ශ්‍රී ලංකාවට සිංගප්පූරුව හමුවේ අවාසනාවන්ත පරාජයක්

Netball World Cup 2023

2962
Netball World Cup 2023

2023 දැල්පන්දු ලෝක කුසලානයේ අද (31) පැවැත්වුණු තරගයෙන් සිංගප්පූරුව හමුවේ ලකුණු 55-52ක තියුණු පරාජයක් අත් විඳීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන්ට සිදු වුනා.

දකුණු අප්‍රිකාවේ දී පැවැත්වෙන දැල්පන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග ඊයේ (30) දිනයෙන් අවසන් වූ අතර, එම තරග වටයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ C කාණ්ඩයේ අවසන් ස්ථානය දිනා ගැනීම නිසා ඔවුන්ට තරගාවලියේ 13-16 වැනි ස්ථාන වෙනුවෙන් සටන් කිරීමට නියමිත E කාණ්ඩයේ කණ්ඩායම් සමඟ තරග වැදීමට සිදු වුනා.

ඒ අනුව අද ශ්‍රී ලංකාව E කාණ්ඩයෙන් සහභාගී වන පළමු තරගය සිය කලාපීය සගයා වන සිංගප්පූරුව සමඟ පැවැත්වුණු අතර තරගය ආරම්භයේ පටන් ම අතිශය තියුණු මුහුණුවරක් ගන්නා බව ද පෙනෙන්නට තිබුණා.

නමුත් තරගයේ පළමු කාර්තුවේ දී ඉදිරියට පැමිණීමට සමත් වුනු සිංගප්පූරු ක්‍රීඩිකාවන් විසින් ලකුණු 19ක් ලබා ගත් අතර, ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 10ක් පමණයි.

පළමු කාර්තුවේ දී සිංගප්පූරුවට වඩා ලකුණු 9ක් පිටුපසින් සිටි ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් දෙවැනි කාර්තුවේ දී එම පරතරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් වුනේ සිංගප්පූරුව දෙවැනි කර්තුවේ දී ලකුණු 7ක් ලබා ගනිද්දී, ලකුණු 17ක් ලබා ගනිමිනුයි. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 26-27ක් ලෙස ශ්‍රී ලංකාව තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

තරගයේ තෙවැනි කාර්තුව ද අතිශය තියුණු අන්දමින් ඇදී ගිය අතර එහි දී නැවතත් පෙරමුණ ගැනීමට සමත් වූ සිංගප්පූරු ක්‍රීඩිකාවන් විසින් ලකුණු 16ක් ලබා ගනිද්දී, ශ්‍රී ලංකාව විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 13ක් පමණයි. ඒ අනුව තරගයේ තෙවැනි කාර්තුව නිමා වන විට ලකුණු 42-40ක් ලෙස සිංගප්පූරුව නැවතත් තරගයේ පෙරමුණ ගැනීමට සමත් වුනා.

ඒ අනුව තරගයේ සිව්වැනි කාර්තුවේ දී තරගය ජයග්‍රහණය කිරීමට නම් ශ්‍රී ලංකාව විසින් අවම වශයෙන් සිංගප්පූරුවට වඩා ලකුණු 3ක් ලබා ගත යුතු වුනා. නමුත් එම කාර්තුව තුළ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලකුණු 12ක් ලබා ගනිද්දී සිංගප්පූරුව විසින් ලකුණු 13ක් ලබා ගැනීමට සමත් වුනේ කණ්ඩායම් දෙකේ අවසන් ලකුණු පරතරය ලකුණු 3ක් දක්වා ඉහළ දමමිනුයි.

අවසන් ලකුණු තත්වය: සිංගප්පූරුව 55 – 52 ශ්‍රී ලංකාව

ඒ අනුව වත්මන් ආසියානු ශූරියන් වන ශ්‍රී ලංකාවට වත්මන් ආසියානු අනුශූරියන් හමුවේ අවාසනාවන්ත පරාජයක් උරුම කර ගැනීමට සිදු වුනා. මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තර්ජනී ශිවලිංගම් ලකුණු 22ක්, තිශලා අල්ගම ලකුණු 28ක් සහ සේමිනී අල්විස් විසින් ලකුණු 2ක් බැගින් ලබා ගැනීමට සමත් වුනා.

එමෙන්ම E කාණ්ඩය නියෝජනය කරමින් අද පැවැත්වුණු අනෙක් තරගයෙන් ලකුණු 62-45ක් ලෙස සිම්බාබ්වේ කණ්ඩායම පරාජය කිරීමට බාර්බඩෝස් කණ්ඩායම විසින් සමත් වුනා.

මේ අනුව මේ වන විට E කාණ්ඩයේ ලකුණු සටහනේ පළමු ස්ථානය බාර්බඩෝස් කණ්ඩායමටත්, දෙවන ස්ථානය සිංගප්පූරුවටත් හිමි වී තිබෙනවා. ශ්‍රී ලංකාවට හිමි වී ඇත්තේ මෙහි තෙවන ස්ථානයයි.

ශ්‍රී ලංකාවට තරගාවලියේ ඉහළ ස්ථානයක් වෙත (උපරිම 13 වැනි ස්ථානය) පිවිසීමේ බලාපොරොත්තු තවමත් සුන් වී නැහැ. හෙට (1) දිනයේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වීමට නියමිත තරගයේ ප්‍රතිඵලය මත ශ්‍රී ලංකාවට තවදුරටත් ඒ වෙනුවෙන් සිය බලාපොරොත්තු රඳවා තබා ගත හැකි.

එම තරගයේ ශ්‍රී ලංකා දක්ෂතා පිළිබඳව ද ඔබ වෙත එසැණින් තොරතුරු රැගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<