ලෝක කුසලානයේ ඉදිරිය තීරණය කරන තරගයට පෙර

ICC U 19 Cricket World Cup 2024

111

15 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන සුපිරි 6, Group 2 වටයේ දෙවැනි තරගය අද (02) Potchefstroom හී Senwes Park හි දී පැවැත් වීමට නියමිතයි. ඔවුන්ගේ ප්‍රතිවාදීන් වෙන්නේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.

දෙවැනි ලෝක කුසලාන තරගාවලියේ සිට යොවුන් ලෝක කුසලාන තරගාවලිය සඳහා එක් වූ දකුණු අප්‍රිකාව මේ දක්වා දිනා ඇති ඉහළ ම ජයග්‍රහණය වන්නේ 2014 වසරේ දී ලත් ජයග්‍රහණයයි.

ඔවුන් සහභාගී වූ පළමු අවුරුද්දේ ම තරගාවලියේ තෙවැනි ස්ථානය දිනා ගැනීමට ද සමත් වූ අතර ඊට අමතර ව 2002 සහ 2008 වසරවල අනුශූරයන් ලෙසින් ද සහ නැවත 2012 වසරේ දී තෙවැනි ස්ථානය ද දිනා ගැනීමට සමත් ව තිබෙනවා. නිමා වූ වසරේ දී ඔවුන් තරගාවලිය අවසන් කරන්නේ 7 වැනි ස්ථානයේ සිටිමිනුයි.

ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව මේ දක්වා ලෝක කුසලාන තරගමාලා 5ක දී එකිනෙකා හමුවී ඇති අතර ඉන් අවස්ථා 4ක දී ශ්‍රී ලංකාව ද සහ එක් අවස්ථාවක දී දකුණු අප්‍රිකාව ද ජයග්‍රහණය කර තිබේ.

ලෝක කුසලාන ඉතිහාසයේ ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාවන්ගේ තරග තොරතුරු
වසර සත්කාරකත්වය ශ්‍රී ලංකා නායක ප්‍රතිවාදී නායක තරගයේ විසඳුම
1998 දකුණු අප්‍රිකාව ප්‍රදීප් හේවගේ Matthew Street ශ්‍රී ලංකාවට කඩුලු 3ක ජයක්.
2004 බංග්ලාදේශය ෆර්වීස් මහරූෆ් Divan van Wyk ශ්‍රී ලංකාවට ලකුණු 29ක ජයක්.
2010 නවසීලන්තය චතුර පීරිස් Josh Richards ශ්‍රී ලංකාවට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 146ක ජයක්.
2012 ඔස්ට්‍රේලියාව සනිත ද මැල් Chad Bowes දකුණු අප්‍රකාවට කඩුලු 4ක ජයක්.
2022 බටහිර ඉන්දීය කොදෙව් දුනිත් වෙල්ලාලගේ George Van Heerden ශ්‍රී ලංකාවට ලකුණු 65ක ජයක්.

දෙරට ලෝක කුසලාන තරග වාර්තාවන් ඒ ලෙසින් සැකසෙද්දී ශ්‍රී ලංකාව මෙම තරගය සඳහා එක් වෙන්නේ අවධානමක් ද සහිතවයි. ඒ ඔවුන් පෙර තරගයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන් හමුවේ පරාජය වීම නිසායි.

මේ පරාජයේ දී තව දුරටත් සටහන් තැබිය යුතු වන්නේ ශ්‍රී ලංකා කණ්ඩායමට පිතිකරුවන් ලෙසින් එක් වූ ක්‍රීඩකයන්ගේ අදක්ෂතා සම්බන්ධයෙනුයි. පෙර තරගයේ දී ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා යම්තම් ලකුණු අතරට පිවිසෙන බවක් පෙන්නුම් කළ ද, ඔහුගේ ඉනිම ස්ථාවර මට්ටමේ පැවැතියේ නැහැ.

පෙර දක්ෂතා අනුව බලන කළ පුලිඳු ගේ මෙම දුර්වලතාවන් කණ්ඩායමට විශාල පාඩුවක්. ඔහුගේ පිබිදීමක් වේ නම් මෙරට කණ්ඩායමේ ඉරණම මීට වඩා වෙනස් කළ හැකියැයි අප අනුමාන කරමු.

නායක සිනෙත් ජයවර්ධන ද තවමත් කණ්ඩායම වෙනුවෙන් මතක හිටින යුතුකමක් නොකිරීම ද විශාල පාඩුවක් ලෙසින් දැක් විය හැකියි. එබැවින් මෙම ක්‍රීඩකයන් දෙදෙනාගෙ ම පිබිදීමක් මෙම තරගයේ දී සිදු වෙතැයි සියලු ලාංකිකයන්ගේ බලාපොරොත්තුවයි.

