ලෝක කුසලාන පළමු තරගයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක්

Netball World Cup 2023

3388

2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ දී තමන් මුහුණ දුන් පළමු තරගයෙන් ම ජැමෙයිකාව හමුවේ ලකුණු 105-25ක අමිහිරි පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ඊයේ (28) සිදු වුනා.

16 වැනි වරට පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානය ඊයේ දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් හිදී ආරම්භ වූ අතර තරගාවලියේ 5 වැනි තරගය ලෙසයි මෙම තරගය පැවැත්වුණේ. මෙම තරගයට සහභාගී වූ ජැමෙයිකාව ලෝක ශ්‍රේණිගත කිරීම් හි සිව්වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකාවට එම ශ්‍රේණිගත කිරීම් හි හිමි වී ඇත්තේ 15 වැනි ස්ථානයයි.

ශ්‍රේණිගත කිරීම් අනුව කණ්ඩායම් දෙක අතර ඇති පරතරය තරගයේ පළමු කාර්තුවේ පටන් කැපී පෙනුණු අතර පළමු කාර්තුව නිමා වන විට ලකුණු 26-5ක් ලෙස ජැමෙයිකා ක්‍රීඩිකාවන් ඉදිරියෙන් පසු වුනා.

තරගයේ දෙවැනි කාර්තුව ද පළමු කාර්තුවෙන් එතරම් වෙනසක් නොපෙන්වූ අතර එම කාර්තුව තුළ ද ජැමෙයිකා ක්‍රීඩිකාවන් තවත් ලකුණු 26ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 6ක් පමණයි.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 52 – 11ක් ලෙස ජැමෙයිකාව ඉදිරියෙන් පසු වූ අතර තෙවැනි කාර්තුවේ දී ජැමෙයිකාව විසින් තවත් ලකුණු 23ක් සිය ලකුණු පුවරුව වෙත එක් කර ගැනීමට සමත් වුනා. එම කාලය අතරතුර ශ්‍රී ලංකාව ලකුණු 7කින් සිය ලකුණු සංඛ්‍යාව ඉහළට දමා ගත්තා.

ඉන්පසුව ආරම්භ වූ තරගයේ සිව්වැනි කාර්තුව සිය සාර්ථක ම කාර්තුව බවට පත් කර ගත් ජැමෙයිකාව විසින් එහි දී තවත් ලකුණු 30ක් ලබා ගැනීමට සමත් වුනේ සිය මුළු ලකුණු සංඛ්‍යාව 100 සීමාව ඉක්මවා යැවීමට සමත් වෙමිනුයි. නමුත් මෙවරත් ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 7ක් පමණයි.

අවසන් ලකුණු තත්වය: ජැමෙයිකාව 105 – 25 ශ්‍රී ලංකාව

මේ අනුව මෙවර තරගාවලියේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ම දැවැන්ත පරාජයක් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා. නමුත් C කාණ්ඩය නියෝජනය කරමින් මෙවර තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකාවට තරගාවලියේ මූලික වටයේ තවත් තරග දෙකක් ඉතිරි වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ දෙවැනි තරගය අද (29) රාත්‍රි 7.30ට (ශ්‍රී ලංකා වෙලාවෙන්) සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වීමට නියමිතයි.

එමෙන්ම මෙවර තරගාවලියේ C කාණ්ඩය නියෝජනය කරමින් අද පැවැත්වුණු අනෙක් තරගයෙන් ලකුණු 61-50ක් ලෙස වේල්සය පරාජය කිරීමට දකුණු අප්‍රිකාව සමත් වුනා.

මීට අමතර අද දිනයේ මෙතෙක් පැවැත්වුණු අනෙක් තරගවලින් නවසීලන්තය, ටොන්ගා, ඕස්ට්‍රේලියාව සහ උගන්ඩාව යන කණ්ඩායම් ද ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ දෙවැනි දිනයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ දක්ෂතා පිළිබඳ තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<