එංගලන්තයේ ඔටුන්න හිමි චාල්ස් කුමරු සහ එම ආර්යාව ප්‍රධාන ආරාධිතයින් වශයෙන් සහභාගි වන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ 21 වැනි දිග හැරුම අද (04) ඕස්ට්‍රේලියාවේ ධනවත්ම ප්‍රාන්තයක් ලෙසින් සැලකෙන ගෝල්ඩ් කෝස්ට් පිහිටි කරාරා ක්‍රීඩාංගණයේ දී නිල වශයෙන් ආරම්භ වේ. ඔලිම්පික් ක්‍රීඩා උළෙලට පසු වැඩිම රටවල් සංඛ්‍යාවක් සහභාගි වන ක්‍රීඩා උළෙල වශයෙන් සැලකෙන මෙම තරගාවලිය ශ‍්‍රී ලංකා වේලාවෙන් ප.ව. 3.30ට පමණ ආරම්භ වනු ඇත.

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකා නායකත්වය චින්තනට

පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල දෙකක දී බර ඉසිලීමේ තරග ඉසව්වෙන් පදක්කම් දෙකක්..

මෙවර තරගාවලිය සඳහා ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 79 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් සහභාගි වන අතර එයට කාන්තා අංශයෙන් 29 දෙනෙකු සහ පිරිමි අංශයෙන් 50 දෙනෙකු ඇතුළත්ව සිටිති.

පොදු රාජ්‍ය මණ්ඩලීය තරග ඉතිහාසයේ ඕස්ට්‍රේලියාව සත්කාරකත්වය ලබා දෙනු ලබන 5 වැනි අවස්ථාව වශයෙන් සැලකෙන මෙවර තරගාවලියේ ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වනු ලබන තරගකරුවන් 79 දෙනා ද ඇතුලත්ව රටවල් 71ක් නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 4500කට අධික සංඛ්‍යාවක් රන් පදක්කම් 275ක් වෙනුවෙන් තරග කරනු ලබයි.

මීට පෙර සිඩ්නි (1938), පර්ත් (1962), බ්‍රිස්බේන් (1982) සහ මෙල්බර්න් (2006) නගරවල දී පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලි පවත්වා තිබේ.

බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදාානගේ

තරගාවලියට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා කණ්ඩායම බර ඉසිලීමේ ක්‍රීඩක චින්තන ගීතාල් විදාානගේ විසින් මෙහෙයවනු ලබන අතර ඔවුහු සමාරම්භක උළෙලට අදාළ ආචාර පෙළපාලියේ 42 වැනි කණ්ඩායම ලෙසින් ගමන් කිරීමට නියමිතයි.

දින 11ක් මුළුල්ලේ පැවැත්වෙන මෙවර තරගාවලියේ දී ඉසව් 18ක් ක්‍රියාත්මක අතර එ් අතරට කාන්තා සහ පිරිමි ඉසව් 133ක් සමඟින් මිශ‍්‍ර ඉසව් 9ක් ද ඇතුළත් වෙයි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා ඉතිහාසයේ කාන්තා සහ පිරිමි ඉසව් සංඛ්‍යාව සමාන වීම විශේෂත්වයක් ලෙස සඳහන් කළ හැක.

නිලූක කරුණාරත්න

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වී සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන් අතරින් ප‍්‍රථමයෙන්ම බැඩ්මින්ටන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් හෙට (05) තරග වැදීමට නියමිතව සිටියි. එ් සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවන් 6 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් ඉදිරිපත්ව සිටින අතර එයට දෙවරක් ඔලිම්පික් වරම් ලැබූ නිලූක කරුණාරත්න ද ඇතුළත්ව සිටියි. ඊට අමතරව නිලූකගේ සොහොයුරු දිනූක කරුණාරත්න, බුවනෙක ගුණතිලක සහ සචින් ඩයස් පිරිමි අංශයෙන් ද, අසිනි අම්බලන්ගොඩ, කවිඳි සිරිමාන්නගේ, මධුෂිකා ඩිල්රුක්ෂි සහ තිලිණි හෙන්දහේවා කාන්තා අංශයෙන් ද ඇතුළත්ව සිටිති.

