එක්දින ලෝක කුසලානය ඔක්තෝබරයේ?

එක්දින ලෝක කුසලානය 2023

310

මෙම වසරේ පැවැත්වීමට නියමිත එක්දින ලෝක කුසලානය ඔක්තෝබර් 05 වැනිදා ආරම්භ වී නොවැම්බර් 19 වැනිදා දක්වා පැවැත්වීමට වැඩි ඉඩක් ඇතයි මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

කණ්ඩායම් 12ක් සහභාගී වන මෙම තරගාවලිය ක්‍රීඩාංගණ දොළහක් කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට සැලසුම් කර ඇති අතර අවසන් මහා තරගය ලොව විශාලතම ක්‍රීඩාංගණය වන අහ්මදාබාද් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

අහ්මදාබාද් ක්‍රීඩාංගණයට අමතරව තරගාවලියේ තරග Bengaluru, Chennai, Delhi, Dharamsala, Guwahati, Hyderabad, Kolkata, Lucknow, Indore, Rajkot සහ Mumbai ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිතයි. දින 46ක් මුළුල්ලේ පැවැත්වෙන මෙම තරගාවලිය සඳහා තරග 48ක් ඇතුළත්.

කෙසේ නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය මෙතෙක් කිසිදු ක්‍රීඩාංගණයක් නිල වශයෙන් නම් කර නොමැති අතර මෙම ක්‍රීඩාංගණ කිහිපයක පුහුණු තරග ක්‍රීඩා කිරීමට ද නියමිතයි.

සාමාන්‍යයෙන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සිය තරග කාලසටහන වසරකට පෙර නිල වශයෙන් ප්‍රකාශයට පත් කළත්, ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය සිය රජයෙන් තවමත් අවසර ලබාගෙන නොමැති නිසා කාලසටහන ප්‍රකාශ කිරීම ප්‍රමාද වී තිබෙනවා.

තරගාවලිය බදු වලින් නිදහස් කර ගැනීම සහ පාකිස්තාන කණ්ඩායමට ඉන්දීය වීසා ලබා ගැනීම තහවුරු කිරීම යන හේතු දෙක නිසා අවසර ලබා ගැනීම ප්‍රමාද වී ඇති අතර පාකිස්තානය 2013 වසරින් පසු (ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ තරගාවලි හැර) ඉන්දියාවේ ක්‍රීඩා කර නැහැ.

කෙසේ නමුත් පසුගිය දා පැවති ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල රැස්වීමේ දී පාකිස්තාන කණ්ඩායමට වීසා ලබා දීම තහවුරු විය හැකි බව ඉන්දීය බලධාරීන් තහවුරු වී ඇති බව වාර්තා වෙනවා.

බදු වලින් නිදහස් කිරීම පිළිබඳව ඉන්දීය ක්‍රිකට් බලධාරීන් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට ඉතා ඉක්මනින් දැනුම් දීමට නියමිත අතර 2014 වසරේ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සමඟ අත්සන් කළ සත්කාරක ගිවිසුමේ මෙම බදු සහනය ලබා දීම ඇතුළත් වූ බව සඳහන්.

එම සත්කාරක ගිවිසුමට අනුව ඉන්දියාවට 2016 විස්සයි විස්ස ලෝක කුසලානය, 2021 විස්සයි විස්ස ලෝක කුසලානය සහ එක්දින ලෝක කුසලානයේ සත්කාරකත්වය ලබා දී තිබූ අතර ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් එයට එක් වන අනුග්‍රාහකයින්ට බදු සහන ලබා දීමට එකඟ වී තිබෙනවා.

2023 එක්දින ලෝක කුසලානය විකාශන ආදායමෙන් 20% බදු අයන කරන බව ඉන්දීය රජය විසින් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට දන්වා තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2023 ලෝක කුසලානයේ විකාශන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 533.29ක් ලෙස ගණන් බලා තිබෙන අතර ඉන්දීය රජයේ බදු ප්‍රතිශතයට අනුව ඩොලර් මිලියන 116.47ක බඳු මුදලක් ගෙවීමට සිදු වෙනවා.

ESPNcricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<