ලෝක ටෙස්ට් ශූරයින් වීමේ ශ්‍රී ලාංකික බලාපොරොත්තු තවමත් ජීවමානයි!

ICC World Test Championship

4495

ලබන වසරේ දී පැවැත්වීමට නියමිත ICC World Test Championship අවසන් මහා තරගයට තේරීපත් වීමට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හයකට තවමත් අවස්ථාව ඉතිරිව පවතිනවා.

ලබන වසරේ ජුනි මාසයේ දී එංගලන්තයේ ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලියේ අවසන් මහා තරගයට ක්‍රීඩා කරන කණ්ඩායම් තෝරා ගැනීම පසුගිය වසරේ අගෝස්තු 4 වැනිදායින් ආරම්භ වූ අතර, මේ වන විට එය කණ්ඩායම් හයක සටනක් බවට පත් වී හමාරයි.

පසුගිය දා නිමාව දුටු පාකිස්තානය සහ එංගලන්තය අතර ටෙස්ට් තරග තුනකින් සමන්විත තරගාවලිය 3-0ක් ලෙස එංගලන්තය ජයග්‍රහණය කිරීමෙන් අනතුරුව පාකිස්තානයේ ලෝක ශූරයින් වීමේ සිහිනය ඉතාමත් සුළු අවස්ථාවක දක්වා සීමා වුනා.

දැනට ලෝක ශූරතාව සඳහා සටනේ ලකුණු සටහනේ පළමු ස්ථානය ඕස්ට්‍රේලියානු කණ්ඩායම විසින් හිමිකර ගෙන සිටින අතර, ශ්‍රී ලංකාවට එහි සිව්වැනි ස්ථානය හිමි වී තිබෙනවා.

එළඹෙන වසරේ ලෝක ශූරයින් ලෙස කිරුළු දරන්නට කණ්ඩායම් සඳහා ඇති අවස්ථාවන් මෙසේයි.

  1. ඕස්ට්‍රේලියාව
  • දැනට ලකුණු ප්‍රතිශතය (PTC) – 92 %
  • ලබා ගත හැකි ඉහළතම ලකුණු ප්‍රතිශතය – 84.21%

ලකුණු සටහනේ විශාල පරතරයක් සමඟම ඉදිරියෙන් සිටිමින් ලෝක ශූරතා අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමේ සටනේ නියත ජයග්‍රාහකයකු වීමට හැකි ප්‍රධානතම කණ්ඩායම වන්නේ ඕස්ට්‍රේලියාවයි.

ඔවුන්ට තවත් ටෙස්ට් තරග හයක් (දකුණු අප්‍රිකාව සමඟ තරග 2ක් සහ ඉන්දියාව සමඟ තරග 4ක් වශයෙන්.)

දකුණු අප්‍රිකාව සමඟ මේ දිනවල පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ද ඉතා පහසුවෙන් ජය ගත් ඕස්ට්‍රේලියාව ඉන්පසුව ලබන වසරේ පෙබරවාරි මාසයේ දී ඉන්දියාව බලා යාමට නියමිතයි.

ඔවුන් බොහෝ දුරට අවසන් මහා තරගය ක්‍රීඩා කරනු ඇතී.

  1. ඉන්දියාව
  • දැනට ලකුණු ප්‍රතිශතය (PTC) – 77%
  • ලබා ගත හැකි ඉහළතම ලකුණු ප්‍රතිශතය – 68.06%

ඉන්දියාව මේ වන විට බංග්ලාදේශය සමඟ තරග දෙකකින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගී වී සිටින අතර, එහි පළමු තරගය ජයග්‍රහණය කිරීමට ද සමත් වුනා.

එම තරගාවලියේ තවත් එක් තරගයක් ඉතිරිව පවතින අතර, ඉන්පසුව ඉන්දියාවට ඕස්ට්‍රේලියාව සමඟ ද ටෙස්ට් තරග හතරක් ඉතිරිව පවතිනවා.

මෙම තරගවල ලැබෙන ප්‍රතිඵල අනුව ලෝක ශූරතාවයේ ඉන්දීය ඉරණම විසඳෙනු ඇත.

  1. දකුණු අප්‍රිකාව
  • දැනට ලකුණු ප්‍රතිශතය (PTC) – 55%
  • ලබා ගත හැකි ඉහළතම ලකුණු ප්‍රතිශතය – 69.77%

ඕස්ට්‍රේලියාව ඉදිරියේ දින දෙකක් තුල ලැබූ පරාජය හේතුවෙන් මෙම ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ වැජඹෙමින් සිටි දකුණු අප්‍රිකාවට තෙවැනි ස්ථානය තෙක් පසු බැසීමට සිදු වූ අතර, ඔවුන් ඉදිරියේ දී ඕස්ට්‍රේලියාව සමඟ පැවැත්වෙන තරග දෙක ජයග්‍රහණය කිරීම ලෝක ශූරයින් වීමට ඇති සිහිනය සැබෑ කර ගැනීමට අත්‍යාවශ්‍ය සාධකයක් වී තිබෙනවා.

