණයෙන් ම අතහැර දැමීමට සිදු වෙනවා.

තෙවැනි තරගය ද අයහපත් තත්ත්වය හේතුවෙන් පන්දුවාර 30කට සීමා වෙනවා. එහෙත් එම තරගයේ දී ලකුණු 58ක පහසු ජයග්‍රහණයක් හිමි කර ගන්නා ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ තරගාවලිය ජයග්‍රහණයෙන් නිමා කරනවා.

තරගාවලිය අවසානයත් සමගින් ශ්‍රී ලංකාව මේ වන විට ICC කාන්තා ශූරතාවලියේ ප්‍රසාද ලකුණු පුවරුවේ 5 වැනි අසුන හිමි කර ගැනීමට සමත් වෙනවා. ඔවුන් එම තරගාවලිය වෙනුවෙන් මෙතෙක් තරග 9කට මුහුණ දී ජයග්‍රාහී තරග 2ක් පරාජිත තරග 5ක් සහ නොවිසඳුණ තරග 2ක් ලෙස නිමා කරමින් ප්‍රසාද ලකුණු 6ක් ලබා සිටිනවා.

මෙම තරගාවලියේ දී 21 වැනි වියේ පසුවෙන ඉමේෂා දුලානි සහ 20 හැවිරිදි වියේ පසුවෙන කාව්‍යා කාවින්දි ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින වරම් දිනා ගැනීමට සමත් වීම කැපී පෙණුනා.

වැඩිම ලකුණුලාභිනියෝ

මෙවර තරගාවලියේ දී තම දක්ෂතා අවම මට්ටමේ වූවත් පිතිකරු ලැයිස්තුවේ පළමු ස්ථානයට පත් වීමට චමරි අතපත්තු සමත් වුනා. ඇය මෙම තරගාවලියේ දී තරග 2ක ඉනිම් 2ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 111ක්. ඊට අර්ධ ශතකයක් ද ඇතුලත්. කෙසේ වෙතත් තරගාවලියේ වාර්තා වූ එක ම අර්ධ ශතකය වාර්තා කිරීමේ ගෞරවය ද ඇය සතු වෙනවා.

එම ලැයිස්තුවේ 2 වැනි සහ 3 වැනි ස්ථාන ද සතු වෙන්නේ ශ්‍රී ලංකාවට. තරග 2ක ඉනිම් 2ක දී ලකුණු 55ක් ලබා ගත් 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකාරිනී කවීෂා දිල්හාරි 2 වැනි ස්ථානයට පත් වෙද්දී 24 හැවිරිදි හර්ෂිතා මාධවී එම ලැයිස්තුවේ තෙවැනි අසුන හිමි කර ගන්නේ ලකුණු 45ක් ලබා ගනිමින්.

බංග්ලාදේශ ක්‍රීඩිකාවන් අතුරින් කණ්ඩායමේ නායිකා 25 හැවිරිදි Nigar Sultana මෙම ලැයිස්තුවේ සිවු වැනි ස්ථානයට පත් වෙනවා. ඇය එම ස්ථානය තහවුරු කර ගන්නේ තරග 2ක දී ලබා ගත් ලකුණු 37ත් සමගින්.

එහි 5 වැනි ස්ථානය නැවත ශ්‍රී ලංකාවට හිමි වෙන්නේ විශ්මි ගුණරත්න ලකුණු 28ක් ලබා ගනිමින් පෑ දක්ෂතා හේතුවෙන්.

වැඩිම කඩුලුලාභිනියෝ

දෙරට ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම කඩුලු ලබා ගත් පන්දු යවන්නියන් අතුරින් පළමු ස්ථානය 37 හැවිරිදි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන ඕෂදී රණසිංහ සතු වෙනවා. ඇය තරග 2ක දී ලබා ගන්නා ලද කඩුලු සංඛ්‍යාව 5ක්.

