අටවැනි දවසේ අයියාට බැරිවුන දේ මල්ලි කරයි

599
commonwealth - day 8

21 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 8 වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 27 වන ස්ථානය දක්වා පසුබැස තිබෙන අතර රන් පදක්කම් 63ක් සමඟින් මුලු පදක්කම් 156ක් දිනාගත් සත්කාරක ඕස්ට්‍රේලියානුවන් සිය ආධිපත්‍ය තවදුරටත් තහවුරු කර ගන්නට සමත්ව සිටියි. සුපුරුදු ලෙස එංගලන්තය දෙවන ස්ථානයේත්, ඉන්දියාව තෙවැනි ස්ථානයේත් රැඳී සිටියි.

ශ්‍රී ලංකාවට තවත් පදක්කම් දෙකක් ලබා දුන් සත්වැනි දිනය

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 7 වැනි දිනය අවසන් වන විට ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25…

අයියාට අභියෝගාත්මක වුවත් මල්ලී අවසන් 8ට

දිනූක කරුණාරත්න

ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ක්‍රීඩාවේ දක්ෂ ක්‍රීඩකයින් දෙදෙනෙක් වන නිලූක කරුණාරත්න හා දිනූක කරුණාරත්න යන සොහොයුරන් ඊයේ (12) ඒකල  අවසන් සුපිරි 16 දෙනාගේ තරග වටය යට‍තේ තරග වැදුනි.

එහි දී නිලූක ඉන්දියාවේ ප්‍රබල ක්‍රීඩකයෙකු වන ශ්‍රීකාන්ත් කිඩම්බි සමඟ පැවති තරග වට 2කම ලකුණු 21-10ක් ලෙස පරාජය විය. කෙසේ නමුත් නිලූකගේ සොහොයුරා වන දිනූක මුරුසි දිවයිනේ ජෝර්ජස් පෝල්ව තියුණු තරග වට දෙකකට පසුව පරාජය කළේ ලකුණු 23-21ක් හා 22-20ක් ලෙසිනි.

 

 

මේසපන්දු සුපිරි 16 වටයේ දී ශ්‍රී ලංකාවට සිදු වූයේ කුමක් ද?

කාන්තා යුගල හා පිරිමි යුගල යන තරග ඉසව් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ හංසනී කපුගීකියන, ඉෂාර මදුරංගි හා බුවනක ජයසිංහ, ඉමේෂ් රණසිංහ යන කණ්ඩායම් දෙකම අවසන් 16 දෙනාගේ තරග වටය දක්වා පැමිණි අතර  එතැන් සිට සුපිරි 8 වටයට සුදුසුකම් ලබා ගැනීමට පැවැත්වූ තරගයේ දී කණ්ඩායම් දෙකටම ඉන්දීය කණ්ඩායම් හමුවේ තරග වට 3/0ක් ලෙස පරාජය වීමට සිදු විය.

එහි දී හංසනී, ඉෂාර ලකුණු 11-04, 11-4, 11-01ක් ලෙස ඉන්දියාවේ  මනිකා බස්‍රා, වුමා ඩාස් හමුවේ පරාජය වූ අතර, ශ්‍රාත් අචන්ත, සතියන් හමුවේ 11-03, 11-04, 12-10ක් ලෙස පරාජය වීමට ශ්‍රී ලංකාවේ බුවනක, ඉමේෂ් හට සිදු විය.

බර ඉසිලීමේ ක්‍රීඩකයින් ශ්‍රී ලංකාවට පැමිණෙයි: Photos: 21 players of the Commonwealth Games medalist weightlifter event comes homeland

තිලිණි, කවිදි සහ හසිනි, දිල්රුක්ෂි අවසන් අටට

කාන්තා යුගල බැඩ්මින්ටන් තරග ඉසව්ව වෙනුවෙන් තරග වැදුණු තිලිණි ප්‍රමෝදිකා හා කවිදි සිරිමාන්නගේ, දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් යුගලය හමුවේ තරග වට 2/0ක පහසු ජයක් ලබා ගත්තේ ලකුණු 21-09 බැගින් වාර්තා කරමිනි.

එසේම මුරුසි ක්‍රීඩිකාවන් යුගල ලකුණු 21-06ක් හා ලකුණු 21-09ක් ලෙස පහසුවෙන් පරාජය කළ හසිනි අම්බලන්ගොඩගේ හා මධුෂිකා දිල්රුක්ෂි අද (13) දිනයේ දී අර්ධ අවසන් පූර්ව වටයේ තරග වැදීමට නියමිතව ඇත්තේ ඉන්දියානු ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සමඟයි.

තවද තිලිණි, කවිදි සුපිරි අට (අර්ධ අවසන් පූර්ව) තරග වටයේ දී එංගලන්ත ක්‍රීඩිකාවන් දෙදෙනෙක් සමඟ තරග වැදීමට නියමිතව ඇත.

තියුණු තරගයක් දුන් බුවනෙක

බුවනෙක ගුණතිලක

ඝානාවේ එමානුවෙල් ඩොන්කාර් තරග වට 2/0ක් ලෙස පරාජය කරමින් ඒකල පිරිමි අවසන් තරගකරුවන් 16 දෙනා අතරට සුදුසුකම් ලබාගත් ශ්‍රී ලංකාවේ බුවනෙක ගුණතිලක, ඊයේ (12) දිනයේ දී අවසන් 16 දෙනාගේ තරගයට මුහුණ දුන් අතර එහි දී ඔහුගේ ප්‍රතිවාදියා වුයේ සිංගප්පුරුවේ සින් රෙයි රයාන් නම් ක්‍රීඩකයායි.

