දැල්පන්දු ලෝක කුසලානයේ ශ්‍රී ලංකා බලාපොරොත්තු තවමත් ජීවමානයි

Netball World Cup 2023

1916

2023 දැල්පන්දු ලෝක කුසලානයේ මූලික වටයේ තරග ඊයේ දිනයෙන් (30) නිමා වුනේ ශ්‍රී ලංකා දැල්පන්දු කණ්ඩායමට තමන් නියෝජනය කළ C කාණ්ඩයේ අවසන් ස්ථානය හිමි කර දෙමිනුයි. 

ඊයේ වේල්සය සමඟ පැවැත්වුණු තරගය අවාසනාවන්ත ලෙස පරාජය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවට ලෝක කුසලාන තරගාවලියේ ඉදිරි වටයට පිවිසීමට තිබූ ආසන්න අවස්ථාවක් මග හැරී ගියා. ඒ අනුව C කාණ්ඩය නියෝජනය කරමින් ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව සහ වේල්සය ඉදිරි වටය තෙක් සුදුසුකම් ලබා ගැනීමට සමත් වුනා.

නමුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ලෝක කුසලාන තරග මෙතෙකින් නතර වන්නේ නැහැ. කණ්ඩායම් 16ක සහභාගීත්වයෙන් පැවැත්වෙන මෙවර ලෝක කුසලානයේ A,B,C සහ D කාණ්ඩවල අවසන් ස්ථාන හිමි කර ගන්නා කණ්ඩායම් E නම් කාණ්ඩයක් යටතේ මෙවර තරගාවලියේ 13 සිට 16 දක්වා ස්ථාන වෙනුවෙන් ක්‍රීඩා කිරීමට නියමිතයි. 

ඒ අනුව ශ්‍රී ලංකාවට අමතරව සිම්බාබ්වේ, බාර්බඩෝස් සහ ශ්‍රී ලංකාවේ කලාපීය හිතවතා සිංගප්පූරුව ද අවසන් ස්ථාන හතර වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා E කාණ්ඩයට තේරී පත් වී තිබෙනවා. 

මෙම කාණ්ඩය නියෝජනය කරන කණ්ඩායම් අද (31) දිනයේ පටන් එකිනෙකා හා තරග වැදීමට නියමිතයි. 

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙම E කාණ්ඩයට තුළ තරග යෙදී ඇත්තේ මේ අයුරෙනුයි. 

  • ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව – ජූලි 31 රාත්‍රි 7.30 
  • ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ – අගෝස්තු 1 රාත්‍රි 9.30 
  • ශ්‍රී ලංකාව සහ බාර්බඩෝස් – අගෝස්තු 2 රාත්‍රි 11.30 

මෙම තරග අනුව E කාණ්ඩයේ පළමු සහ දෙවන ස්ථාන හිමි කර ගැනීමට සමත් වෙන කණ්ඩායම් ද්විත්වය තරගාවලියේ 13 සහ 14 ස්ථාන වෙනුවෙන් සටන් වැදීමට නියමිත අතර, E කාණ්ඩයේ තෙවන සහ සිව් වන ස්ථාන හිමි වන කණ්ඩායම් 15 සහ 16 ස්ථාන වෙනුවෙන් තරග කිරීමට නියමිතයි. 

මෙවර E කාණ්ඩය වෙත සුදුසුකම් ලබා ඇති රටවල දැනට ලෝක ශ්‍රේණිගත කිරීම් මෙසේයි. 

  1. 13. සිම්බාබ්වේ 
  2. 14. බාර්බඩෝස්
  3. 15. ශ්‍රී ලංකාව
  4. 28. සිංගප්පූරුව 

ලෝක ශ්‍රේණිගත කිරීම්වල එක ළඟ ස්ථානවල සිටින කණ්ඩායම් තුනක් ම සිටීම නිසා මෙම E කාණ්ඩයේ තරගවල දී ඉතා තියුණු සටන් කිහිපයක් ම දැක බලා ගැනීමට අවකාශය හිමි වනු ඇති බව අනුමාන කළ හැකි. 

විශේෂයෙන්ම ලෝක ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානයේ රැඳී සිටි වේල්සයට පවා ඊයේ දිනයේ විශිෂ්ට තරගයක් ලබා දුන් ශ්‍රී ලංකාව මෙම තරග කිහිපයේ දී සිය ප්‍රතිවාදීන්ට එරෙහිව ඉහළ සටනක් ලබා දෙමින් දැල්පන්දු ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකා කණ්ඩායමක් දැක්වූ ඉහළ ම දක්ෂතාවන්* අතර පිවිසෙමින් තරගාවලියට සාර්ථක නිමාවක් ලබා දෙනු ඇති බවට විශ්වාසයකින් යුතු ව බලා හිඳීමේ අවස්ථාව ශ්‍රී ලාංකික ප්‍රේක්ෂකයින්ට හිමි වී තිබෙනවා. 

*. මෙතෙක් ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලද ඉහළ ම ස්ථාන ලෙස 1963 දී කණ්ඩායම් 11 අතුරින් 9 වැනි ස්ථානය සහ 2011 දී කණ්ඩායම් 16ක් අතුරින් 14 වැනි ස්ථානය ලබා ගැනීම හඳුන්වා දිය හැකියි. 

මීට අමතරව මෙවර තරගාවලියේ ශූරතාව වෙනුවෙන් සටන් කරන කණ්ඩායම් 12 අතර තරග ද අද දිනයෙන් ආරම්භ වන අතර ඒ වෙනුවෙන් සිය කාණ්ඩවල ඉහළ ම ස්ථාන දිනා ගත් ඕස්ට්‍රේලියාව, එංගලන්තය, ජැමෙයිකාව සහ නවසීලන්තය අතර තියුණු තරග ඇති වනු ඇති බවත් අනුමාන කළ හැකියි. 

ඉදිරි දින වල 2023 දැල්පන්දු ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<