ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ පළමු පරාජය අත්විඳියි

ICC Men's U19 Cricket World Cup 2024

242
ICC Men's U19 Cricket World Cup 2024

වයස අවුරුදු 19න් පහළ එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ තම පළමු පරාජය අත් විඳීමට ශ්‍රී ලංකා යෞවනයින් හට අද (28) දිනයේ දී සිදු වුනා.

තරගාවලියේ C කාණ්ඩය නියෝජනය කරමින් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව විසින් තරග වැදුණු මෙම තරගය මගින් මෙම කාණ්ඩයේ පළමු ස්ථානය තෝරා ගැනීමට නියමිත ව තිබූ අතර, තරගය ආරම්භ වීමටත් පෙරම මෙම කණ්ඩායම් ද්විත්වය ම සුපිරි 6 වටය සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් වී සිටියා.

එවන් වටපිටාවක් තුළ ආරම්භ වූ තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකා නායක සිනෙත් ජයවර්ධන සතු වූ අතර ඔහු විසින් පළමුව පන්දුවට පහර දීම තෝරා ගත්තා.

කෙසේ වෙතත් මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා පිතිකරුවන් සාර්ථක ආරම්භයක් ලබා ගැනීමට සමත් වුනේ නැහැ. එමෙන්ම එකඳු පිතිකරු යුගලයකට හෝ දීර්ඝ සබඳතා පවත්වා ගැනීමට ද හැකියාවක් ලැබුණේ නැහැ.

කෙසේ වෙතත් මෙවර තරගාවලියේ ශ්‍රී ලංකාව වෙනුවෙන් දිගින් දිගටම සාර්ථක වූ දිනුර කළුපහන විසින් අගනා පිතිකරණයක නිරත වෙමින් ලකුණු 64ක් ලබා ගැනීමට සමත් වූ අතර, මේ ඉනිම වෙනුවෙන් ඔහු හයේ පහර 3ක් සහ හතරේ පහර 6ක් එක් කර ගත්තා. ඊට අමතරව රවිශාන් ද සිල්වාගේ පිත්තෙන් ලකුණු 30ක් වාර්තා වුනා.

කෙසේ වෙතත් නියමිත පන්දුවාර 50 නිමා වීමට එක් පන්දුවක් ඉතිරිව තිබිය දී ශ්‍රී ලංකා ඉනිම නිමා කිරීමට ඕස්ට්‍රේලියානු පන්දු යවන්නන් විසින් සමත් වූ අතර ඒ වන විට ශ්‍රී ලංකා ලකුණු පුවරුවේ සටහන්ව තිබුණේ ලකුණු 208ක් පමණයි. මෙහි දී ඕස්ට්‍රේලියාව වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Callum Vidler විසින් කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ඉලක්කය ඉතා පහසුවෙන් හඹා යා හැකි බව ඉඟි කළ ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු යුගලය විසින් ඉනිමේ පළමු පන්දුවාර 13 නිමා වීමටත් පෙර ලකුණු 70 සීමාව ඉක්මවා යාමට සමත් වුනා.

කෙසේ වෙතත් මල්ෂ තරුපති සහ විශ්ව ලහිරු පන්දු යැවීමට පිවිසීමත් සමඟින් ඕස්ට්‍රේලියානු ඉනිමේ කඩුලු 3ක් ඉක්මනින් බිඳ වැටුණු අතර, ඔවුන්ගේ ලකුණු ලබා ගැනීමේ වේගය ද අඩාල වුනා. නමුත් ඉනිමේ පස් වැනි කඩුල්ල වෙනුවෙන් පිටියේ එක් වූ Ryan Hicks සහ Tom Campbell විසින් ලකුණු 82ක නොබිඳුණු සබඳතාවක් ගොඩ නංවමින් තරගයේ ජයග්‍රහණය ඕස්ට්‍රේලියාව වෙත ලඟා කරවීමට සමත් වුනා.

ඒ අනුව තරගාවලියේ මූලික වටයේ C කාණ්ඩයේ ප්‍රථම ස්ථානය ඕස්ට්‍රේලියාවට හිමි වූ අතර, ශ්‍රී ලංකාවට එහි දෙවන ස්ථානය හිමි වුනා.

  • ශ්‍රී ලංකාව– 208 (49.5) දිනුර කළුපහන 64, රවිශාන් ද සිල්වා 30, Callum Vidler 3/28, 2/30
  • ඕස්ට්‍රේලියාව– 211/4 (48.5) Ryan Hicks 77, Tom Campbell 33, විශ්ව ලහිරු 2/24, සිනෙත් ජයවර්ධන 1/32

තරගයේ වීරයා සම්මානය Ryan Hicks හට හිමි වුනා.

එමෙන්ම ලකුණු සටහනේ දෙවැනි ස්ථානය හිමි කර ගැනීමත් සමඟින් ම ශ්‍රී ලංකාව විසින් සුපිරි හය වටයේ දී තරග වැදීමට නියමිත  කණ්ඩායම් දෙක කවරේ ද යන්නත් තහවුරු වුනා.

ඒ අනුව එළඹෙන ජනවාරි 30 වැනි දා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ සහ පෙබරවාරි මස 02 දා දකුණු අප්‍රිකාව සමඟින් ශ්‍රී ලංකාව තරග වැදීමට නියමිතයි.

එම තරගවල දී ලැබෙන ප්‍රතිඵල මෙන්ම, තරගාවලියේ මූලික වටයෙන් තමන් සමඟ සුපිරි හය වටයට පිවිසුණු ඕස්ට්‍රේලියාව සහ සිම්බාබ්වේ සමඟ තරග ද්විත්වයයේ දී ශ්‍රී ලංකාව ලද ප්‍රතිඵල ද අනුව තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමට ශ්‍රී ලංකාවට ඇති අවස්ථා තීරණය වනු ඇති.

තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<