මෙම කඩුලු සංඛ්‍යාව ඇය දෙරට අතර පැවැති තෙවැනි වැනි එක්දින තරගයේ දී ලබා ගන්නා ලද අතර එය ලකුණු 34කට කඩුලු 5ක් ලෙසින් දැක් වෙනවා. මෙය මෙම තරගාවලියේ පන්දු යවන්නියක් පෑ ඉහළ ම දක්ෂතාවයි.

එමෙන් ම එම දක්ෂතාව ඇයගේ එක්දින ජාත්‍යන්තර තරග පිටියේ හොඳම පන්දු යැවීම බවට ද පත් වෙනවා. ඇයගේ මීට පෙර දක්ෂතාව වූයේ 2019 වසරේ දී දකුණු අප්‍රිකාවට එරෙහිව ලකුණු ලකුණු 40කට දවා ගත් කඩුලු 3 යි.

එහි 2 වැනි ස්ථානය බංග්ලාදේශයේ 23 හැවිරිදි වමතින් දඟ පන්දු යවන Nahida Akter සතු වෙනවා. ඇය තරග 2 දී ලබා ගත් කඩුලු සංඛ්‍යාව 4ක්.

ඉන් අනතුරුව ද එම ලැයිස්තුවේ ස්ථාන හිමිකර ගන්නේ බංග්ලාදේශ ක්‍රීඩිකාවන් විසින්.  Fahima Khatun, Sultana Khatun සහ Jahanara Alam කඩුලු 2 බැගින් ලබා ගනිමින් එහි එතැන් සිට සම අසුන් වෙන් කර ගන්නවා.

විස්සයි විස්ස තරගාවලිය

එක්දින තරගාවලියේ දී පරාජය වූ බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ විස්සයි විස්ස තරගාවලියට එක් වෙන්නේ තමන් මුහුණ දුන් පළමු තරගයෙන් කඩුලු 6ක ජයග්‍රහණයක් ලබා ගනිමින්. එම ජයග්‍රහණය හේතුවෙන් ඔවුන් තරගාවලියේ විශ්වසනීය වට පිටාවක් නිර්මාණය කරනවා.

නමුත් ඔවුන්ට ඊළඟ තරග 2 දී එම ප්‍රතිඵලය ලබා ගැනීමට හැකි වෙන්නේ නැහැ. ඒ අනුව පැවැති දෙවැනි තරගයෙන් කඩුලු 7ක පරාජයක් ද සහ තෙවැනි තරගයේ දී ලකුණු 44ක පරාජයකට ද ඔවුන්ට මුහුණ දීමට සිදු වෙනවා.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය නිමා වෙන්නේ 2-1ක් ලෙසින් සත්කාර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ජයග්‍රහණය කරමින්.

දක්ෂතා දැක් වූ පිතිකාරිනියෝ

කණ්ඩායම් දෙකේ ක්‍රීඩිකාවන් අතුරින් වැඩිම ලකුණු ලබා ගත් පිතිකාරිනිය වූයේ ශ්‍රී ලංකාවේ හර්ෂිතා මාධවී. 24 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකාරිනියක් වූ ඇය අර්ධ ශතකයක් සමගින් තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 125ක් ලබා ගන්නවා.

නොදැවී ක්‍රීඩා කළ ඉනිම් 2ක් ද ඒ අතර වීම හේතුවෙන් ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 125.0ක් බවට පත් කර ගැනීමට ද ඇය සමත් වීම කැපී පෙණුනා.

එහි දෙවැනි ස්ථානය බංග්ලාදේශ නායිකා Nigar Sultana සතු වෙනවා. තරග 3ක ඉනිම් 3ක දී අර්ධ ශතකයක් ද සමගින් ඇය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 113ක්. දෙරට අතර පැවැති පළමු විස්සයි විස්ස තරගයේ දී නොදැවී ලකුණු 75ක් ලබා ගැනීමට ද ඇය සමත් වෙන අතර එය මෙම තරගාවලියේ ක්‍රීඩිකාවක් පෞද්ගලිකව පෑ ඉහළ ම දක්ෂතාව බවට ද පත් වුනා.

