කැන්ගරු දේශයේ සිට වාර්තා අලුත් කළ සිංහයන්ගේ පොදුරද මඩුලු සවාරිය

485
2018 Commonwealth Games

බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය ක්‍රීඩා උළෙල, බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල, බ්‍රිතාන්‍ය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සහ පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල යන විවිධ නම්වලින් වසර 84ක් පුරා පැවැත්වුණු හිරු නොබසින අධිරාජ්‍යයට අයත්ව තිබූ රටවල් අතර ක්‍රීඩා උළෙල මෙවර පැවැත්වුණේ 21 වන වරටයි.

එයින් අවස්ථා 16ක් සඳහාම තරග වැදුණු ශ්‍රී ලංකාව ඉහළම පදක්කම් සංඛ්‍යාවකට හිමිකම් කියූ වසර මෙයයි. රිදී පදක්කමකින් සහ ලෝකඩ පදක්කම් 5කින් ලක් මාතාවගේ ගෙල සැරසෙද්දී තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙක්ම තම පෞද්ගලික හොඳම දක්ෂතා අතරට පිවිසීම කැපී පෙනුනි.

රන් පදක්කම් 275ක් සමඟින් පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සටන ඇරඹේ

එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි..

රටක පදක්කම් බලාපොරොත්තුවේ බර ඉසිලූ ක්‍රීඩකයන්

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා සහභාගීත්වයෙන් වඩාත්ම සාර්ථක වූයේ බර එසවීමේ කණ්ඩායම යැයි පැවසුවහොත් එය අතිශයෝක්තියක් නොවේ. බර එසවීමේ කණ්ඩායම ශ්‍රී ලංකාවට රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා දුන්නා පමණක් නොව තවත් ක්‍රීඩක ක්‍රීඩිකාවන් තිදෙනෙක් පදක්කමක් දිනා ගැනීමේ සීමාවට බොහෝ සෙයින් ළඟා වීමට සමත් විය.

ගෝල්ඩ් කෝස්ට් තරග බිමේ ශ්‍රී ලංකා නාමය රිදියෙන් සටහන් කරන්නට සමත් වූ එකම ක්‍රීඩකයා බවට පත් වුනේ ඉන්දික දිසානායක යි. පිරිමි කිලෝ ග්‍රෑම් 69 බර පන්තිය යටතේ තරග වැදුණු ඉන්දික වාර්තා කළ දක්ෂතාව කිලෝ ග්‍රෑම් 297කි.

නමුත් තරගයෙන් අනතුරුව ඉන්දික පැවසුවේ තමන්ට තවත් කිලෝ ග්‍රෑම් කිහිපයක් ඔසවා රන් පදක්කම වෙත යාමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන්නේ පුහුණුවීම්වල දී මීට වඩා බරක් ඔසවන්නට තමන් සමත්ව තිබීම හේතුවෙන් බවයි.

21 වන පොදු රාජ්‍ය මණ්ඩලීය තරග බිමේ ශ්‍රී ලංකා පදක්කම් සටහන පළමුවෙන් ක්‍රියාත්මක කළ චතුරංග ලක්මාල් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ පිරිමි කිලෝ ග්‍රෑම් 56 බර පන්තිය යටතේ තරග වදිමින්. එහි දී කිලෝ ග්‍රෑම් 248ක බරක් එසවූ චතුරංග හට රිදී පදක්කම අහිමිව ගියේ එක් කිලෝ ග්‍රෑමයක අඩුවකින් පමණි.

දිනුෂා ගෝමස් කාන්තා කිලෝ ග්‍රෑම් 48 බර පන්තිය යටතේ තරග වදිමින් ලෝකඩ පදක්කමක් දිනා ගැනීම සඳහා එසවූ බර ප්‍රමාණය කිලෝ ග්‍රෑම් 155ක් ලෙස සටහන් විය. මෙම දක්ෂතාව ශ්‍රී ලංකා බර එසවීමේ වාර්තා පොත් අතරට එක් වුනේ පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමකට හිමිකම් කියූ පළමු කාන්තා නියෝජනය ලෙසින්.

මීට අමතරව පිරිමි කිලෝ ග්‍රෑම් 62 බර පන්තිය යටතේ තරග කළ තිලංක පළඟසිංහ සහ කාන්තා කිලෝ ග්‍රෑම් 53 බර පන්තිය යටතේ තරග වැදුණු චමරි වර්ණකුලසූරිය පදක්කම් අහිමි කර ගත්තේ පදක්කම් පුවරුව පෙනෙන මානයටම පැමිණීමෙන් අනතුරුව වීම කනගාටුවට කරුණක් විය. ඔවුන් දෙදෙනාම සිය ඉසව් අවසන් කළේ සිව්වැනි ස්ථානයටයි.

