ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව කළමනාකරුවෙක්

576

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙක් වන චරිත් සේනානායක මහතා ජූලි මස 25 වන දා සිට මේ වසරේ  සැප්තැම්බර් මස 30 වැනිදා දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස පත්කර ඇත.

>> ආසියානු කුසලානයේ තරග කාලසටහන නිකුත් වේ

මේ මස 29 වැනිදා සිට ආරම්භ වන ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකානු එක්දින ක්‍රිකට් තරගාවලියේ සිට සේනානායක මහතා වැඩකටයුතු ආරම්භ කිරීමට නියමිත අතර ලබන සැප්තැම්බර් මස 15 වැනිදා ආරම්භ වන ආසියානු ක්‍රිකට් තරගාවලියේ දී ද ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස වැඩකටයුතු කිරීමට සේනානායක මහතාට සිදු වේ.

කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙක් වන ඔහු ශ්‍රී ලංකා A කණ්ඩායමේ කණ්ඩායම් කළමනාකරු ලෙස මෙතෙක් කාලයක් වැඩකටයුතු සිදු කරන ලදි. පසුගිය දා නිමා වූ ශ්‍රී ලංකා A කණ්ඩායමේ කොදෙව් තරග සංචාරය හා බංග්ලාදේශ තරග සංචාරයේ දී ඉතාමත් හොඳින් සිය වගකීම ඉටු කර අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා A කණ්ඩායම එම සංචාර දෙකම ඉතාමත් සාර්ථකව අවසන් කළේය.

>> ශ්‍රී ලංකා එක්දින සංචිතයට අලුත් මුහුණක්

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු ලෙස වැඩකටයුතු කළ අසංක ගුරුසිංහ මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරියා ලෙස පත්කිරීම නිසා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුරප්පාඩු වූ කළමනාකරු ධූරය සඳහා සේනානායක මහතාව තාවකාලිකව පත්කර ඇත.

“මේ වගේ අවස්ථාවක් මට ලබා දීම සම්බන්ධව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මම ස්තුතිවන්ත වෙනවා. සෑම වෘත්තීයමය ක්‍රීඩාවකම විනය නීති මාලාවක් තියෙනවා. අපි ක්‍රීඩා කරන කාලේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නීති ඉතාමත් තදයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් කියන්නේ අපේ රටේ ප්‍රතිරූපය ලෝකය ඉදිරියට ගෙන යන එක් පිරිසක්. පසුගිය දවස් කිහිපය තුල යම් යම් සිදුවීම් කිහිපයක් වාර්තා වුනා. මම බලාපොරොත්තු වෙනවා මගේ කාලය තුල එවැනි දේවල් ඉතාමත්ම අවම කරගන්න. නීතියට උඩින් යන්න කාටවත් බෑ මොකද ක්‍රීඩාව සැමටම වඩා උඩින් තියෙන්නේ. යැයි සේනානායක මහතා ThePapare.com වෙත පැවසීය.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<