සී. සී. සී. සහ මේරියන්ස් විස්සයි විස්ස අවසන් මහා තරගයට

99
SLC Invitation T20 Tournament 2019/20

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගැනීමට කොළඹ සී. සී. සී. ක්‍රීඩකයෝ සහ හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ අද (19) දින සමත් වූහ.

උඩවත්ත සහ චතුරංග එන්. සී. සී. ගොඩ ගනී

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (17) නිමා වූ…

අද දින කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් පිටියේ දී පැවති අවසන් පූර්ව වටයේ තරග වලදී හලාවත මේරියන්ස් ක්‍රීඩකයන් විසින් රාගම ක්‍රිකට් සමාජය ලකුණු 33 කින් පරාජය කරමින් ද එම ක්‍රීඩාංගණයේ දීම පැවති සී. සී. සී. සහ එන්. සී. සී. අතර තරගයේ දී සී. සී. සී. ක්‍රීඩකයෝ ලකුණු 10 ක ජයග්‍රහණක් ද වාර්තා කරමින් මෙම අවස්ථාව දිනා ගත්හ. 

හලාවත මේරියන්ස් සහ රාගම ක්‍රිකට් සමාජය අතර තරගය 

කාසියේ වාසිය දිනා ගත් රාගම නායකයාගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ තම ඉනිමට කඩුලු 8 ක් දැවී ලකුණු 168 ක් රැස්කර ගත්හ. ඊට පිළිතුරු ලෙසින් රාගම ක්‍රීඩකයන්ට රැස්කර ගත හැකි වූයේ සියලු දෙනා දැවී ලකුණු 135 ක් පමණි. 

හලාවත මේරියන්ස් ඉනිමේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 93 ක් වූවද පසු පන්දුවාර වලදී තරගය පාලනය කිරීමට රාගම පන්දු යවන්නෝ සමත් වූහ. 

කෙසේවෙතත් ආරම්භක පිතිකරුවන් අතුරින් ලසිත් කෲස්පුල්ලේ පන්දු 46 කට මුහුණ දෙමින් හතරේ පහර 8 ක් සහ හයේ පහරක් සමඟ ලකුණු 67 ක් රැස්කර ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. අනෙක් ආරම්භක පිතිකරු වූ කමිඳු මෙන්ඩිස් රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 25 කි. ඒ සඳහා ඔහුට පන්දු 27 ක් වැය වූ අතර හතරේ පහර 2 ක් පමණක් ඔහුගේ ඉනිමට ඇතුළත් විය. 

අනතුරුව හලාවත මේරියන්ස් ඉනිමේ කැපි පෙනෙන ඉනිමක් ක්‍රීඩා කළේ පුලින තරංග ය. ඔහු පන්දු 21 කට මුහුණ දී හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33 ක් රැස්කර ගත්තේය. 

Photos: Chilaw Marians CC vs Ragama CC | SLC Invitation T20 Tournament 2019/20 – SF 1

පන්දු යැවීමේ දී උදාර ජයසුන්දර ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගත්තේය. ඊට අමතරව ආරම්භක වේගපන්දු යැවූ ඉෂාන් ජයරත්න කඩුලු 2 ක් දවා ගත් අතර නිශාන් පීරිස් සහ නායක අමිල අපෝන්සු එක් කඩුල්ල බැගින් දවා ගත්හ. 

රාගම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ උදාර ජයසුන්දර යි. ඔහු පන්දු 30 කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 35 ක් රැස්කර ගත්තේය. ඊට අමතරව නිශාන් මධුශ්ක (33) සහ සුපේෂල ජයතිලක (24) ලකුණු අතරට පිවිසියහ. අනෙක් කිසිඳු පිතිකරුවෙකුට ලකුණු 10 සීමාව පසු කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ ඉඩ තැබුවේ නැත. 

