ටෙස්ට් ලෝක ශූරතාවයේ ශ්‍රී ලංකාවේ අලුත්ම ස්ථානය

ටෙස්ට් ලෝක ශූරතාවය 2021/23

5851
ටෙස්ට් ලෝක ශූරතාවය 2021/23

2021-23 කාලසීමාව සඳහා වූ ටෙස්ට් ලෝක ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහන අද (20) යාවත්කාලීන වූ අතර තරගාවලියේ තවත් පැවැත්වීමට ඉතිරිව ඇත්තේ ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර අවසන් මහා තරගය පමණයි.

තරගාවලියට අයත් වූ අවසන් තරගාවලිය වන ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරගාවලිය 2-0ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාවට හැකි වූවා නම් අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ශ්‍රී ලංකාවට හැකිව තිබුණා. නමුත් පළමු ටෙස්ට් තරගයේ ලද පරාජයෙන් පසු එම අවස්ථාව අහිමිව ගියා.

තියුණු සටනකින් අවසන් වූ පළමු තරගයේ ලද පරාජයෙන් පසුව සහ දෙවැනි තරගයේ ඉනිමකින් ලැබූ පරාජය නිසා ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි තැන සිට පස්වැනි තැන දක්වා පසු බැසීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින්ට සිදු වුනා.

දෙවැනි ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වූ අද (20) ශ්‍රී ලංකා ක්‍රීඩකයින් යම් සටන්කාමිත්වයක් පෙන්නුම් කළත්, නවසීලන්ත නායක Tim Southee අවසන් කඩුලු කිහිපය දවා ගැනීමත් සමඟ තරගය ඉනිමකින් සහ ලකුණු 58කින් ජය ගැනීමට නවසීලන්තයට හැකි වුනා.

මෙම ජයග්‍රහණය සමඟ ටෙස්ට් ලෝක ශූරතා ප්‍රසාද ලකුණු සටහනේ අටවැනි ස්ථානයේ සිට හයවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට නවසීලන්තයට හැකි වූ අතර මෙම තරගයේ ප්‍රතිඵලය සමඟ ප්‍රසාද ලකුණු සටහනෙ පහළට යෑමට පාකිස්තානයට සහ බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයින්ට සිදු වුනා.

මෙවර ලෝක ටෙස්ට් ශූරතාවයේ අවසන් මහා තරගය තරග වදින කණ්ඩායම් තහවුරු වීමෙන් පසු ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර අවසන් තරගය ජුනි මාසය මුල එංගලන්තයේ ඕවල් පිටියේ පැවැත්වීමට නියමිතව තිබෙනවා.

ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ තරගාවලිය අවසන් කිරීමට දකුණු අප්‍රිකාවට සිදු වූ අතර ශ්‍රී ලංකාව ලැබූ පරාජය නිසා එංගලන්තය හතරවැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ තිබුණා.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<