සිම්බාබ්වේ හමුවේ ශ්‍රී ලංකාවට තවත් පරාජයක්!

Netball World Cup 2023

476
Netball World Cup 2023

2023 දැල්පන්දු ලෝක කුසලානයේ දී අඛණ්ඩව ලැබූ පස්වැනි පරාජයත් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද (01) සිදු වුනා.

තරගාවලියේ E කාණ්ඩයේ තරගයක් ලෙස අද ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර පැවැත්වුණු තරගයෙන් ලකුණු 71-36ක් ලෙස ශ්‍රී ලංකාව පරාජය වූ අතර මෙම පරාජය ශ්‍රී ලංකාව E කාණ්ඩයේ ලකුණු සටහනේ අවසන් ස්ථානය කරා ඇද වැටීමට ද හේතුවක් වුනා.

තරගයේ පළමු කාර්තුවේ දී ශ්‍රී ලංකාව සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් හමුවේ පසුබෑමට ලක් වූ අතර, එහි දී සිම්බාබ්වේ කණ්ඩායම ලකුණු 18ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාවෙන් වාර්තා වුනේ ලකුණු 10ක් පමණයි.

නමුත් ඉන්පසුව පැවැත්වුණු දෙවැනි කාර්තුවේ දී නැවත සටනට අවතීර්ණ වීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් වටිනා උත්සාහයක් දැරුවත්, එය උපරිමයෙන් සාර්ථක කර ගැනීමට ඔවුන් සමත් වුනේ නැහැ. මෙම කාර්තුව තුළ සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් විසින් ලකුණු 15ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලකුණු 12ක් ලබා ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 33-22ක් ලෙස ඉදිරියෙන් සිටි සිම්බාබ්වේ කණ්ඩායම විසින් තෙවැනි කාර්තුවේ දී මෙම ලකුණු පරතරය තවත් ඉහළ නැංවීමට සමත් වුනා. ඒ අනුව එම කාර්තුව තුළ සිම්බාබ්වේ ක්‍රීඩිකාවන් විසින් ලකුණු 19ක් ලබා ගැනීමට සමත් වූ අතර, ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 8ක් පමණයි.

එවන් වාතාවරණයක් තුළ ආරම්භ වූ තරගයේ සිව්වැනි කාර්තුව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් සම්පූර්ණයෙන්ම පාහේ අසරණ කිරීමට සමත් වූ සිම්බාබ්වේ කණ්ඩායම විසින් තවත් ලකුණු 19ක් සිය ලකුණු පුවරුවට එක් කර ගැනීමට සමත් වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 6ක් පමණයි.

අවසන් ලකුණු තත්වය:සිම්බාබ්වේ 71 – 36 ශ්‍රී ලංකාව

මෙම පරාජයෙන් පසුව ශ්‍රී ලංකාවට E කාණ්ඩයේ මුල් ස්ථාන දෙක අතරට පිවිසීමට ඇති අවස්ථාව සම්පූර්ණයෙන්ම පාහේ අහිමි වී යනවා. නමුත් ඔවුන් E කාණ්ඩය නියෝජනය කරමින් හෙට (02) දිනයේ දී බාර්බඩෝස් කණ්ඩායම මුණ ගැසීමට නියමිතයි.

එමෙන්ම E කාණ්ඩයට නියමිත තරග අවසන් වීමෙන් පසු මෙවර දැල්පන්දු ලෝක කුසලානයේ 13 සිට 16 තෙක් ස්ථාන වෙනුවෙන් සිදු කරන ශ්‍රේණිගත කිරීම් සඳහා පැවැත්වීමට නියමිත තරගයට මුහුණ දීමට ද ශ්‍රී ලංකාවට ඉතිරි වී තිබෙනවා.

හෙට පැවැත්වීමට නියමිත තරගය පිළිබඳ ව මෙන්ම ලෝක කුසලානයේ දී ශ්‍රී ලංකාවේ ගමන් මග පිළිබඳ සියලු ම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<