ඉන්පසුව ඔවුන්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ තවත් ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත ව තිබුනත්, දැන් පැවැත්වෙන තරගාවලිය පරාජය වීම ඔවුන්ගේ ගමනට මරු පහරක් වනු ඇත.

  1. ශ්‍රී ලංකාව
  • දැනට ලකුණු ප්‍රතිශතය (PTC) – 33%
  • ලබා ගත හැකි ඉහළතම ලකුණු ප්‍රතිශතය – 61.11%

ශ්‍රී ලංකා කණ්ඩායමට ලෝක ශූරතාවට පෙර ඉතිරිව ඇත්තේ තවත් ටෙස්ට් තරග දෙකක් පමණයි. එම තරග දෙකම නවසීලන්තයට එරෙහිව නවසීලන්තයේ දීම ලබන වසරේ පැවැත්වීමට නියමිතයි.

ලෝක ශූරතා ලකුණු සටහනේ මුල් ස්ථාන දෙක අතරට පැමිණෙමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට නම් ශ්‍රී ලංකාව ඉතිරිව ඇති තරග දෙකම ජයග්‍රහණය කළ යුතු අතර, ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ විසින් ක්‍රීඩා කරන තරගාවලි දෙකේ දී ඔවුන්ගේ ජයග්‍රහණය වෙනුවෙන් ද බලා සිටිය යුතු වෙනවා.

කෙසේ හෝ මීට පෙර ඕස්ට්‍රේලියාව සහ පාකිස්තානය සමඟ මෙරට දී පැවති ටෙස්ට් තරගාවලිවල ලැබූ පරාජයන් දෙක නොවන්නට ශ්‍රී ලංකා කණ්ඩායමට මීටත් වඩා ඉහළ ලකුණු ප්‍රමාණයක් හිමි කර ගත හැකිව තිබුණා.

  1. එංගලන්තය

ඔවුන්ට තවත් ටෙස්ට් තරග ඉතිරිව නොමැති අතර දැනටමත් ඔවුන් මෙම සටනෙන් ඉවත් වී අවසන්.

  1. බටහිර ඉන්දීය කොදෙව්
  • දැනට ලකුණු ප්‍රතිශතය (PTC) – 91%
  • ලබා ගත හැකි ඉහළතම ලකුණු ප්‍රතිශතය – 50%

ඔවුන්ට තවත් ඉතිරිව ඇත්තේ දකුණු අප්‍රිකාව සමඟ තරග දෙකක් පමණක් වන අතර, එම තරග දෙක ජයග්‍රහණය කිරීම මෙන්ම අනෙක් කණ්ඩායම් ඉදිරි තරග ජය ගන්නා ආකාරය ද අනුව ඔවුන්ගේ ඉරණම විසඳෙනු ඇත.

  1. පාකිස්තානය
  • දැනට ලකුණු ප්‍රතිශතය (PTC) – 89%
  • ලබා ගත හැකි ඉහළතම ලකුණු ප්‍රතිශතය – 47.72%

එංගලන්තය හමුවේ ලද ලැජ්ජා සහගත පරාජයෙන් පසුව ද තවමත් පාකිස්තානයට බලාපොරොත්තුවක් ඉතිරිව ඇති අතර, ඔවුන්ට නවසීලන්තය සමඟ තවත් තරග දෙකක් ඉතිරිව පවතිනවා.

එම තරග දෙකේ ජයග්‍රහණය මෙන්ම, අනෙක් කණ්ඩායම් වල ජයග්‍රහණවල ද පැහැදිලි බලපෑමක් පාකිස්තාන ඉදිරි ගමනට එල්ල වෙනවා.

  1. නවසීලන්තය

තවත් තරග හතරක් (ශ්‍රී ලංකාව සමඟ 2, පාකිස්තානය සමඟ 2 බැගින්) ඉතිරිව තිබිය දීත් පසුගිය වර ටෙස්ට් ශූරයින් වූ නවසීලන්තයට මෙවර තරගාවලියෙන් ඉවතට යාමට සිදු වුනා.

නමුත් ඔවුන්ට ශ්‍රී ලංකාවේ සහ පාකිස්තානයේ ලෝක ශූරතා හීනයට බලපෑමක් එල්ල කිරීමට නම් තවමත් හැකියාව තිබෙනවා.

  1. බංග්ලාදේශය

ඔවුන්ට ඉතිරිව ඇත්තේ ඉන්දියාව සමඟ පැවැත්වීමට නියමිත ටෙස්ට් තරගය පමණයි. ඒ අනුව ඔවුන් ද තරගාවලියෙන් ඉවතට විසි වී ගොස් අවසානයි.

කණ්ඩායම් හයක් තවමත් තරගාවලියේ ජීව මානව සිටියත්, ඉදිරියේ දී මුල් ස්ථාන හතර තුල සිටින කණ්ඩායම් හතරේ ක්‍රීඩා විලාශය අනුව ලබන වසරේ ටෙස්ට් ලෝක ශූරයින් වීමට තරග කරන කණ්ඩායම් දෙක තේරී පත් වීමට වැඩි වශයෙන් ඉඩ පවතිනවා.

ටෙස්ට් ලෝක ශූරතාවලියේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC වෙබ් පිටුව ඇසුරෙනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<