නවසීලන්ත ක්‍රිකට් ක්‍රීඩිකාවන් පළමු වරට ශ්‍රී ලංකා සංචාරයකට

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

287

එක්දින තරග 3කින් සහ විස්සයි විස්ස තරග 3කින් සමන්විත තරගාවලියක් වෙනුවෙන් නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම එළඹෙන ජුනි 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි.

නවසීලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායමක් ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරග සංචාරයක් වෙනුවෙන් දිවයිනට පැමිණෙන පළමු අවස්ථාව මෙයයි. මේ දක්වා ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර කාන්තා එක්දින තරග 10ක් සහ විස්සයි විස්ස තරග 10ක් පවත්වා තිබෙන අතර එම තරග සියල්ලම ජයගෙන ඇත්තේ නවසීලන්තයයි.

මේ තරගාවලියට ඇතුළත් එක්දින තරග තුන ජුනි 30 සිට ජුලි 7 දක්වා ගාල්ලේ දී පැවැත්වීමට නියමිත අතර විස්සයි විස්ස තරග තුන ජූලි 8 සිට 12 දක්වා පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

2025 වසරේ ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිත ICC කාන්තා එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සෘජුව සුදුසුකම් ලබා ගන්නා කණ්ඩායම් 5 තෝරාගැනීම වෙනුවෙන් 2022 – 2025 ICC කාන්තා එක්දින ක්‍රිකට් ලීගයක් පැවැත්වෙන අතර ඒ යටතේ පැවැත්වෙන තරගාවලියක් ලෙස මෙහි එක්දින තරග තුන ක්‍රියාත්මක වෙනවා.

2022 – 2025 ICC කාන්තා එක්දින ක්‍රිකට් ලීගය තුල ශ්‍රී ලංකා කණ්ඩායමට මෙරට දී තරගාවලි 4ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ ඉන්දියාව, බංග්ලාදේශය, නවසීලන්තය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතරයි.

ඉන් ඉන්දීය සහ බංග්ලාදේශ තරගාවලි දෙක දැනටමත් පවත්වා අවසන් අතර එහි දී ඉන්දියාවට එරෙහිව 3-0ක් ලෙස පරාජය වුනු ශ්‍රී ලංකාව 1-0ක් ලෙස (තරග 2 වර්ෂාවට සේදී ගියා) බංග්ලාදේශයට එරෙහි තරගාවලිය ජය ගත්තා.

එසේම ශ්‍රී ලංකාවට මෙරටින් එපිට තරගාවලි 4ක් ක්‍රීඩා කිරීමට නියමිත අතර ඒ අනුව පාකිස්තානය, එංගලන්තය, දකුණු අප්‍රිකාව සහ අයර්ලන්තය සමඟ ශ්‍රී ලංකාව ක්‍රීඩා කිරීමට නියමිතයි. ඒ අතරින් පාකිස්තාන තරගාවලිය දැනට අවසන් වී තිබෙන අතර එය 2-1ක් ලෙස ජය ගත්තේ පාකිස්තානයයි.

දැනට යාවත්කාලීන වී තිබෙන 2022 – 2025 ICC කාන්තා එක්දින ක්‍රිකට් ලීගයේ ප්‍රසාද ලකුණු සටහනට අනුව, ශ්‍රී ලංකාව කණ්ඩායම් 10ක් අතරින් 7 වැනි ස්ථානයේ සිටින අතර නවසීලන්තය එහි තෙවැනි තැන සිටිනවා.

තරග කාලසටහන,

  • ජුනි 27 – පළමු එක්දින තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජුනි 30 – දෙවැනි එක්දින තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 3 – තෙවැනි එක්දින තරගය – ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 6 – ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කාන්තා කණ්ඩායම සමඟ පැවැත්වෙන පුහුණු තරගය – CCC ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 8 – පළමු විස්සයි විස්ස තරගය – පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 10 – දෙවැනි විස්සයි විස්ස තරගය – පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී
  • ජූලි 12 – තෙවැනි විස්සයි විස්ස තරගය – පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ දී

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙතට රැගෙන එන්නට ThePapare.com සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<