මෙවර තරගාවලියේ දී ශ‍්‍රී ලංකා බැඩ්මින්ටන් කණ්ඩායම එ් කොටස යටතේ තරග වදින අතර එහි පළමු තරගය ඉන්දියාව සමඟ ද, පසුව ස්කොට්ලන්තය සමඟ ද තරග වැදීමට නියමිතව තිබේ. ඊට අමතරව ශ‍්‍රී ලංකා ජිමානාස්ටික්, ස්කොෂ්, පිහිනුම් සහ මේස පන්දු යන කණ්ඩායම් ද මූලික වටයේ තරගවලට ඉදිරිපත්වීමට නියමිතව සිටියි.

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සහභාගි වන සම්පත් රණසිංහ

පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් සහභාගි වී සිටින සම්පත් රණසිංහ පොදුරාජ්‍ය මණ්ඩලීය ඉතිහාසයේ හෙල්ල විසි කිරීමේ ඉසව්වෙන් ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වනු ලබන පළමු ක්‍රීඩකයා වශයෙන් ඉතිහාස ගතවීම ද කැපී පෙනෙයි. අදාළ තේරීම් තරගවල දී මීටර 81.22ක දුරක් විසි කරමින් පොදුරාජ්‍ය මණ්ඩලීය තරගාවලියට අවශ්‍ය පරිසාධන මට්ටම ඉක්මවීමට සම්පත් සමත්ව සිටියි.

මෙවර තරගාවලිය පැවැත්වෙන ගෝල්කෝස්ට් නගරයේ පවත්වා ඇති තරගාවලි අතරින් විශාලතම තරගාවලිය ලෙසින් ද මෙම තරගාවලිය සටහන් වන අතර තරගාවලිය ක්‍රියාත්මක ප‍්‍රධානතම ක්‍රීඩාංගණය වන කරාරා ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකයින් 35,000කට කිසිම අපහසුවකින් තොරව තරගාවලිය නැරඹීමේ පහසුකම පවතියි. පාපන්දු සහ රග්බි ක‍්‍රීඩාවන් වෙනුවෙන් විශේෂිත වන මෙම ක්‍රීඩාංගණය නගරයේ පවතින ජනප‍්‍රියම ක්‍රීඩාංගණය ලෙස ද සැලකේ. කෙසේ වෙතත් තරගාවලිය නැරඹීම සඳහා ලොව නන් දෙසින් පැමිණ සිටින ලක්ෂ 6කට අධික විදෙස් සංචාරකයන්ට තරගාවලිය නැරඹීමේ වැඩි පහසුකමක් වශයෙන් එම ක්‍රීඩාංගණය තුළ තවත් ආසන 10,000ක් වැඩි කිරීමට තරග සංවිධායකයෝ කටයුතු යොදා තිබේ.

කරාරා ක්‍රීඩාංගණය

කෙසේ වෙතත් තරගාවලිය පැවැත්වීමට ඇති විශාලතම බාධාව වන්නේ ගෝල්ඩ් කෝස්ට් ප්‍රදේශය තුළ ඉදිරි දින කිහිපයේ දී ම වර්ෂාවෙන් බාධා ඇතිවීම වන අතර එය තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයන්ගෙන් වැඩි පිරිසක් වර්ෂාවට මුහුණ දීමේ වැඩි අවදානමක් පවතියි. එ් මන්දයත් කරාරේ ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂක පහසුකම් අතර වහලයකින් ආවරණය වී ඇත්තේ ආසන 5000ක් පමණක් වීම හේතුවෙනි.

Pic from Queensland.com

සඳහන් වන ආකාරයට තරගාවලිය වෙනුවෙන් නිකුත් කර තිබෙන ප්‍රවේශ පත‍්‍රවලින් 90%ක්ම මේ වන විටත් අලෙවි වී තිබීම හේතුවෙන් ක්‍රීඩාංගණ අවට කලුකඩ මුදලට ප්‍රවේශ පත‍්‍ර අලෙවි වනු ඇති බව ද ඔවුහු අනුමාන කොට තිබේ.

තරගාවලියේ විශේෂිතම කොටසක් වන ආරක්ෂාව සඳහා එරට පොලිස් නිලධාරීන් 350ට අමතරව 2000කට අධික පොලිස් නොවන ආරක්ෂක බලකායක සහාය ද ලබාගෙන තිබේ. අවශ්‍ය වුවහොත් එය ඊට වඩා වැඩියෙන් ලබා ගැනීමට ද ඔවුහු කටයුතු යොදා තිබෙන බව ඕස්ට්‍රේලියානු පොලිසිය නිවේදනය කර තිබේ.

