උහන ක්‍රීඩිකාවන්ගේ දෙවැනි ශූරතාවය සහ ඉඹුලාන ක්‍රීඩකයින් රාජකීයයින් පරාජය කළ ශූරතාවය

326

DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ අවසාන මහා තරග පැවැත්වෙන දෙවන හා අවසන් දිනය වන අද (4) තෙවන තරගය ලෙස වයස අවුරුදු 13න් පහළ බාලක අවසන් මහා තරගය පැවැත්වුණු අතර තියුණු සටනකට පසු රුවන්වැල්ල රාජකීය විද්‍යාලය පරාජය කරමින් ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලය වයස අවුරුදු 13න් පහළ කාණ්ඩයේ ශූරයින් බවට පත්විය.

උහන තිස්සපුර, හලාවත රදගුරු 11න් පහළ ශූරතා දිනති

ගමේ ක්‍රීඩා තරු ජාතික තලයට ගෙන එන්නට ඉමහත් සේවයක් ඉටු කරන DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ 2018 වර්ෂය සඳහා වන අවසන් මහා තරග අද (3) මහරගම තරුණසේවා සභා වොලිබෝල්…

11න් පහළ හා 13න් පහළ කාණ්ඩ මෙම තරගාවලියට එක්වන්නේ පළමු වතාවට වන අතර පොඩ්ඩන්ගේ පහසුව තකා සැහැල්ලු නීතිරීති අනුව තරග ක්‍රියාත්මක විය.

ශ්‍රී සේන ක්‍රීඩකයින් විශිෂ්ට ප්‍රහාරයකින් ලකුණු පුවරුව ක්‍රියාත්මක කළ අතර රාජකීය ක්‍රීඩකයින් ද ක්‍රමයෙන් තරගයට අවතීර්ණ වූයේ ලකුණු තත්වය සම මට්ටමට ගෙන එමිනි.

ශ්‍රී සේන ක්‍රීඩකයින් කෙමෙන් කෙමෙන් ලකුණෙන් ලකුණ රැස් කරමින් තරගයේ පෙරමුණ ගත් අතර කාලයේ ඇවෑමෙන් සේන ක්‍රීඩකයින් ලකුණු දහයක පරතරයක් ගොඩ නගා ගත්තේ රාජකීය ක්‍රීඩකයින් අමාරුවේ දමමිනි. (17-07)

සුපිරි රිද්මයකට අවතීර්ණ වූ සේන ක්‍රීඩකයින් විශිෂ්ට ලෙස අවසන් ලකුණු කිහිපය ඩැහැ ගත්තේ රාජකීය ක්‍රීඩකයින්ට එක ලකුණක් පමණක් පිරිනමමිනි.

පළමු වටය: රුවන්වැල්ල රාජකීය විද්‍යාලය 08-21 ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලය  

වට තුනකින් සමන්විත තරගයේ දෙවන වටයේ ජය රාජකීය ක්‍රීඩකයින්ට අත්‍යාවශ්‍ය වූයේ තරගයේ තවදුරටත් රැඳී සිටීමටය.

එබැවින් දෙවන වටයේ දී පෙර වටයේ දී මෙන් නොවී සේන ක්‍රීඩකයින් හා කරට කර සටනකට පිවිසෙන්නට රාජකීයයෝ සමත් වූ නමුත් කෙමෙන් කෙමෙන් සේන ක්‍රීඩකයෝ නැවත වතාවක් තරගයේ පෙරමුණ ගත්තේ රාජකීය පොඩ්ඩන්ට දැවැන්ත පීඩනයක් එල්ල කරමිනි.

රාජකීය ක්‍රීඩකයින්ගේ ප්‍රහාර එල්ල කිරීමේ දුර්වලතා හමුවේ ලකුණු පරතරය ලකුණු හයක් දක්වා (19-13) ඉදිරියට ගෙන එන්නට සේන ක්‍රීඩකයින් සමත් වූ අතර ඉතිරි ලකුණු තුන ද ඉක්මනින්ම ලබා ගත් ඔවුන් තරගයේ ජය හිමිකර ගත්තේ 13න් පහළ බාලක ශූරයින් බවට පත්වෙමිනි.

දෙවන වටය: රුවන්වැල්ල රාජකීය විද්‍යාලය 16-21 ඉඹුලාන ශ්‍රී සේන මහා විද්‍යාලය  

උහන තිස්සපුර බාලිකාවෝ දෙවන ශූරතාවයත් දිනයි

වයස අවුරුදු 13න් පහළ බාලිකා අවසන් මහා තරගය ඊයේ (03) පැවති අතර සඳහා ත්‍රිකුණාමලය ජාතික පාසල හා අම්පාර උහන තිස්සපුර විද්‍යාලය තරග වැදුණු අතර වට 2-1ක් ලෙස තරගාවලියේ සිය දෙවන ශූරතාවත් දිනා ගැනීමට අම්පාර උහන තිස්සපුර විද්‍යාලය සමත් විය.

