දිනුර සහ මල්ෂ ශ්‍රී ලංකාවේ පළමු ජය තහවුරු කරයි

ICC Men's U19 Cricket World Cup 2024

329
ICC Men's U19 Cricket World Cup 2024

වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගය අද (21) සිම්බාබ්වේ කණ්ඩායම සමඟ පැවැත්වුණා.

මෙම තරගයේ කාසියේ වාසිය සිම්බාබ්වේ නායකයා සතු වූ අතර ඔහු විසින් ශ්‍රී ලංකාවට පළමුව පන්දුවට පහර දීමට ආරාධනා කළා.

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ආරම්භය නම් එතරම් සාර්ථක එකක් වුනේ නැහැ. ඔවුන්ගේ මුල් කඩුලු 3 ම ලකුණු 12ක් වන විට දවා ගැනීමට සිම්බාබ්වේ පන්දු යවන්නන් විසින් සමත් වූ අතර, එතැන් පටන් කඩුල්ලේ එක් වූ රවිශාන් ද සිල්වා සහ රුසඳ ගමගේ තරමක් සෙමෙන් වුවත් බිඳ වැටුණු ශ්‍රී ලංකා ඉනිම ගොඩ නැංවීම ආරම්භ කළා.

මොවුන් දෙදෙනා විසින් ඉනිමේ සිව් වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 54ක සබඳතාවක් පැවැත්වූ නමුත් නැවත ක්‍රියාත්මක වූ සිම්බාබ්වේ පන්දු යවන්නන් විසින් මෙම දෙදෙනා ව ද ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට සමත් වුනා.

නමුත් ඉනිමේ හය වැනි කඩුල්ල වෙනුවෙන් දිනුර කළුපහන සහ ශරුජන් ශන්මුගනාදන් විසින් එතෙක් වේලා ඇල්මැරෙමින් තිබූ ශ්‍රී ලංකා ඉනිමට වේගවත් ලකුණු 80ක සබඳතාවක් එක් කිරීමට සමත් වූ අතර, මෙම සබඳතාව නිසා ශ්‍රී ලංකාව අවසානයේ ලකුණු 200 සීමාව තරණය කිරීමට ද සමත් වුනා.

මේ වෙනුවෙන් දිනුරගේ පිත්තෙන් ආක්‍රමණශීලී ලකුණු 60ක් එක් වූ අතර, ඔහු ඒ වෙනුවෙන් වැය කලේ පන්දු 55ක් පමණයි. එමෙන්ම ඔහු විසින් සිය ලකුණු 60 වෙනුවෙන් හතරේ පහර 6ක් සහ හයේ පහර 2ක් ද එක් කර ගත්තා. මේ අතර ශ්‍රී ලංකා ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳී සිටි ශරුජන් විසින් පන්දු 40කින් ලකුණු 41ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී සිම්බාබ්වේ වෙනුවෙන් සාර්ථක වූ Kohl Eksteen ශ්‍රී ලංකා ඉනිමේ කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකා විසින් ලබා දුන් ඉලක්කය හඹා යාමට පිටියට පිවිසි සිම්බාබ්වේ පිතිකරුවන්ට ද මෙම තණතීරුවේ පහසුවෙන් ලකුණු හඹා යාමට හැකියාවක් ලැබෙන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ.

සිම්බාබ්වේ ඉනිමේ 14 වැනි පන්දුවාරය වන විටත් ඔවුන් රැස් කර ගැනීමට සමත් වී සිටියේ ලකුණු 30ක් පමණක් වූ අතර, ඒ වන විට සිම්බාබ්වේ ඉනිමේ කඩුලු 3ක් දවා ගැනීමට ශ්‍රී ලංකා යෞවනයින් විසින් සමත් වී තිබුණා.

නමුත් මේ මොහොතේ තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුනා. වර්ෂාව නිසා තරගය තරමක් වෙලා නතර කර තැබීමට සිදු වූ අතර, පසුව නැවත තරගය ආරම්භ කෙරුණේ සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 22ක් තුළ ලකුණු 129ක් ලබා ගැනීමේ අභියෝගයක් යොමු කරමිනුයි.

නමුත් සිම්බාබ්වේ පිතිකරුවන් එතෙක් පවත්වා ගෙන ආ මන්දගාමී පිතිකරණ රටාව නිසා ඔවුන්ට අදාළ ඉලක්කය හඹා යාමට නම් ඉක්මන් ලකුණු වෙත යාමට සිදු වුනා. මෙහි අවසන් ප්‍රතිඵල වුනේ සිම්බාබ්වේ ඉනිමේ ඉතිරි ව තිබූ කඩුලු 7ම තවත් ලකුණු 59ක් තුළ දැවී යාමයි.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ මල්ෂ තරුපති කඩුලු 4ක් බිඳ හෙළද්දී, විශ්ව ලහිරු සහ රුවිශාන් පෙරේරා අතරේ කඩුලු 2 බැඟින් බෙදී ගියා.

  • ශ්‍රී ලංකාව– 204/10 (48.3) දිනුර කළුපහන 60, ශරුජන් ශන්මුගනාදන් 41, Kohl Eksteen 3/40, Matthew Schonken 2/36
  • සිම්බාබ්වේ– 89/10 (21.1) Matthew Schonken 27, මල්ෂ තරුපති 4/17, රුවිශාන් පෙරේරා 2/2, විශ්ව ලහිරු 2/12

මේ අනුව වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගී වූ පළමු තරගයෙන් සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව  Duckworth-Lewis න්‍යාය අනුව ලකුණු 39ක ජයග්‍රහණයක් හිමි කර ගත් අතර, තරගයේ වීරයා සම්මානය පිත්තෙන් වටිනා අර්ධ ශතකයක් සහ පන්දු යැවීමෙන් එක් කඩුල්ලක් බිඳ හෙළූ දිනුර කළුපහන හට හිමි වුනා.

මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකාව තමන් තරග වදින C කාණ්ඩයේ පළමු ස්ථානයට පත් වූ අතර ඔවුන්ගේ දළ ලකුණු වේගය 1.773ක් වැනි ඉහළ අගයක රැඳී තිබෙනවා.

තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වීමට නියමිත මීළඟ තරගය එළඹෙන 24 වැනි දා නැමීබියාව සමඟ පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් ලෝක කුසලානයේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<