එහි තෙවැනි ස්ථානය ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සතු කර ගන්නවා. ඇය තරග 3ක ඉනිම් 3ක දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 103ක්.

අනතුරුව එහි සිවු වැනි ස්ථානය නිලක්ෂි ද සිල්වා සතු කර ගන්නවා. ඇය තරග 3ක ඉනිම් 3ක දී වාර්තා කරන ලද ලකුණු සංඛ්‍යාව 96ක්. අවසන් තරගයේ දී පන්දු 39ක දී හතරේ පහර 4ක් සහ හයේ පහර 4ක් සමගින් නොදැවී ලකුණු 63ක් ලබා ගන්නා ඇය තම ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ මංගල අර්ධ ශතකය ද වාර්තා කිරීමට එම ඉනිමේ දී සමත් වෙනවා. තරගාවලිය අවසන් වෙන විට නොදැවුණ ඉනිම් දෙකක් ද සමගින් වූ ඇයගේ ලකුණු ලබා ගැනීමේ සාමාන්‍ය 96.00ක්.

එම ලැයිස්තුවේ 5 වැනි ස්ථානය නැවත බංග්ලාදේශය සතු වෙනවා. 21 හැවිරිදි වියේ පසුවෙන Sobhana Mostary තරග 3ක ඉනිම් 3ක දී ලකුණු 65ක් ලබා ගනිමින් එම ස්ථානය තහවුරු කර ගනිද්දී තමන් මුහුණ දුන් අවසන් තරගයේ දී ලකුණු 30ක් ලබා ගනිමින් එය තම තරග දිවියේ ඉහළ ම ඉනිමක ලකුණු සංඛ්‍යාව බවට ද පත් කර ගන්නවා.

දක්ෂතා දැක් වූ පන්දු යවන්නියෝ

තරගාවලියේ වැඩිම කඩුලු දවා ගත් පිතිකාරිනිය වූයේ ශ්‍රී ලංකාවේ උදේශිකා ප්‍රබෝධනී. 37 වැනි වියේ පසුවෙන වමතින් මද වේග පන්දු යවන ඇය ලබා ගත් කඩුලු සංඛ්‍යාව 5ක්. ඇයත් සමග සම මට්ටමේ අසුන් ගැනීමට බංග්ලාදේශයේ 30 හැවිරිදි වියේ පසුවෙන පා දඟ පන්දු යවන Fahima Khatun ද සමත් වෙනවා.

අනතුරුව කඩුලු 4 බැගින් දවා ගත් ශ්‍රී ලංකාවේ ඉනෝකා රණවීර සහ කෝඩුකාරියක ලෙසින් මෙවර තරගාවලියේ දී ජාත්‍යන්තර එක්දින වරම් දිනා ගත් කාව්‍යා කාවින්දි සමත් වෙනවා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ලිපි ගොනුව

ඒ කෙසේ වෙතත් තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා ලිපි ගොනු පරීක්ෂා කිරීමේ දී එහි එතරම් ම ගත යුතු දෙයක් නොවීමයි කැපී පෙනෙන්නේ. ශ්‍රී ලංකාවට ඉඳ හිටක ලැබෙන මෙවැනි තරගාවලියක දී ඔවුන් ඉන් වඩාත් ප්‍රයෝජන ගත යුතු වූවත් එවැන්නක් තරගාවලි ද්විත්වය පුරා ම දැක ගැනීමට ලැබුණේ නැහැ.

කණ්ඩායමක් දියුණු විමට නම් එකිනෙකා අතර තරගකාරීත්වයක් සේ ම විශ්වසනීයත්වයක් ද ගොඩ නැගී තිබිය යුතුයි. විශේෂයෙන් ම යොවුන් ක්‍රීඩිකාවන්ගේ යහපත් ප්‍රවිශ්ඨයක් සෑම තරගයක දී ම සිදු විය යුතුයි. නමුත් එවැන්නක් ද අපට මෙම තරගාවලිය පුරා ම දැක ගැනීමට ලැබුණේ නැහැ.