ශ‍්‍රී ලංකාව නියෝජනය කරමින් තරග වදිනු ලබන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේය.

  • ජිම්නාස්ටික් – අමායා කලූකොට්ටගේ, කෞෂිනී ගමගේ, රිද්මා බෙංගාලගේ, අන්නා මාරි
  • මලල ක‍්‍රීඩා – මංජුල කුමාර (උස පැනීම), ජනක විමලසිරි (දුර පැනීම), සම්පත් රණසිංහ (හෙල්ලය), හිමාෂ එ්ෂාන් (100X4), මොහොමඩ් අෂ්රෆ් (100X4), ෂෙහාන් අඹේපිටිය (100X4), සුමේෂ් වික‍්‍රමසිංහ (100X4), විනෝජ් ද සිල්වා (100X4), රුමේෂිකා රත්නායක (200), ගයන්තිකා අබේරත්න (800), නිමාලි ලියනආරච්චි (800), හිරුණි විජේරත්න (මැරතන්), ඩිල්හාන් ලේකම්ගේ(හෙල්ලය)
  • බැඩ්මින්ටන් – බුවනෙක ගුණතිලක, දිනූක කරුණාරත්න, නිලූක කරුණාරත්න, අසිනි අම්බලන්ගොඩ, සචින් ඩයස්, කවිඳි සිරිමාන්නගේ, මධුෂිකා ඩිල්රුක්ෂි, තිලිණි හෙන්දහේවා.
  • බීචි වොලිබෝල් – අසංක ප‍්‍රදීප්, ශෂිමාල් යාපා
  • බොක්සිං – තිවංක රණසිංහ, ඉෂාන් බණ්ඩාර, දිනිඳු පොන්නවෙල, අනූෂා ඩිල්රුක්ෂි, දුලානි ජයසිංහ, හේෂාන් හංසිකා
  • පාපැදි – අවිශ්ක මාවතගේ, චාමික කුමාර
  • කිමිඳුම් – තෙලඟ පීරිස්, දැඩිමුණි ද සිල්වා
  • සත් සාමාජික රග්බි: සුදර්ශන මුතුතන්ත්‍රී (නායක), ධනුෂ්ක දයාන්, රෙහාන් සිල්වා, ඔමල්ක ගුණරත්න, ජේසන් දිසානායක, ශ්‍රීනාත් සුරියබණ්ඩාර, තරින්ද රත්වත්තේ, කවිඳු පෙරේරා, අනුරුද්ධ විල්වර, රිචඩ් ධර්මපාල, ධනුෂ්ක රන්ජන්, නවින් හෙන්කානකම්ගේ
  • ඉලක්කයට වෙඩි තැබීම – තන්තුලගේ ප‍්‍රනාන්දු, උපුල් විජේරත්න, සඳුනි පෙරේරා.
  • ස්කොෂ් – රවිඳු ලක්සිරි, මිහිලියා මෙත්සරණි
  • පිහිනුම් – ඩිල්රුක්ෂි පෙරේරා, මිනෝලි කලූආරච්චි, චෙරන්ත ද සිල්වා, කයිල් අබේසිංහ, මැතිව් අබේසිංහ, අකලංක පීරිස්.
  • මේස පන්දු – එරන්දි වරුසවිතාන, හංසනී කපුගීකියන, ඉෂාර මනික්කුබදු, බුවනෙක ජයසිංහ, ඉමේෂ් රණසිංහ, රොහාන් මනමේන්ද්‍ර.
  • බර ඉසිලීම – චතුරංග ලක්මාල්, තිලංක විරාජ්, ඉන්දික දිසානායක, චින්තන විදානගේ, සංඛ මධුසංඛ, සමන් අබේවික‍්‍රම, උෂාන් චාරුක, දිනූෂා ගෝමස්, චමරි වර්ණකුලසූරිය, නදීෂානි රාජපක්ෂ, චතුරිකා ප‍්‍රියන්ති.
  • මල්ලවපොර – චාල්ස් ප‍්‍රනාන්දු, සුරේෂ් ප‍්‍රනාන්දු, දීපිකා දිල්හානි
තරගාවලියේ ශ්‍රී ලංකාව තරග කරන කාලසටහන

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<