පුලිඳුගේ දැවැන්ත ඉනිම ශ්‍රී ලංකාව තරගාවලි ජයක් කරා රැගෙන යයි!

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

491

ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් අතර පැවැත්වුණු තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකාව අද (01) සමත් වුනා.

තරගාවලියේ පළමු තරගය ශ්‍රී ලංකාව විසින් ජයග්‍රහණය කළ අතර, දෙවැනි තරගය ඉතා පහසුවෙන් ජය ගැනීමට කොදෙව්වන් සමත් වුනා. කෙසේ වෙතත් අද තරගයේ දී පෙර තරගයේ සිදු වූ වැරදි නිවැරදි කරගනිමින් ක්‍රීඩා කිරීමට ශ්‍රී ලංකා යෞවනයන් සමත් වුනා. 

රංගිරි දඹුල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දිවා තරගයක් ලෙස අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා නායකයා පළමුව පන්දුවට පහර දීමට තීරණය කළා. 

ශ්‍රී ලංකා ඉනිමේ ආරම්භක පිතිකරුවන් ලෙස පුලිඳු පෙරේරා සහ විශේන් හැලඹගේ පිටියට අවතීර්ණ වූ අතර ඔවුන් දෙදෙනා විසින් ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 44ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා. විශේන්ගේ ඉනිම ලකුණු 19කට සීමා වූ නමුත් පුලිඳු නොනවත්වා ම සිය වගකීම ඉටු කරමින් කඩුල්ලේ රැඳී සිටියා. 

පුලිඳු එක් අන්තයකින් කඩුල්ලේ රැඳී සිටිය දී අනෙක් අන්තයෙන් පිටියට පිවිසි කිසිදු ශ්‍රී ලාංකික පිතිකරුවෙකු හෝ ලකුණු 30 සීමාව ඉක්මවා යාමට සමත් වුනේ නැහැ. නමුත් ඔවුන් සියල්ලෝ ම සිය වගකීම මැනවින් අවබෝධ කර ගනිමින් පුලිඳුගේ ඉනිම ගොඩ නැංවීමට සහය ලබා දුන්නා. 

ශ්‍රී ලංකා ඉනිමේ ඉහළම ලකුණු සබඳතාව ඉනිමේ 8 වැනි කඩුල්ල වෙනුවෙන් පුලිඳු සහ විහාස් තෙව්මික අතර ඇති වීම විශේෂත්වයක්. ඔවුන් දෙදෙනා විසින් ලකුණු 80ක සබඳතාවක් පිහිටුවීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු සංඛ්‍යාව 279ක් ලෙස සටහන් වන විට විශිෂ්ට ඉනිමක් දියත් කිරීමට සමත් වූ පුලිඳු පෙරේරාගේ කඩුල්ල දවා ගැනීමට Nathan Edward විසින් සමත් වුනා. 

පන්දු 140ක් තුළ ලකුණු 155ක් ලබා ගැනීමට සමත් වූ පුලිඳුගේ අගනා ඉනිමට හතරේ පහර 17ක් සහ හයේ පහර 4ක් අන්තර්ගත වී තිබුණා. 

පුලිඳුගේ දැවී යාමෙන් අනතුරුව විහාස් සමඟ එක් වූ විශ්ව ලහිරු විසින් ඉනිමට විශිෂ්ට අවසානයක් ලබා දීමට සමත් වූ අතර, ඒ අනුව නියමිත පන්දුවාර 50 නිමා වන විට කඩුලු 8ක් දැවී ලකුණු 304ක් සිය ලකුණු පුවරුවේ සටහන් කර ගැනීමට ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමත් වුනා. 

කොදෙව්වන් වෙනුවෙන් පන්දු යැවීමෙන් සාර්ථක වූ Nathan Edward විසින් කඩුලු 3ක් බිඳ හෙළද්දී Deshawn James සහ Tarrique Edward අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

ශ්‍රී ලංකාව විසින් ලබා දුන් දැවැන්ත ඉලක්කය හඹා යාමට පිටියට පිවිසුණු බටහිර ඉන්දීය කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල ලකුණු 20 දී බිඳ හෙළීමට විශ්ව ලහිරු විසින් සමත් වුනත්, ඉන්පසුව පිටියේ එක් වූ Adrian Weir සහ Joshua Dorne විසින් ඉනිමේ දෙවැනි කඩුල්ල වෙනුවෙන් වේගවත් ලකුණු 72ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

කෙසේ වෙතත් කොදෙව් ඉනිමේ 12 වැනි පන්දුවාරය නිමා වන විට පන්දු 41කින් ලකුණු 52ක් ලබා සිටි Weirගේ ඉනිම නිමා කිරීමට ගරුක සංකෙත් සමත් වුනා.  