තවමත් අප යැපෙමින් සිටින්නේ අපගේ ජ්‍යෙෂ්ඨයන් මත්තේමයි. කණ්ඩායමේ නායිකා චමරි අතපත්තු සෑම විටක ම මේ අතුරින් ඉදිරියෙන් සිටින අතර අනෙකුත් ජ්‍යෙෂ්ඨයන් ද ඉඳ හිටක දක්වන දක්ෂතාත් සමගින් තම ස්ථාන තහවුරු කරගනිමින් සිටිනවා.

ඒ අනුව චමරි අතපත්තු මෙම තරගාවලි ද්විත්වයේ ඉනිම 5ක දී ලකුණු 214ක් ලබා ගනිමින් තව දුරටත් තම ආදිපත්‍ය තබා ගන්නවා. ඇයගේ පිතිකරු භූමිකාගේ සාමාන්‍ය 42.8ක් ලෙසින් දැක් වෙන අතර පන්දු යවන්නියක් ලෙසට ඇයට ඉනිම දෙකක දී ලබා ගැනිමට හැකි වෙන්නේ එක් කඩුල්ලක් පමණයි.

අනෙක් ජ්‍යෙෂ්ඨයන් අතුරින් ඉදිරියෙන් සිටින 33 හැවිරිදි වියේ පසුවෙන නිලක්ෂි ද සිල්වා තරගාවලි ද්විත්වයේ දී වාර්තා කරන ලද ලකුණු ප්‍රමාණය 109ක්. ඉනිම 5ක නොදැවුණ ඉනිම් 2ක් සමගින් වූ එහි දක්ෂතාවේ සාමාන්‍ය 36.33ක්.

තරගාවලි ද්විත්වයේ දී ම පිතිකාරිනියක් ලෙසින් යොවුන් ක්‍රීඩිකා 24 හැවිරිදි වියේ පසුවෙන හර්ෂිතා මාධවී දැක් වූ සහයෝගය ප්‍රශංසනීයයි. මේ වෙද්දී ජාතික කණ්ඩායමට ප්‍රවිශ්ඨව වසර 7ක පමණ කාලයක් ගත වෙන ඇයගේ විශිෂ්ඨ ඉනිම් අතරට මෙම තරගාවලි ද්විත්වය ඇතුලත් වෙනවා.

ඇය නිමා වූ ඉනිම් 5 දී නොදැවුණ ඉනිම් 3ක් සමගින් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 170ක් වන අතර එහි සාමාන්‍ය 85.0ක්.

පිතිකාරිනියක් ලෙසින් 22 හැවිරිදි වියේ පසුවෙන කවිෂා දිල්හාරි ද පෑ දක්ෂතා අගය කළ යුතුයි. ඇය තරග 5ක ඉනිම් 4ක දී ලබා ගන්නා ලද ලකුණු සංඛ්‍යාව 75ක්. ඒ තුළ නොදැවුණ ඉනිම් 2ක් ඇතුලත් බැවින් ඇයගේ සාමාන්‍ය දැක් වෙන්නේ 37.5ක් ලෙසයි.

පිතිකාරිනියන් එලෙසින් එම තරගාවලි ද්විත්ය නිමා කරද්දී පන්දු යවන්නියන් ද ඒ ආකාරයෙන් ම මෙම තරගාවලිය නිමා කළා. ඒ අතුරින් පන්දු යැවූ ජ්‍යෙෂ්ඨයන්ගේ දක්ෂතා ඉතා අල්ප තත්ත්වයේ පසුවීම මෙම තරගාවලි ද්විත්යේ දී කැපී පෙණුනා.