ඒ අනුව එම වයස් කාණ්ඩයේ තෙවැනි ස්ථාන දිනා ගැනීමට ආනමඩුව මහා උස්වැව ශ්‍රී රත්නපාල මාධ්‍ය මහා විද්‍යාලය සමත් විය.

වයස අවුරුදු 13න් පහල බාලිකා වයස් කාණ්ඩයේ දක්ෂතම පන්දු ඔසවන්නිය ලෙස සමරා නිශාදිත්, දක්ෂතම ප්‍රහාරක ක්‍රීඩිකාව ලෙස තරුෂිකා ධනන්ජි හා දක්ෂතම ක්‍රීඩිකාව ලෙස ලෝචනි ලක්ශ්මිකා ද සම්මාන දිනා ගන්නා ලදි. සම්මාන ලාභී ක්‍රීඩිකාවන් තිදෙනාම අම්පාර උහන තිස්සපුර විද්‍යාලය නියෝජනය කළ ක්‍රීඩිකාවන් වීම විශේෂත්වයකි.   

අම්පාර උහන තිස්සපුර විද්‍යාලය අද දිනයේ සහභාගී වූ දෙවන අවසන් මහා තරගය මෙය වූ අතර 11න් පහළ බාලිකා අවසන් මහා තරගයෙන් ද ජය ගැනීමට ඔවුන් සමත් විය.

පළමු වටය ආරම්භයේ ප්‍රබල ක්‍රීඩා විලාසයක් පෙන්නුම් කරමින් අම්පාර උහන ක්‍රීඩිකාවෝ තරගයේ පෙරමුණ ගත් අතර ලකුණු 06-02ක් ලෙස තිබිය දී දී විදුලිය ඇණහිටීම නිසා තරගය මද වෙලාවකට අත්හිටුවන්නට විනිසුරුවරුන්ට සිදු විය.

නැවත තරගය ආරම්භ කිරීමෙන් අනතුරුව කණ්ඩායම් දෙකම කරට කර තරගයක නිරත වූ නමුත් ඉතා සීරුවෙන් හා පරීක්ෂාකාරීව ක්‍රීඩා කරමින් ලකුණෙන් ලකුණ ඉදිරියට ගිය තිස්සපුර ක්‍රීඩිකාවෝ ලකුණු 21-10ක් ලෙස පළමු වටය පහසුවෙන් ජය ගැනීමට සමත් විය.

ත්‍රිකුණාමලය ජාතික පාසල 10-21 අම්පාර උහන තිස්සපුර විද්‍යාලය

දෙවන වටයේ ද උහන තිස්සපුර ක්‍රීඩිකාවෝ වටය ආරම්භයේම තරගයේ පෙරමුණ ගත් අතර දිගින් දිගටම පන්දුව ගොඩ ගැනීමේ දුර්වලතා පෙන්නුම් කළ ත්‍රිකුණාමල ක්‍රීඩිකාවන්ට උහන ක්‍රීඩිකාවන්ගේ වේගය හා ස්ථානගත වීම් හමුවේ ලකුණු රැස් කිරීම එතරම් පහසු වූයේ නැත.

ඉතා සංවිධානාත්මකව හා උපක්‍රමශීලී ලෙස ක්‍රීඩා කළ උහන ක්‍රීඩිකාවෝ ලකුණු 21-12ක් ලෙස දෙවන වටය ද ජයගෙන වයස අවුරුදු 13න් පහළ බාලිකා ශූරතාවය දිනා ගැනීමට සමත් විය.

2018 DSI සුපර් ස්පෝර්ට්ස් පාසල් වොලිබෝල් ශූරතාවලියේ බාලිකා අවසන් මහා තරග තුනක් සඳහා උහන තිස්සපුර විද්‍යාලය සුදුසුකම් ලබා ඇති අතර මීට පෙර පැවති 13න් පහළ අවසන් මහා තරගය ද ජය ගනිමින් මේ වන විට බාලිකා වයස් කාණ්ඩ ශූරතාවයන් දෙකක් දිනා ගැනීමට ඔවුන් සමත් විය.

ත්‍රිකුණාමලය ජාතික පාසල 12-21 අම්පාර උහන තිස්සපුර විද්‍යාලය

තරගාවලියේ තවත් අවසන් මහා තරග අද දිනයේ පැවැත්වීම නියමිත අතර ඒ තරගවල තොරතුරුත් ලද විගස ඔබ වෙත ගෙන එන්නට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් වොලිබෝල් පුවත් සඳහා පිවිසෙන්න – වොලිබෝල් පිටුවට <<