සීමාවට එහා ගොස් කඩුලු සැමරීම නිසා සංජීවනීට ICCයෙන් දඬුවම්!

ICC Women's T20 World Cup 2023

1073

ICC කාන්තා විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර පැවැත්වුණු තරගයේ දී ICC චර්යාධර්ම පද්ධතියේ පළමු මට්ටමේ විනය කඩ කිරීමක් සිදු කිරීම හේතුවෙන් ශ්‍රී ලංකා කඩුලු රකින්නිය වන අනුෂ්කා සංජීවනී හට ඇයගේ තරග ගාස්තුවෙන් 15%ක දඩයක් නියම කර තිබෙනවා.

පසුගිය ඉරිදා (12) ලෝක කුසලාන තරගාවලියේ 1 කාණ්ඩය යටතේ පැවති මෙම තරගයේ දී සංජීවනී විසින් ICC විසින් ක්‍රීඩක/ ක්‍රීඩිකාවන්ට පනවා ඇති චර්යාධර්ම සංග්‍රහයේ 2.5 වගන්තිය (පිතිකරුවෙකු දැවී යාමෙන් අනතුරුව ඔවුන් වෙත ඕනෑම භාෂාවක්, ක්‍රියාවක් හෝ අභිනයක් භාවිත කිරීමෙන් බාධා කිරීම මගින් දැවී ගිය පිතිකරුවාගෙන් ආක්‍රමණශීලී ප්‍රතික්‍රියාවක් ඇති විය හැක) උල්ලංඝනය කර ඇති බව සොයා ගෙන තිබෙනවා.

එමෙන්ම මේ නිසා දඩයට අමතරව සංජීවනීගේ විනය වාර්තාවට එක් දඬුවම් ලකුණක් ද (Demerit Point) එක් කර ඇති අතර, එය මාස 24ක වලංගු කාල සීමාවක් තුල ඇයගේ නම ඉදිරියෙන් සටහන් වී ඇති එකම දඬුවම් ලකුණ ද වනවා.

තරගයේ බංග්ලාදේශ ඉනිමේ 10 වැනි පන්දු වාරයේ දී මෙම සිදුවීම සිදු වී ඇති අතර, එහි දී පිතිකරණයේ යෙදෙමින් සිටි Sobhana Mostary චමරි අතපත්තු යැවූ පන්දුවක් හමුවේ දැවී යාමත් සමඟ සංජීවනී විසින් එම කඩුල්ල සැමරීම සඳහා දැවී ගිය පිතිකාරිණිය වෙත ආක්‍රමණශීලී ලෙස දිව ගොස් තිබෙනවා.

මෙම සිදුවීම පිළිබඳ පිටියේ විනිසුරුවරියන් වූ Anna Harris, Sue Redfern , තෙවැනි විනිසුරුවරිය වූ Jacqueline Williams සහ තරගයේ සිව්වැනි විනිසුරුවරිය වූ Kim Cotton විසින් තරග තීරකවරිය වෙත පැමිණිලි  කර තිබුණා.

කෙසේ වෙතත් ICC Emirates ජාත්‍යන්තර තරග තීරක මඩුල්ල නියෝජනය කරන GS Lakshmi මහත්මිය හමුවේ සංජීවනී විසින් සිය වරද පිළිගනිමින් තමන්ට හිමි වූ දඬුවමට එකඟ වූ නිසා ඒ පිළිබඳ විධිමත් විභාගයක් සිදු කිරීමට අවශ්‍ය වී තිබුණේ නැහැ.

පළමුවැනි මට්ටමේ විනය කඩ කිරීමක් සම්බන්ධයෙන් ක්‍රීඩකයකුට පැනවිය හැකි අවම දඬුවම වන්නේ, ක්‍රීඩක තරග ගාස්තුවෙන් උපරිමය 50%කට යටත් වූ දඩයක් සහ දඬුවම් ලකුණු එකක් හෝ දෙකක් ලබා දීමයි.

මෙහි දී මෙම දඬුවම් ලකුණු වලංගු වන්නේ මාස 24ක කාලයක් සඳහා පමණයි.

ඒ අනුව යම් ක්‍රීඩකයකු මාස 24ක කාලයක් ඇතුළත දඬුවම් ලකුණු 4ක් හෝ ඊට වඩා ලබා ගෙන ඇත්නම් ඒවා අත්හිටුවීමේ ලකුණු (suspension points) බවට පරිවර්තනය වී ක්‍රීඩකයාව තහනම් කරනු ලබන අතර, දඬුවම් ලකුණු දෙකක් සම්පූර්ණ කර ඇත්නම් ටෙස්ට් තරගයක් හෝ එක්දින තරග දෙකක් හෝ විස්සයි විස්ස තරග දෙකක තහනමක් ලබා දිය හැක.

ක්‍රිකට් ක්‍රීඩාවේ දිනෙන් දින අලුත් වන නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<