පන්දු යැවීමේ දී පුලින තරංග ලකුණු 18 කට කඩුලු 3 ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. ඊට අමතරව අසිත ප්‍රනාන්දු, නිමේෂ් විමුක්ති, තික්ෂිල ද සිල්වා, කමිඳු මෙන්ඩිස් සහ ෂෙහාන් ජයසූරිය එක් කඩුල්ල බැගින් දවා ගත්හ.  

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 8 ක් දැවී 168 (20) ලසිත් කෲස්පුල්ලේ 67, කමිඳු මෙන්ඩිස් 25, පුලින තරංග 33, ඉෂාන් ජයරත්න 2/40, උදාර ජයසුන්දර 4/16. 

රාගම ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 135 (19) නිශාන් මධුශ්ක 33, උදාර ජයසුන්දර 35, සුපේෂල ජයතිලක 24, පුලින තරංග 3/18. 

සම්පත් සහ මනීශාන් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පළමු වටයේ…

සී. සී. සී. සහ එන්. සී. සී. අතර තරගය 

කාසියේ වාසිය දිනා ගත් සී. සී. සී. ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලු දෙනා දැවී ලකුණු 144 ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් එන්. සී. සී. ක්‍රීඩකයන්ට රැස්කර ගත හැකි වූයේ කඩුලු 8 ක් දැවී ලකුණු 134 ක් පමණි. 

සී. සී. සී. ඉනිම වෙනුවෙන් ආරම්භක පිතිකරු මළිඳු මධුරංග පන්දු 30 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 2 ක් සමඟ ලකුණු 38 ක් රැස්කර ගනිමින් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා විය. 

ඊට අමතරව වනිඳු හසරංග පන්දු 26 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 33 ක් රැස්කර ගත්තේය. පන්දු යැවීමේ දී චාමික ගුණසේකර ලකුණු 23 කට කඩුලු 4 ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඩිලේශ් ගුණරත්න සහ සචිඳු කොළඹගේ කඩුලු 2 බැගින් ද ඇන්ජලෝ පෙරේරා එක් කඩුල්ලක් ද ලබා ගත්හ. 

Photos: NCC vs CCC | SLC Invitation T20 Tournament 2019/20 – SF 2

එන්. සී. සී. ඉනිම වෙනුවෙන් ලහිරු උදාර පන්දු 48 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සහ හයේ පහර 4 ක් සමඟින් ලකුණු 65 ක් රැස්කර ගත්තේය. ඊට අමතරව මහේල උඩවත්ත පන්දු 24 කට මුහුණ දී හයේ පහරක් සමඟ ලකුණු 23 ක් රැස්කර ගත්තේය.ඔවුන් දෙදෙනාම දුවද්දී දැවී යෑමට හසුකර ගනිමින් සී. සී. සී. ක්‍රීඩකයෝ තම ජයග්‍රහණය ස්ථිර කර ගත්හ. 

පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 25 කට කඩුලු 2 ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතරව ලහිරු ගමගේ, නුවන් තුෂාර, අශාන් ප්‍රියංජන් සහ වනිඳු හසරංග එක් කඩුල්ල බැගින් දවා ගත්හ.  

රමේෂ් මෙන්ඩිස් දවසේ වීරයා වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධාන කරන අන්තර් ක්‍රීඩා සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අද (14) දින…

සී. සී. සී. : සියලු දෙනා දැවී 144 (20) මළිඳු මධුරංග 38, වනිඳු හසරංග 33, මනෙල්ක ද සිල්වා 19, ඩිලේශ් ගුණරත්න 2/33, චාමික ගුණසේකර 4/23, සචිඳු කොළඹගේ 2/21. 

එන්. සී. සී. : කඩුලු 8 ක් දැවී 134 (20) ලහිරු උදාර 65, මහේල උඩවත්ත 23, මාලිංද පුෂ්පකුමාර 2/25. 

තරගාවලියේ අවසන් මහා තරගය මෙම මස (ජනවාරි) 21 වනදා කොළඹ 07, මේට්ලන්ඩ් පෙදෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැත්වීමට නියමිතය. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<