Weirගේ දැවී යාමෙන් පසුව කොදෙව් ඉනිම ක්‍රමයෙන් බිඳ වැටීමට පටන් ගත් අතර ඔවුන්ගේ හයවැනි කඩුල්ල ලකුණු 175ක් වන විට දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හැකියාව ලැබුණා. 

කෙසේ වෙතත් ඉනිමේ හයවැනි පිතිකරු ලෙස පිටියට පිවිසුණු Jewel Andrew විසින් බිඳ වැටෙමින් තිබූ කොදෙව් ඉනිමට නැවතත් ජීවය ලබා දීමට සමත් වෙමින් අංක 7 පිතිකරු ලෙස පිටියට පිවිසි Nathan Sealy සමඟ ඉනිමේ 7 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 45ක් එක් කිරීමට සමත් වූ අතර විහස් තෙව්මික විසින් Sealyගේ ඉනිමේ නිමාව සනිටුහන් කළා. 

කෙසේ වෙතත් නොදැවී කඩුල්ලේ රැඳී සිටි Andrew විසින් සිය සටන අත් නොහරිමින් දිගින් දිගටම ශ්‍රී ලංකා පන්දු යවන්නන් හට පීඩනය එල්ල කරමින් පිතිකරණයේ යෙදුණා. 

කොදෙව්වන්ට කිසිදු මොහොතක සිය ඉලක්කය සපුරා ගැනීමට අවශ්‍ය පන්දු ප්‍රමාණයේ ගැටලුවක් නොවූ අතර ඔවුන්ගේ එකම ගැටලුව වූයේ කඩුලු දැවී යාමයි. 

එම ගැටලුවට විසඳුමක් සොයා ගැනීමට කොදෙව් යෞවනයන්ට නොහැකි වූ අතර ඉනිමේ අවසන් කඩුල්ල ලෙස විශිෂ්ට ඉනිමක් දියත් කළ Jewel Andrew ලකුණු 80කට දැවී ගියා. ඔහු සිය ඉනිමට හතරේ පහර 8ක් සහ හයේ පහර 4ක් එක් කර ගැනීමට සමත් වූ අතර, මෙම ඉනිම වෙනුවෙන් ඔහුට වැය වුනේ පන්දු 64ක් පමණයි. 

මේ අනුව බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම විසින් පන්දුවාර 40යි පන්දු තුනක් තුළ සියල්ලන් දැවී ලබා ගැනීමට සමත් වුනේ ලකුණු 253ක් පමණයි. ඒ මොහොත වන විට කොදෙවන්ට ජයග්‍රහණය සඳහා ලබා ගැනීමට ඉතිරි වී තිබුණේ ලකුණු 52ක් පමණක් වන අතර ඔවුන්ට ඒ සඳහා පන්දු 57ක් ඉතිරි වී තිබුණා. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකා යෞවනයන්ගේ විශිෂ්ට පන්දු යැවීම හමුවේ කොදෙව් බලාපොරොත්තු සම්පූර්ණයෙන්ම සුනුවිසුනු වී ගිය අතර, මෙහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් විශ්ව ලහිරු කඩුලු 3ක් බිඳ හෙළද්දී, නායක සිනෙත් ජයවර්ධන, විහාස් තෙව්මික සහ ගරුක සංකේත් අතරේ කඩුලු 2 බැගින් බෙදී ගියා. 

  • ශ්‍රී ලංකාව: 304/8 (50) පුලිඳු පෙරේරා 155, විහාස් තෙව්මික 28, Nathan Edward 3/66, Tarrique Edward 2/41 
  • බටහිර ඉන්දීය කොදෙව්: 253/10 (40.3) Jewel Andrew 80, Adrian Weir 52, විශ්ව ලහිරු 3/48, විහාස් තෙව්මික 2/29 

අද දිනයේ කොදෙව්වන්ට එරෙහිව ලද ලකුණු 51ක ජයග්‍රහණයත් සමඟින් තරග තුනකින් සමන්විත මෙම තරගාවලිය 2-1ක් ලෙස ජයග්‍රහණය කිරීමට වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා කණ්ඩායම විසින් සමත් වුනා. 

දීර්ඝ තරග සංචාරයක් සඳහා මෙරටට පැමිණි කොදෙව් යෞවනයන් විසින් එළඹෙන 05 වැනිදා තරගාවලියේ පළමු ටෙස්ට් තරගය වෙනුවෙන් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායම සමඟ තරග වැදීමට නියමිතයි. 

බටහිර ඉන්දීය කොදෙව් 19න් පහළ කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<