වසර 68 කට පසු නිවැරදි එල්ලයට යොමුවූ මුෂ්ටි ප්‍රහාරය

ශ්‍රී ලංකාවට නැතහොත් එවක ලංකා (CEYLON) ලෙස හැඳින්වුණු අප දේශයට පළමු පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා පදක්කම හිමි වුනේ බොක්සිං ක්‍රීඩාවෙන් විය. 1938 සිඩ්නි ක්‍රීඩා උළෙලේ දී බානි හෙන්රික්ස් දිනාගත් එම රන් පදක්කමට සහ 1950 ඕක්ලන්ඩ් ක්‍රීඩා උළෙලේ දී කේ. එඩ්වින් සහ ඇල්බට් පෙරේරා දිනාගත් රිදී පදක්කම් දෙකට පසු ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිසිවෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා බොක්සිං වලල්ලේ ශ්‍රී ලංකා ධජය ඉහල නංවන්නට සමත්ව තිබුණේ නැත. නමුත් වසර 68ක අමිහිරි ඉතිහාසය අවසන් කළ ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම මෙවර නැවත සිය රට පැමිණියේ ලෝකඩ පදක්කම් තුනක් දිනා ගැනීමෙන් අනතුරුවයි.

එහි දී මෙරට බොක්සිං ඉතිහාසයටම නව පිටුවක් එක් කළ අනූෂා කොඩිතුවක්කු පළමු කාන්තා බොක්සිං පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමේ අයිතිය තමන් සතු කර ගන්නට සමත් විය. කාන්තා කිලෝ ග්‍රෑම් 45 – 48 බර පන්තියෙන් තරග කළ අනූෂා ලෝකඩ පදක්කමකට හිමිකම් කියූ අතර වඩාත් ඉහළ පදක්කමක් සඳහා යාමට ඇයට නොහැකි වුනේ අවසන් පූර්ව තරගයේ දී පස් වරක් ලෝක ශූරතාව දිනා ඇති ඉන්දීය ක්‍රීඩිකා මේරි කොම් හමුවේ පරාජය වීම හේතුවෙනුයි.

තිවංක රණසිංහ ශ්‍රී ලංකාව වෙනුවෙන් තවත් ලෝකඩ පදක්කමක් දිනා ගත්තේ පිරිමි කිලෝ ග්‍රෑම් 46 – 49 බර පන්තිය යටතේ බොක්සිං වළල්ලට පිවිසෙමින්. තිවංක ද අවාසනාවන්ත ලෙස අවසන් පූර්ව තරගයේ දී එංගලන්ත ක්‍රීඩකයෙකු හමුවේ පරාජය වීම හේතුවෙන් රන් හෝ රිදී පදක්කමක අයිතිය අහිමි විය.

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ අවසන් පදක්කමේ අයිතිය ලියවුණේ ඉශාන් බණ්ඩාරගේ නමිනුයි. පිරිමි කිලෝ ග්‍රෑම් 52 බර පන්තියේ බොක්සිං මූලික වටයේ දී නාවුරු ක්‍රීඩකයෙක් සහ අර්ධ අවසන් පූර්ව තරගයේ දී ලෙසතෝ ක්‍රීඩකයෙක් පරාජය කරමින් පදක්කමක අයිතිය තහවුරු කර ගත් ඉශාන් අවසන් පූර්ව තරගයේ දී පරාජය වුනේ ඉන්දීය ක්‍රීඩකයෙක් වූ ගෞරව් සොලොන්කි හමුවේ යි.

ශ්‍රී ලංකාවට හිමි වූ බොක්සිං ලෝකඩ පදක්කම් ත්‍රිත්වයේම විශේෂත්වය වූයේ අවසන් පූර්ව තරගයේ දී ඔවුන් පරාජය කළ ක්‍රීඩකයන් දෙදෙනා සහ ක්‍රීඩිකාව පසුව අදාළ ඉසව් හි රන් පදක්කම දිනා ගැනීමට සමත් වීමයි. ඒ නයින් බලන කළ අනෙක් අවසන් පූර්ව තරගයට සහභාගී වීමට අවස්ථාව ලැබුණි නම් ඔවුන් තිදෙනාගෙන් යමෙකුට රිදී පදක්කමක් කරා යාමට අවස්ථාවක් තිබූ බවට කෙරෙන තර්කයක වුවත් අසාධාරණයක් නැත.

