සත්කාර දකුණු අප්‍රිකාව හමුවේ ශ්‍රී ලංකාවට දෙවැනි පරාජය

Netball World Cup 2023

2412
Netball World Cup 2023

2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ දී නොකඩවා ලැබූ දෙවැනි පරාජයත් උරුම කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් හට අද (29) සිදු වුනේ සත්කාර දකුණු අප්‍රිකාව හමුවේ ලද ලකුණු 87-32ක පරාජයත් සමඟයි.

ඊයේ දිනයේ ආරම්භ වූ දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ දී සිය පළමු තරගයෙන් ජැමෙයිකාව හමුවේ දරුණු පරාජයක් උරුම කර ගත් ශ්‍රී ලංකවට අද දිනයේ මුණගැසුණේ ජැමෙයිකාවට නොදෙවෙනි, දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් හි 5 වැනි ස්ථානයේ රැඳී සිටින දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

මෙම තරගයේ ද ආරම්භක කාර්තුවේ පටන් ම තරගයේ වාසිය ශ්‍රී ලංකාවෙන් ඉවතට යන බව පැහැදිලිව ම පෙනෙන්නට තිබුණා. තරගයේ පළමු කාර්තුවේ දී දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් විසින් ලකුණු 24ක් ලබා ගැනීමට සමත් වූ අතර ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 9ක් පමණයි.

පළමු කාර්තුවේ දී ලද පසුබෑම අමතක කර දමමින් දෙවැනි කාර්තුවේ මුල් මිනිත්තු කිහිපය තුළ ශ්‍රී ලංකාව විසින් නැවතත් තරගයට අවතීර්ණ වීමට වටිනා උත්සාහයක් දැරූ නමුත් දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන්ගේ වේගය හමුවේ එය ව්‍යර්ථ වී ගියා. ඒ අනුව තරගයේ දෙවැනි කාර්තුව තුළ දකුණු අප්‍රිකාව විසින් ලකුණු 21ක් ලබා ගනිද්දී, නැවතත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 9ක් පමණයි.

තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 45-18ක් ලෙස දකුණු අප්‍රිකාව විසින් ලකුණු 27ක ඉදිරියක් ලබා ගැනීමට සමත් වී සිටි අතර තෙවැනි කාර්තුව නිමා වන විට ඔවුන් එම ඉදිරිය ලකුණු 44ක් දක්වා ඉහළ දමා ගැනීමට සමත් වුනා. තෙවැනි කාර්තුවේ දී දකුණු අප්‍රිකාව විසින් ලකුණු 23ක් ලබා ගත් නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 6ක් පමණයි.

ඉන්පසුව ආරම්භ වූ තරගයේ සිව්වැනි සහ අවසන් කාර්තුව තුළ දී මීට පෙර කාර්තු තුනට ම වඩා තරමක් තර්ජනාත්මක ලෙස ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් උත්සාහ දැරූ අතර එහි අවසන් ප්‍රතිඵලය වුනේ දකුණු අප්‍රිකාවට එම කාර්තුවේ දී ලකුණු 19කින් සෑහීමකට පත් වීමට සිදු වීමයි. නමුත් මෙම කාර්තුවේ දී ශ්‍රී ලංකාව රැස් කර ගත්තේ ලකුණු 8ක් පමණයි.

තරගයේ අවසන් ලකුණු තත්වය: දකුණු අප්‍රිකාව 87 – 32 ශ්‍රී ලංකාව

මෙහි දී ශ්‍රී ලංකාවෙ වෙනුවෙන් තිශාලා අල්ගම ලකුණු 24ක් ලබා ගත් අතර, සේමිනී අල්විස් විසින් ලකුණු 7ක් සහ දුලංගි වන්නිතිලක විසින් එක් ලකුණක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයෙන් ශ්‍රී ලංකාවට පරාජය උරුම වුනත්, ඊයේ ජැමෙයිකාව සමඟ පැවැත්වුණු තරගයට වඩා අද දිනයේ ශ්‍රී ලංකාව සාපේක්ෂව යම් සාර්ථකත්වයක් පෙන්වීමට සමත් වූ බව විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.

නමුත් මෙම පරාජයත් සමඟ ශ්‍රී ලංකාවට තවදුරටත් තරගාවලියේ මූලික වටයේ C කාණ්ඩයේ අවසන් ස්ථානයේ රැඳී සිටීමට සිදු වී තිබෙනවා.

මේ අතර C කාණ්ඩය නියෝජනය කරමින් අද දිනයේ පැවැත්වුණු අනෙක් තරගයෙන් ලකුණු 75 – 40ක් ලෙස වේල්සය පරාජය කිරීමට සමත් වූ ජැමෙයිකාව එම කාණ්ඩයේ පෙරමුණේ රැඳීමට සමත් වී ඇත්තේ දකුණු අප්‍රිකාවට එහි දෙවැනි ස්ථානය හිමි කර දෙමිනුයි.

එමෙන්ම වේල්සය ද තමන් දැනට ක්‍රීඩා කළ තරග ද්විත්වය ම පරාජය වී ඇති නිසා ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ රැඳී සිටින අතර, හෙට (30) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකාව සහ වේල්සය අතර තරගයෙන් ජයග්‍රහණය කරන කණ්ඩායමට ලකුණු සටහනේ තෙවැනි ස්ථානය හිමි කර ගැනීමේ අවස්ථාව ඉතිරි වී තිබෙනවා.

(එක් එක් කාණ්ඩයේ ලකුණු සටහනේ මුල් ස්ථාන තුන හිමි කර ගන්නා කණ්ඩායම් තුන ශූරතාව වෙනුවෙන් තරග වදින කණ්ඩායම් 12 අතර තරග වටයට සුදුසුකම් ලබා ගැනීමට නියමිතයි.)

මීට අමතරව අද දිනයේ මෙතෙක් පැවැත්වුණු ලෝක කුසලාන තරගවලින් නවසීලන්තය, සිම්බාබ්වේ, ඕස්ට්‍රේලියා සහ ස්කොට්ලන්ත කණ්ඩායම් ජයග්‍රහණ ලබා ගැනීමට සමත් වුනා.

2023 දැල්පන්දු ලෝක කුසලානයේ තෙවන දිනය සහ මූලික වටයේ අවසන් දිනය වන හෙට දිනයේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ සියලු තතු විත්ති ද ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<