පළමු තරග වටය ලකුණු 21-9ක් ලෙස පහසුවෙන්ම ජයග්‍රහණය කළ සින් රෙයි හට දෙවන තරග වටයේ දී දැඩි පීඩනයක් එල්ල කළ බුවනෙක ලකුණු 10-21 ලෙස සින් රෙයිව පරාජය කරන ලදි. තීරණාත්මක හා උණුසුම් අවසන් තරග වටයේ දී බුවනක හා කරට කර සටනක් දුන් සින් රෙයි තරග වට 2/1ක් ලෙස සිය ජය තහවුරු කරගන්නා ලද්දේ තෙවන හා අවසන් තරග වටය ලකුණු 21-19ක් ලෙස ජයගනිමිනි. එම නිසා බුවනකට ඒකල පිරිමි තරග අංශයේ සුපිරි 8 වරම් දිනාගැනීමට නොහැකි විය.

නිමාලි හා ගයන්තිකාගේ බලාපොරොත්තු කඩවුණු මීටර 800

නිමාලි ලියනආරච්චි හා ගයන්තිකා අබේරත්න යන දෙදෙනාටම මීටර 800 කාන්තා තරග ඉසව්වේ අවසාන තරගයට පිවිසීමේ අවස්ථාව අහිමි වූ අතර පළමු තේරීමේ තරගයේ දී ගයන්තිකා 8 වැනි ස්ථානය දිනාගත් අතර තෙවන තේරීම් තරගයේ දී තරග වැදුණු නිමාලි 7 වැනි ස්ථානය දිනා ගන්නා ලදි.

නිමාලි හා ගයන්තිකාට අවසන් තරගයේ ස්ථානය අහිමි වේ

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ කාන්තා මීටර 800 ධාවන තරගයේ තෝරා ගැනීමේ වටයන් අද (12) ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් …

මල්ලවපොර

මෙම තරග ඉසව්ව නියෝජනය කරනු පිණිස ශ්‍රී ලංකාවෙන් එක ක්‍රීඩිකාවක් හා ක්‍රීඩකයින් දෙදෙනෙකු තේරීපත්ව තිබුණි.

එහි දී දීපිකා දිල්හානි කාන්තා කිලෝග්‍රෑම් 52 නිදහස් බර පන්තිය යටතේ තරග 4කට සහභාගී වූ අතර ඒ අතරින් ඕස්ට්‍රේලියාවේ කරෙයිසා හෝලන්ඩ් ලකුණු 10-02ක් ලෙස පරාජය කරන්නට දිල්හානිට හැකි විය.

නමුත් අනතුරුව පැවති තරග තුනම (ඉන්දියාව 4-0, කැනඩාව 10-0, නයිජීරියාව 10-0) දිල්හානි පරාජය විය. යම් ආකාරයකින් දිල්හානි තවත් එක් තරගයක් පමණක් ජයග්‍රහණය කළා නම් ක්‍රීඩිකාවන් පස් දෙනෙකු සහභාගී වූ මෙම ඉසව්වේ ලෝකඩ පදක්කම් හෝ දිනා ගැනීමට ශ්‍රී ලංකාවට අවස්ථාව තිබුණි.

පිරිමි කිලෝග්‍රෑම් 57 නිදහස්  නිදහස් බර පන්තිය යටතේ තරග වැදුණු දිවොශාන් ප්‍රනාන්දු ස්කොට්ලන්තයේ රෝස් කොන්ලෙයි හමුවේ ලකුණු 12-6ක ජයක් ලබා ගන්නා ලදි. නමුත් පාකිස්තානය හමුවේ පරාජය වූ දිවොශාන් හට අවසන් තරගකරුවන් අතරට සුදුසුකම් ලබා ගැනීමට නොහැකි විය.

රිද්මයානුකූල ජිම්නාස්ටික්

ඇනා – මරී ඔන්ඩච්චි

කැනඩාවේ උපත ලද ඇනා – මරී ඔන්ඩච්චි ඊයේ දිනයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ඒක පුද්ගල රිද්මයානුකූල ජිම්නාස්ටික් තරග ඉසව්වට සහභාගී වූ අතර එහි දී ඇය විසින් රිද්මයානුකුල ක්‍රියාකාරකම් 4ක් (Hoops, Ball, Clubs, Ribbon) සිදු කරන ලදි.

එම ක්‍රියාකාරකම් සියල්ල අවසානයේ මුළු ලකුණු 44.300ක් ලබාගත් ඔන්ඩච්චි සමස්ත තරගකාරීනියන් 16 දෙනා අතුරෙන් 11 වන ස්ථානය දිනා ගත්තාය. එසේම දකුණු ආසියානු රටක් නියෝජනය කරමින් එම තරග ඉසව්ව සඳහා සහභාගී වූයේ ශ්‍රී ලංකාවේ ඇනා – මරී ඔන්ඩච්චි පමණක් වීම සුවිශේෂී සිදුවීමකි.

නවවැනි දිනයේ සංක්ෂිප්ත වාර්තාව සමඟින් හෙට (14) හමුවෙමු. එතෙක් ඔබට ක්‍රීඩාශීලි දිනයක්!

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<