“මට සෙරෙප්පු දෙකක්වත් තිබුණේ නෑ” – බොක්සිං රැජිණ, අනූෂාගේ ජීවිත කතාව

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවේ පළමු කාන්තා බොක්සිං පදක්කමේ…

හොඳ නරක දෙකම ඇසූ ජවන හා පිටිය කණ්ඩායම

මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ වැඩිම ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිසක් ශ්‍රී ලංකාව නියෝජනය කළේ මලල ක්‍රීඩා සඳහායි. කෙසේ වෙතත් බලාපොරොත්තු වූ ලෙසම එකදු පදක්කමක් හෝ දිනා ගැනීමට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමත් වුනේ නැත. එමෙන්ම පිරිමි මීටර් 4x100 සහාය කණ්ඩායම හැරුණු විට අන් කිසිදු ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් තම පෞද්ගලික හොඳම දක්ෂතා අතරට පැමිණීමට සමත් වූයේ ද නැත.

ප්‍රසාද් විමලසිරි පිරිමි දුර පැනීමේ ඉසව්වෙන් 7 වන ස්ථානයත්, දිල්හානි ලේකම්ගේ කාන්තා හෙල්ල විසි කිරීමේ ඉසව්වේ 5 වන ස්ථානයත් දිනා ගත් අතර රුමේශිකා රත්නායක කාන්තා මීටර් 200 ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබන්නට සමත් විය. හිරුනි විජේරත්න කාන්තා මැරතන් ඉසව්වේ 11 වන ස්ථානය දිනා ගත්ත ද  සිය පෞද්ගලික හොඳම දක්ෂතාව අසලට හෝ පැමිණීමට අසමත් විය.

නිමාලි ලියනාරච්චි සහ ගයන්තිකා අබේරත්න කාන්තා මීටර් 800 ඉසව්වේ පළමු වටයෙන් ම ඉවත් වෙද්දී පිරිමි උස පැනීමේ අවසන් තරගයට සුදුසුකම් ලැබූ මංජුල කුමාර එහි දී එකදු උත්සාහයක් හෝ සාර්ථක කර ගනීමට සමත් වුණේ නැත. කෙසේ වෙතත් මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා පිළිබඳ සලකා බැලීමේ දී මෙරට මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට පුහුණුවීම සඳහා නිසි ප්‍රමිතියෙන් යුතු ධාවන පථයක් හෝ ක්‍රීඩාංගණයක් නොතිබූ බව ද අමතක කළ යුතු නැත.

කෙසේ වෙතත් කුමන බාධක හමුවේ හෝ ඉතිහාසගත දක්ෂතාවක් දක්වන්නට පිරිමි මීටර් 100 x 4 සහය ඉසව්වට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ දීර්ඝ කාලයකට පසු එම ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබා ගනිමින්. අවසන් තරගයේ දී තත්ත්පර 39.08 ක කාලයක් වාර්තා කරමින් සිය ජාතික වාර්තාව ද අලුත් කළ හිමාෂ එශාන්, ෂෙහාන් අඹේපිටිය, අර්ශාඩ් ලතීෆ් සහ විනොජ් සුරංජය ඇතුළු කණ්ඩායමට හිමි වුනේ 6 වන ස්ථානය වුවත් එළඹෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා යම් බලාපොරොත්තුවක් ඉතිරි කරන්නට ඔවුන් සමත් විය. මන්ද ලබන අගෝස්තුවේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා සූදානම් වීමට කාලය මෙන්ම නවීකරණය කරන ලද සුගතදාස ධාවන පථය ද මේ ක්‍රීඩකයන් සතුව තිබීම හේතුවෙනි.

දිය කිඳුරන්ගෙන් අනාගතයට බලාපොරොත්තුවක්

පිරිමි මීටර් 4x100 සහාය දිවීමේ කණ්ඩායම මෙන්ම පිරිමි මීටර් 4x100 සහාය පිහිනුම් කණ්ඩායම ද ඉතිහාසය අලුත් කළේ සිය ඉසව්වේ අවසන් තරගය සඳහා සුදුසුකම් ලබමින්. මැතිව් සහ කයිල් අබේසිංහ සොහොයුරන් සමගින් එක් වූ අකලංක පීරිස් සහ චෙරන්ත ද සිල්වා මූලික වටයේ 5 එන ස්ථානය දිනා අවසන් තරගයට පිවිසුණු අතර සුළු තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ඔවුන්ට අවසන් තරගයේ දී ස්ථානයක් හිමි නොවීය.

එමෙන්ම කේවල ඉසව් අතර නව ජාතික වාර්තා තුනක් බිහි කරන්නට මැතිව් අබේසිංහ සහ අකලංක පීරිස් සමත් විය. මැතිව් පිරිමි නිදහස් ආර මීටර් 50 සහ 100 ඉසව් දෙකෙන් සහ අකලංක පිරිමි මීටර් 50 පසුපස ආර ඉසව්වෙන් මෙම වාර්තා පිහිටවූ අතර ඔවුන් දිගින් දිගටම තමන්ගේ වාර්තා මෙසේ අලුත් කිරීම මෙරට පිහිනුම් ක්‍රීඩාවට සුබ පෙර ලකුණක් බව අමුතුවෙන් කිව යුතු නොවේ.

