ධනුෂ්ක ගුණතිලකට ඇප

284

ලිංගික අපචාර චෝදනා මත ඕස්ට්‍රේලියාවේ දී අත්අඩංගුවට පත් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට සිඩ්නි අධිකරණය විසින් අද (17) ඇප ලබා දී තිබෙනවා.

සිඩ්නි මහේස්ත්‍රාත් Janet Wahlquist විසින් ඔහුට ඩොලර් 150,000ක පුද්ගලික ඇපයක් මත ඇප ලබා දී තිබූ අතර ඔහුට තවත් ඇප කොන්දේසි කිහිපයක් ද පනවා තිබෙනවා.

  • දිනපතා පොලිසියට වාර්තා කළ යුතුයි.
  • රාත්‍රි 9 සිට උදෑසන 6 දක්වා ගමන් බිමන් තහනම්.
  • ටින්ඩර් සහ වෙනත් dating යෙදවුම් භාවිතය තහනම්.
  • පැමිණිලිකරු සහ සම්බන්ධතා පැවැත්වීම තහනම්.

ලිංගික අපචාර මත තරුණියක් යොමු කළ පැමිණිල්ලකට අනුව නොවැම්බර් 06 වැනිදා සිට ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගැනීමට ඕස්ට්‍රේලියානු පොලිසිය කටයුතු කළා.

එම අත්අඩංගුවට ගැනීමෙන් දින 11කට පසුව පැවති නඩු විභාගයෙන් පසු ඔහුට මෙලෙස ඇප හිමි වුනා.

ධනුෂ්ක සහ එම කාන්තාව නොවැම්බර් 02 වැනිදා හමුවීමට පෙර ඔවුන් ටින්ඩර් යෙදවුම ඔස්සේ ඔක්තෝබර් 29 වැනිදා සම්බන්ධතා පැවැත්වූ බව ද අධිකරණය විමසා තිබුණා.

එමෙන්ම ඔවුන් එම කාන්තාවගේ නිවසට යෑමට පෙර ස්ථාන කිහිපයක දී මත් පැන පානය කර ඇති බවට ඕස්ට්‍රේලියානු පොලිසිය චෝදනා කළ අතර ධනුෂ්ක අවස්ථා කිහිපයක දී ඇයට ලිංගික අතවර කළ බව ද උසාවියේ දී කරුණු විමසා තිබුණා.

උසාවි ලේඛනවලට අනුව ඔහු එක් අවස්ථාවක දී ඇයගේ ගෙල සිර කර තිබූ බව සහ ඇයට එහි දී සිය ජීවිතය පිළිබඳව බියක් ඇති වූ බව ද සඳහන්.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පසුගිය කාල සීමාවේ නිත්‍ය ක්‍රීඩකයෙකු වූ ධනුෂ්ක විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට ගිහින් සිටිය දී මෙලෙස අත්අඩංගුවට පත් වුනා.

එම සිදුවීම සම්බන්ධයෙන් කාන්තාව පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව නොවැම්බර් 01 වැනිදා පරීක්ෂණයක් ආරම්භ කර ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම නැවතත් මෙරටට පැමිණීමට සූදානම් වන අවස්ථාවේ දී ඔහුව අත්අඩංගුවට ගෙන තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<