දිනුරගේ දස්කම් නිසි වටිනාකමක් නොලැබම ඉවතට

ICC Men's U19 Cricket World Cup 2024

231
ICC Men's U19 Cricket World Cup 2024

වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ සුපිරි හය වටයේ සිය පළමු තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හමුවේ පරාජය වීමට ශ්‍රී ලංකා යෞවනයින්ට අද (30) සිදු වුනා.

තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු ශක්තිමත් කර ගැනීමට මෙම තරගය ජයග්‍රහණය කිරීම විශාල පිටිවහලක් වීමට ඉඩ තිබූ නමුත් කොදෙව්වන් විසින් තියුණු තරගයකින් පසු ශ්‍රී ලංකාව අබිබවා යෑමට සමත් වුනා.

තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන සතු වූ අතර, ඔහු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා.

නමුත් අද දිනයේ ද ශ්‍රී ලංකා යෞවනයින්ට සිය ඉනිම වෙනුවෙන් හොඳ ආරම්භයක් ලබා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා ඉනිමේ මුල් කඩුලු 3ම ලකුණු 45ක් තුළ දවා ගැනීමට කොදෙව් පන්දු යවන්නන් විසින් සමත් වූ නමුත් නැවතත් ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවුම්කරු බවට පත් වීමට දිනුර කළුපහන විසින් සමත් වුනා. මෙවර ලෝක කුසලානයේ ශ්‍රී ලංකාවේ සාර්ථක ම පිතිකරු ලෙස දිනුර* සිය තෙවන අර්ධ ශතකය ද වාර්තා කර ගැනීමට සමත් වූ අතර, ඔහු පන්දු 83කින් ලකුණු 53ක් ලබා ගැනීමට සමත් වූ අතර, සුපුන් වඩුගේ ද ලකුණු 31කින් ශ්‍රී ලංකා ඉනිමට සිය දායකත්වය ලබා දුන්නා.

*. දිනුර මේ වන විට මෙතෙක් තරගාවලියේ තරග 4ක දී ලකුණු 177ක් රැස් කර ගැනීමට සමත් වී ඇත්තේ 44.25ක පිතිකරණ සාමාන්‍යයක් ද සමඟයි.

කෙසේ වෙතත් මෙම පිතිකරු යුගලයට මග හැරී ගිය ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය ඉහළ දැමීමේ වගකීම අංක 08 පිතිකරු ලෙස පිටියට පිවිසි මල්ෂ තරුපති විසින් ඉටු කළේ පන්දු 38කින් ලකුණු 42ක් ලබා ගනිමිනුයි.

මල්ෂගේ ඉනිමත් සමඟින් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 50 තුළ සියල්ලන් ම දැවී ලකුණු 231ක් සිය ලකුණු පුවරුවට එක් කිරීමට සමත් වුනා.

මෙහි දී බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Raneico Smith විසින් කඩුලු 4ක් දවා ගැනීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ඉලක්කය හඹා යාම සඳහා පිටියට පිවිසුණු කොදෙව් පිතිකරුවන් විසින් ඉනිමට ශක්තිමත් ආරම්භයක් ලබා දීමට සමත් වූ අතර ඔවුන් පන්දුවාර 28ක් තුළ ලකුණු 150 සීමාවට ළඟා වීමට සමත් වුනේ තරගයේ ජයග්‍රහණය ඉතා පහසුවෙන් ම තමන් සතු කර ගත හැකි බව ඉඟි කරමිනුයි. ඒ වන විටත් කොදෙව් ඉනිමේ දැවී ගොස් තිබුණේ කඩුලු 4ක් පමණයි.

නමුත් ශ්‍රී ලංකා නායක සිනෙත් සහ විශ්ව ලහිරු යුගලයේ දඟපන්දුව හමුවේ කොදෙව් ඉනිමේ ලකුණු ලබා ගැනීමේ වේගය තරමක් අඩාල වීමත් සමඟින් තරගය නැවතත් දෙපසට ම දෝලනය වීමට පටන් ගත්තා. ඉනිමේ 46 වැනි පන්දුවාරය ආරම්භ වන විට කොදෙව්වන් විසින් කඩුලු 7ක් දැවී ලබා සිටියේ ලකුණු 206ක් පමණයි. නමුත් මේ මොහොතේ කඩුල්ලේ එක් වූ Nathan Sealy සහ Tarrique Edward දෙදෙනා විසින් නොදැවී කඩුල්ලේ රැඳී සිටිමින් කොදෙව්වන් ජයග්‍රහණය කරා රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ලහිරු, දිනුර කළුපහන සහ මල්ෂ තරුපති කොදෙව් ඉනිමේ කඩුලු 2 බැඟින් බිඳ හෙළීමට සමත් වුනා.

කොදෙව්වන් වෙනුවෙන් ජයග්‍රහණය ස්ථිර කිරීමේ ඉනිමක් දියත් කරමින් ලකුණු 61ක් ලබා ගත් Steve Wedderburn තරගයේ වීරයා සම්මානය දිනා ගත්තා.

  • ශ්‍රී ලංකාව– 231/10 (50) දිනුර කළුපහන 53, මල්ෂ තරුපති 42, Raneico Smith 4/47, Nathan Edward 2/47
  • බටහිර ඉන්දීය කොදෙව්– 232/7 (49.3) Steve Wedderburn 61, Jordan Johnson 39, දිනුර කළුපහන 2/39, විශ්ව ලහිරු 2/32

ශ්‍රී ලංකාව ලද මෙම පරාජයත් සමඟ ඔවුන් සුපිරි 6 තරග වටයේ 2 කාණ්ඩයේ ලකුණු සටහනේ තෙවන ස්ථානය දක්වා පසු බැස තිබෙනවා. තරගාවලියේ ශ්‍රී ලංකාව මුහුණ දීමට නියමිත මීළඟ තරගය එළඹෙන පෙබරවාරි මස 02 දා සත්කාරක දකුණු අප්‍රිකාව සමඟින් පැවැත්වීමට නියමිත අතර, තරගාවලියේ අවසන් පූර්ව වටය පිළිබඳ යම් බලාපොරොත්තුවක් තබා ගැනීමට නම් ඔවුන් එම තරගය අනිවාර්යයෙන් ම ජයග්‍රහණය කළ යුතුයි.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<