ශ්‍රී ලංකාවෙන් වේල්සයට ප්‍රබල අභියෝගයක්

Netball World Cup 2023

506
Netball World Cup 2023

2023 දැල්පන්දු ලෝක කුසලානයේ මූලික වටයේ ක්‍රීඩා කළ අවසන් තරගයෙන් වේල්සය හමුවේ ලකුණු 68 -56ක පරාජයක් ලැබීමට ශ්‍රී ලංකාවට අද (30) සිදු වුනා.

මෙවර ලෝක කුසලාන තරගාවලියේ මූලික වටයෙ C කාණ්ඩය නියෝජනය කරමින් පැවැත්වුණු මෙම තරගයට ක්‍රීඩා කළ වේල්සය ලෝක ශ්‍රේණිගත කිරීම් හි 09 වැනි ස්ථානයේ රැඳී සිටින අතර, ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් හි රැඳී සිටින්නේ 15 වැනි ස්ථානයේයි. නමුත් අද තරගයේ දී කණ්ඩායම් දෙක අතර එතරම් වෙනසක් නොපෙනන තරම් විශිෂ්ට තරගයක් ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සමත් වීම විශේෂයෙන්ම අගය කළ යුතුයි.

තරගයේ පළමු කාර්තුවේ දී වේල්සය විසින් ලකුණු 17ක් ලබා ගැනීමට සමත් වූ අතර එම කාර්තුව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 11ක් පමණයි.

නමුත් තරගයේ දෙවන කාර්තුව ආරම්භ වූ මොහොතේ පටන් ශ්‍රී ලංකාව විසින් තරගයට අවතීර්ණ වූ බව පෙනෙන්නට තිබූ අතර ඔවුන් වේල්සයට පළමු කාර්තුවේ මෙන් පහසුවෙන් ලකුණු අතරට පිවිසීමට අවස්ථාව ලබා දුන්නේ නැහැ. ඒ අනුව තරගයේ දෙවන කාර්තුව තුළ වේල්ස් ක්‍රීඩිකාවන් විසින් ලකුණු 13ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ලකුණු 11ක් ලබා ගැනීමට සමත් වුනා. ඒ අනුව තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 30-22ක් ලෙස වේල්සය ලකුණු සටහනේ ඉදිරියෙන් පසු වුනා.

තරගයේ තෙවන කාර්තුව ආරම්භයේ පටන් පෙරටත් වඩා හොඳින් දස්කම් අතරට පිවිසීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් සමත් වූ නමුත් පසුව නැවතත් වේල්සය තරගයට අවතීර්ණ වුනා. කෙසේ වෙතත් එම කාර්තුව තුළ වේල්සය විසින් ලබා ගත්තේ ලකුණු 20ක් පමණයි. එම කාල සීමාව තුළ ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් විසින් ද ලකුණු 18ක් ලබා ගැනීමට සමත් වුනා.

ඉන් පසුව ආරම්භ වූ තරගයේ අවසන් සහ සිව් වන කාර්තුවේ මුල් මිනිත්තු කිහිපයේ ආධිපත්‍යය පැතිරීමට වේල්සය සමත් වූ නමුත් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නැවතත් සිය ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයට එළඹෙමින් වේල්සයට අභියෝග කිරීමට සමත් වුනා. ඒ අනුව එම කාර්තුව තුළ වේල්සය තවත් ලකුණු 18ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුවට ලකුණු 16ක් එකතු වුනා.

  • අවසන් ලකුණු තත්වය: වේල්සය 68 – 56 ශ්‍රී ලංකාව

තරගයේ පළමු කාර්තුවේ දී වේල්සය විසින් ලබා ගත් ලකුණු 6ක ඉදිරිය නොවන්නට මෙම තරගයේ ප්‍රතිඵලය තවත් තියුණු වීමට ඉඩ තිබූ බව විශ්වාස කළ හැකියි.

එමෙන්ම මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් තර්ජනී ශිවලිංගම් ලකුණු 33, තිශලා අල්ගම ලකුණු 16ක් සහ සේමිනී අල්විස් විසින් ලකුණු 7ක් ලබා ගැනීමට සමත් වුනා.

මෙම තරගයේ දී ශ්‍රී ලංකාව ලද අවාසනාවන්ත පරාජයත් සමඟ ඔවුන් තවදුරටත් C කාණ්ඩයේ ලකුණු සටහනේ අවසන් ස්ථානයේ ම රැඳී සිටීමට සිදු වී තිබෙනවා. එමෙන්ම ඔවුන්ට ලෝක කුසලානයේ ශූරතාව වෙනුවෙන් තරග කිරීමට ඉතිරි වන කණ්ඩායම් 12 අතරට තේරී පත් වීමට තිබූ අවස්ථාව ද අහිමි වී යනවා. ඒ අනුව මෙවර තරගාවලියේ C කාණ්ඩය නියෝජනය කරමින් ජැමෙයිකාව, දකුණු අප්‍රිකාව සහ වේල්සය ඉදිරි වටය වෙත සුදුසුකම් ලබා ගන්නවා.

නමුත් ශ්‍රී ලංකාවේ ලෝක කුසලාන ගමන මෙතෙකින් අවසන් වන්නේ නැහැ. ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් සහභාගී වූ කණ්ඩායම් 16 අතුරින් එක් එක් කාණ්ඩ වල අවසන් ස්ථාන හිමි කර ගත් කණ්ඩායම් අතර ඉදිරියේ දී තරග පැවැත්වීමට නියමිතයි. (එම තරග වලින් පසුව ලෝක කුසලානයට සහභාගී වූ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමට නියමිතයි.)

එම තරග විස්තර ද ඔබ වෙත එසැණින් සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<