මීට පෙර ඉදිරි පෙළ පිතිකරුවෙක් ලෙසින් පිටියට පිවිසි රවිශාන් ද සිල්වා, නිමා වූ තරගයේ දී මැදි පෙළින් පිටියට පැමිණිය ද ඔහුට ද යමක් කිරීමට හැකි වූයේ නැහැ.

එසේ වූවත් තව දුරටත් කණ්ඩායමේ බලාපොරොත්තු පිරි ක්‍රීඩකයා තමන් බවට පත් කර ගැනීමට දිනුර කළුපහන සමත් වීම කැපී පෙණුනා. ඔහු පෙර තරගයේ දී අර්ධ ශතක ඉනිමක් ක්‍රීඩා කිරීමට අමතර ව පන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දැක් වූවා.

එමෙන් ම ඊට කදිම සහයෝගයක් ලබා දුන් උප නායක මල්ෂ තරුපති ද පැසසිය යුතුයි. මෙතෙක් පිතිකරුවෙක් ලෙසින් ඉදිරියට පැමිණිමට නොහැකි වූ මල්ෂ ගේ පිත්ත කතා කිරීම ඇගයිය යුතු අතර එය තව දුරටත් පවත්වාගෙන යෑමට මල්ෂගේ ප්‍රමුඛ වගකීම කර ගත යුතුයි.

පන්දු යවන්නන් මෙතෙක් තම යුතුකම මනා ලෙස ඉටු කරමින් සිටිය ද පෙර තරගයේ දී තරමක් පසු බැසීම, ලත් පරාජයට ප්‍රබල හේතුවක් වූවා. එම තරගයේ දී ශ්‍රී ලංකා ප්‍රධානතම පන්දු යවන්නා බංකුවේ තබා පිතිකරුවෙක් යොදා ගත්ත ද එය අභියෝගයට ලක් වුවා. එහි තීරණය කෙතරම් ද යත් ශ්‍රී ලංකා නායකයාට පන්දු යවන්නෝ 8 දෙනෙක් ම යොදා ගැනීමට එම තරගයේ දී සිදු වූවා. ඒ තම පන්දු යැවීමේ බලඇණියේ දක්ෂතා සම්බන්ධයෙන් අවිශ්වාසය ඉහළට පැමිණීමක් නිසා සිදු වූවක් ලෙසින් දැකිය හැකියි.

මෙම තරගයේ දී ඉදිරියක් බලාපොරොත්තු වීමට නම් පෙර තරගයේ දී සිදුවූ එම තත්ත්වයන් මෙම තරගයේ දී අවම විය යුතුයි.

දකුණු අප්‍රිකාවට එරෙහිව පිටියට පිවිසෙතැයි සිතෙන ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

සිනෙත් ජයවර්ධන (නායක), පුලිඳු පෙරේරා, විශේන් හැළඹගේ/ ගරුක සංකේත්, සුපුන් වඩුගේ, දිනුර කළුපහන, ශාරුජන් ශම්මුගනාදන් (කඩුලු රකින්නා), රවිශාන් ද සිල්වා, මල්ෂ තරුපති, විහස් තෙව්මික, විශ්ව ලහිරු, රුවිශාන් පෙරේරා.

දකුණු අප්‍රිකාව පළමු වටයේ දී බටහිර ඉන්දීය කොදෙව්වන්ට එරෙහිව ලකුණු 31ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද, එංගලන්තය හමුවේ ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 36කින් පරාජය වෙමින් ද සහ ස්කොට්ලන්ත කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද Group 2 කාණ්ඩයේ සුපිරි 6 වටයට පිවිසියා.

එම වටයේ ඔවුන් සහභාගී වූ පළමු තරගය වූයේ සිම්බාබ්වේ සමඟ තරගයයි.

31 වැනි තරගය, සුපරි 6, Group 2, Potchefstroom, ජනවාරි 31, 2024, ICC Under-19 World Cup

o ක්‍රීඩාංගණය – Senwes Park, Potchefstroom

o කාසියේ වාසිය – දකුණු අප්‍රිකාව

o තරගයේ වීරයා – Kwena Maphaka (දකුණු අප්‍රිකාව)

  • සිම්බාබ්වේ වයස අවුරුදු 19න් පහළ කණඩායම – සියලුම දෙනා දැවී 102 (29.2)
  • දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 103 (13.3)

දකුණු අප්‍රිකාවට කඩුලු 9ක ජයක්.