බංග්ලාදේශ ක්‍රීඩිකාවෝ තරගාවලි ද්විත්වය පුරා පන්දුවාර 88.1කට මුහුණ දුන් අතර ඉන් පන්දුවාර 68.1ක් ම යවනු ලැබුවේ චමරි අතපත්තු ඇතුළු මේ ජ්‍යෙෂ්ඨයන්.

බංග්ලාදේශය පන්දුවට පහර දුන් ඉනිම 4කදී දැවී ගිය කඩුලු 31න් කඩුලු 23ක් සතු කර ගැනීමට මේ ජ්‍යෙෂ්ඨයන්ට හැකි වෙනවා. ඒ අතුරින් ඕෂදී රණසිංහ කඩුලු 7ක්, උදේශිකා ප්‍රබෝධනී කඩුලු 6ක් සහ ඉනෝකා රණවීර කඩුලු 5ක් දවා ගන්නවා. ඔවුන් තිදෙනා ම 37 හැවිරිදි වියේ පසුවෙන්නන් වන අතර 31 හැවිරිදි වියේ පසුවෙන සුගන්ධිකා කුමාරිට කඩුලු 4ක් සහ නායිකා චමරි අතපත්තුට කඩුල්ලක් හිමි වෙනවා.

තරගාවලි ද්විත්වය පුරා ජ්‍යෙෂ්ඨයන්ගේ හැසිරීම ඒ ආකාරයෙන් වෙද්දී 22 හැවිරිදි වියේ පසුවෙන දකුණත් පිතිකාරිනී කවීෂා දිල්හාරි මේ තරගාවලියේ දී කැපී පෙණෙන ඉනිම් කිහිපයක ම නිරත වීම යහපත් ප්‍රවණතාවයක් ලෙසින් සැලකිය හැකියි. ඇය මෙම තරගාවලි ද්විත්යේ ඉනිම් 4ක දී ලකුණු 75ක් ලබා ගන්නා ලද අතර එහි සාමාන්‍ය 37.5ක් ලෙසින් දැක් වෙනවා. පන්දු යවන්නියක් ලෙසින් ද ඇයට කඩුලු 2ක් හිමි වෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමේ අනාගත බලාපොරොත්තු අතර ඉහළින් ම සිටින 17 හැවිරිදි වියේ පසුවෙන විශ්මි ගුණරත්නට මෙම තරගාවලියේ දී ලකුණු අතරට පිවිසීමට නොහැකි වීම විශාල පාඩුවක්. ඇය නිමා වූ ඉනිම් 5 දී ලබා ගන්නේ ලකුණු 53ක් පමණක් වන අතර එහි සාමාන්‍ය දැක්වෙන්නේ 10.6ක් ලෙසයි.

ඇය එසේ අසාර්ථක වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වූ අලුත් ම ක්‍රීඩිකාව වූ කාව්‍යා කාවින්දි නැවුම් කාන්තා ක්‍රිකට් පිටියට නැවුම් බලාපොරොත්තු එක් කළා. ඇය තම කුළුදුල් තරගාවලි ද්විත්වයේ තරග ත්‍රිත්වය නිමා කරන්නේ කඩුලු 4ක් තම ගිණුමට බැර කර ගනිමින්. ඒ වෙනුවෙන් ඇය ප්‍රතිවාදීන්ට ලබා දෙන්නේ ලකුණු 56ක් පමණයි.

කරුණු කාරණා එසේ වෙද්දී බංග්ලාදේශයට එරෙහිව ලැබූ ජයග්‍රහණයෙන් පමණක් අප උදම් වන්නේ නම් හෝ සෑහීමකට පත් වන්නේ නම් එය කණ්ඩායමේ අනාගතය නොවන බැව් වටහා ගත යුතුයි. කණ්ඩායමේ ජයග්‍රහණය සේ ම කණ්ඩායමේ එකිනෙකාගේ දක්ෂතා ද ඊට ඉවහල් කර ගත යුතුයි. අපේ කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ අනාගතය රැදී පවතින්නේ එසේ වන්නේ නම් පමණි.