තෙවැනි දිනය නිමාවේ දී මෙත්සරණි පළඟ අවසන් සටනට

පළමු දින දෙක පුරාවටම ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමස්ත සහභාගීත්වයේම..

නිලූකට නොහැකි වූ දස්කමක් වෙත ළඟා වූ දිනුක

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි කේවල බැඩ්මින්ටන් ඉසව්වේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ පළමු ක්‍රීඩකයා බවට පත් වන්නට දිනුක කරුණාරත්න සමත් විය. ඔහුගේ සොහොයුරු නිලූක හට අවසන් ක්‍රීඩකයන් 16 දෙනාගේ වටයෙන් අවත වන්නට සිදු වුනේ ජගත් බැඩ්මින්ටන් ක්‍රීඩකයන් වර්ගීකරණයේ අංක 2 ස්ථානයේ පසුවන ඉන්දීය ක්‍රීඩකයා හමුවේ පරාජය වීමත් සමගයි.

මේ අතර මෙරට බැඩ්මින්ටන් ක්‍රීඩාවට ගෞරවයක් එක් කරමින් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක පදක්කමක් සඳහා තරග වැදීමට සුදුසුකම් ලැබූ පළමු බැඩ්මින්ටන් යුගලය බවට පත් වන්නට සචින් ඩයස් සහ බුවනෙක ගුණතිලක සමත් විය. පිරිමි යුගල බැඩ්මින්ටන් ඉසව්වේ අවසන් පූර්ව තරගය පරාජය වීමෙන් පසු ලෝකඩ පදක්කම සඳහා පවතී තරගයට එක්වූ සචින් සහ බුවනෙක අත්දැකීම් බහුල මැලේසියා කණ්ඩායම හමුවේ පදක්කම් සිහිනය බොඳ කර ගත්ත ද ඔවුන්ගේ උත්සාහය ඉහළින්ම අගය කළ යුතුය.

අටවැනි දවසේ අයියාට බැරිවුන දේ මල්ලි කරයි

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම්..

මෙත්සරණි පියවර කිහිපයක් ඉදිරියට

සිය දෙවන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල සඳහා සහභාගී වූ යොවුන් ස්කොෂ් ක්‍රීඩිකා මිහිලියා මෙත්සරණි මෙවර පියවර කිහිපයක් ඉදිරියට යමින් සමස්ත තරගාවලියේ 18 වන ස්ථානයට පත් වන්නට සමත් විය. මෙවර ඉසව්වේ දෙවන වටයේ දී ලද පරාජයත් සමඟ පළඟ ශූරතාව සඳහා තරග වැදුණු ඇය පළඟ අවසන් තරගය දක්වා පැමිණි අතර එහිදී පළඟ අනුශූරතාවයෙන් සෑහීමකට පත් වන්නට මෙත්සරණිට සිදු විය. කෙසේ වෙතත් පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව ස්කොෂ් ඉසව්වෙන් වාර්තා කළ ඉහළම දක්ෂතාව මෙයයි.

තෙවැනි දිනය නිමාවේ දී මෙත්සරණි පළඟ අවසන් සටනට

පළමු දින දෙක පුරාවටම ශ්‍රී ලංකා පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා සමස්ත සහභාගීත්වයේම සැනසීමට.

සමස්තයක් ලෙස ගත් කළ මෙවර පදක්කම් සටහනේ ශ්‍රී ලංකාවට හිමිවූ 31 වන ස්ථානය පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලක ශ්‍රී ලංකාව දිනා ගත් ඉහළම ස්ථානය නොවේ. නමුත් අද වන විට ක්‍රීඩාවේ  ඇති වී තිබෙන දියුණුව සහ මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට ඇති පහසුකම් දෙස බැලීමේ දී මෙම ස්ථානය පිළිබඳ සතුටු වීමට ද අපට නොහැකියාවක් නැත.

නව ක්‍රීඩා අමාත්‍යවරයා අද (19) පස්වරුවේ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පදක්කම් ලාභීන් හමුවීමට නියමිත අතර මෙරට ක්‍රීඩාලෝලීන් සියලු දෙනාගේ බලාපොරොත්තුව එළඹෙන අගෝස්තු මාසයේ පැවැත්වෙන ආසියානු ක්‍රීඩා උලෙළේ දී ශ්‍රී ලංකාව වෙනුවෙන් වැඩි පදක්කම් සංඛ්‍යාවක් දිනා ගැනීමට අවශ්‍ය ශක්තිය නව පරිපාලනයෙන් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත හිමිවනු ඇති යන්නයි.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<