දකුණු අප්‍රිකානු කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත පිතිකරුවන් වී ඇත්තේ ආරම්භක පිතිකරුවන් යුගල වන Steve Stolk සහ කඩුල්ල පිටු පස ද වගකීම් දරණ Lhuan-dre Pretorius.

ඔවුන් අතුරින් Steve Stolk මේ දක්වා පැවැති තරගවල දී අර්ධ ශතක 2ක් ම තම ගිණුමට එක් කර ගත් ක්‍රීඩකයෙක් වන අතර ඔහු තරග 4ක දී ලකුණු 192ක් ලබා ගනිමින් මෙවර තරගාවලියේ ස්ථාවර පිතිකරුවෙක් ලෙසින් ඉදිරියෙන් ද සිටිනවා.

එමෙන් ම Dewan Marais දකුණු අප්‍රිකාව වෙනුවෙන් දක්ෂතා දක්වන පිතිකරුවන් අතර ඉදිරියෙන් සිටින තවත් ක්‍රීඩකයෙක්. ඔහු මේ දක්වා අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 187ක් ලබා සිටිනවා.

Lhuan-dre Pretorius තමන් ක්‍රීඩා කළ අවසන් ඉනිමේ දී නොදැවී අර්ධ ශතකයක් එක් කර ගත් ක්‍රීඩකයෙක් වන අතර ඔහු ද මේ වන විට තරග 4ක දී ලකුණු 140ක් ලබා ගනිමින් දකුණු අප්‍රිකානුවන්ගේ විශ්වාසවන්ත පිතිකරුවෙක් වී සිටිනවා.

පන්දු යැවීමේ දී වඩාත් විශ්වාසන්ත පන්දු යවන්නා වී ඇත්තේ වමතින් මඳ වේග පන්දු යවන Kwena Maphaka. ඔහු මේ දක්වා කඩුලු 12ක් ලබා ගනිමින් තරගාවලියේ වැඩිම කඩුලුලාභීන් අතර පෙරමුණේ පසු වෙනවා. පෙර තරගයේ දී ලකුණු 34කට කඩුලු 5ක් දවා ගැනීමට ද ඔහු සමත් වූ අතර එය මෙතෙක් මෙම තරගාවලියේ දැක් වූ ඉහළ ම දක්ෂතාව බවට ද පත් ව තිබෙනවා.

ඊට අමතර ව Riley Norton සහ Tristan Luus  ද දකුණු අප්‍රිකානුවන් වෙනුවෙන් පන්දු යැවීමෙන් ඉදිරියෙන් පසුවෙනවා.

ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව පිටියට පිවිසෙතැයි අනුමාන කරන දකුණු අප්‍රිකානු වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම:

Juan James (නායක), Lhuan-dre Pretorius (කඩුලු රකින්නා), Steve Stolk, David Teeger, Richard Seletswane, Dewan Marais, Romashan Pillay, Riley Norton, Tristan Luus, Raeeq Daniels, Kwena Maphaka                  

මේ වන විට ක්‍රියාත්මක තරගාවලියේ දී දකුණු අප්‍රිකාව, ශ්‍රී ලංකා කණ්ඩායමට වඩා ඉහළින් සිටිමිනුයි මෙම තරගය හා එක් වෙන්නේ. ඔවුන් පළමු වටයේ ලකුණු ද සමඟින් මේ වන විට සෘජු ලකුණු ලබා ගැනීමේ දළ වේගය 1.479ක් ලෙසින් පවත්වා ගනිමින් 2 වැනි ස්ථානයේ පසුවෙනවා.

ශ්‍රී ලංකාව පළමු වටයේ තරගත් සමඟින් මේ වෙද්දී ලබා ඇති සෘජු දළ වේගය 0.226ක්. ඒ අනුව ඔවුන්ට මෙම ලැයිස්තුවේ හිමි ව ඇත්තේ සිවු වැනි ස්ථානයයි. එබැවින් මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට තව දුරටත් සජීවී ව සිටීමට නම් මෙම තරගයේ ජයග්‍රහණය ඉතා ම අත්‍යාවශ්‍ය සාධකයක් වෙනවා.

එම අභියෝගය ඔවුන්ට ජය ගැනීමට සිදුව තිබෙන්නේ සත්කාරක දකුණු අප්‍රිකානුවන්ට එරෙහිව වන බැවින් එය සංචාරක ක්‍රීඩකයන්ට පැවැරෙන අමතර ව පීඩනයක් ලෙසින් ද හැඳින්විය හැකියි.

2024 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<