සිද්ධාර්ථ ක්‍රීඩකයෝ මංගල ජයග්‍රහණය වාර්තා කරයි

04th Battle of the Sealine

2
04th Battle of the Sealine

තංගල්ල පිරිමි ජාතික පාසල සහ වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය අතර සිව් වැනි වරටත් පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරගයෙන් ලකුණු 7ක ජයග්‍රහණයක් ලබා ගැනීමට වැලිගම සිද්ධාර්ථ විද්‍යාලය සමත් වුණා.

දෙවිදුහල් අතර පැවැති වාර්ෂික මහා ක්‍රිකට් තරග ඉතිහාසයේ ඔවුන් ලැබූ මංගල ජයග්‍රහණය මෙය වන අතර මීට පෙර පැවැති තරග ත්‍රිත්වයේ ම ජයග්‍රහණය හිමි කරගෙන තිබුණේ තංගල්ල පිරිමි ජාතික පාසලයි.

තංගල්ල පිරිමි ජාතික පාසල් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

ජමිත් තිසර (නායක), තරිඳු ඔදිත්‍ය,  නදුන් තීක්ෂණ (කඩුලු රකින්නා), උදිත්‍ය ගාර්දියවසම්, ජසිත් තිමිර, චමෝද් සත්සර, සසිඳු හශාන්, සොනාල් මෙත්විරු, මිනුක ලක්විඳු, අදීශ් මංචුක සහ සවීශ් තීක්ෂණ.

 

වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම

 

හෙම්සර විශ්වනාථ (නායක), විහඟ සංදීප, පුබුදු ලක්ෂාන්, රශිත් සිනෙත්ක, හෙම්සර ඉමන්ජිත්, විතුශ විඟුන්, සතිශ දෙනුවන්, ඔමල්සර අමයුරු (කඩුලු රකින්නා), සිතුශ සිඟුන්, දිනිත් හමාශ සහ දිනරු නතේශ්.

අගුණුකොළපැලැස්ස බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් සිද්ධාර්ථ විද්‍යාලයීය නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව තම කණ්ඩායම සතු කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි ඔවුන් සියලුම දෙනා දැවී ලකුණු 134ක් ලබා ගන්නවා.

එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ පුබුදු ලක්ශාන්. ඔහු පන්දු 43කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 30ක් ලබා ගත්තා.

ඊට අමතර ව රශිත් සිනෙත්ක පන්දු 78කට මුහුණ දෙමින් ලකුණු 21ක් ලබා ගත් අතර ඔහු විතූශ විඟුන් (9) සමඟ එක් වෙමින් 5 වැනි කඩුල්ලට පන්දු 83ක දී ලකුණු 31ක සබඳතාවක් ද එක් කරනවා.

කඩුලු දවා ගැනීමේ දී සසිඳු හෂාන් ලකුණු 11කට කඩුලු 2ක් සහ සවීශ් තීක්ෂණ ලකුණු 22කට කඩුලු 2ක් බැගින් දවා ගනිද්දී, ජසිත් තිමිර, මිනුක ලක්විඳු, උදිත්‍ය ගාර්දියවසම් සහ ජමිත් තිසර කඩුල්ල බැගින් දවා ගන්නවා.

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සත්කාරක තංගල්ල පිරිමි ජාතික පාසල් කණ්ඩායමට ලබා ගැනීමට හැකි වෙන්නේ තවත් පන්දු 50ක් ඉතිරි ව තිබිය දී සියලුම දෙනා දැවී ලකුණු 127ක් පමණයි.

එම ඉනිමේ ආරම්භක කඩුල්ල කිසිඳු ලකුණත් ලබා ගැනීමට ප්‍රථම දැවී ගිය දී 2 වැනි කඩුල්ලට ලකුණු 55ක සබඳතාවක් එක් කිරීමට ජමිත් තිසර සහ නඳුන් තීක්ෂණ සමත් වෙනවා.

එම කඩුල්ලේ සබඳතාව බිඳ වැටෙන්නේ නඳුන් තීක්ෂණ ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 27ක් ලබා සිටියා.

ජමිත් තිසර ඉනිමේ 4 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 74කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 28ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට ද පත් වුණා. ඔවුන්ගේ ඉනිම වරෙක කඩුලු 6ක් දැවී ලකුණු 111ක් ව තිබුණ ද ඉතිරි කඩුලු 4 ලකුණු 16ක් තුළ දවා ගැනීමට සිද්ධාර්ථ විද්‍යාලයීය ක්‍රීඩකයෝ සමත් වෙනවා.

එහි දී දකුණතින් පිට දඟ පන්දු යවන්නන් වූ නායක හෙම්සර විශ්වනාථ සහ රශිත් සිනෙත්ක වැඩි දක්ෂතා දැක්වීම කැපී පෙණුනා. ඔවුන් අතුරින් හේම්සර විශ්වනාථ ලකුණු 36කට කඩුලු 3ක් දවා ගත් අතර එය ඉනිමේ හොඳම පන්දු යැවීම බවට ද පත් වුණා. ඊට අමතර ව රශිත් සිනෙත්ක ලකුණු 38කට කඩුලු 3ක් ද දවා ගත්තා.

ඔවුන් දෙදෙනා ට අමතර ව සතිශ දෙනුවන් සහ හෙම්සර ඉමන්ජිත් කඩුල්ල බැගින් දවා ගත්තා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • සිද්ධාර්ථ විද්‍යාලය – සියලුම දෙනා දැවී 134 (44.2)පුබුදු ලක්ශාන් 30, රශිත් සිනෙත්ක 21, සවීශ් තීක්ෂණ 2/22, සසිඳු හශාන් 2/11
  • තංගල්ල පිරිමි ජාතික පාසල – සියලුම දෙනා දැවී 127 (41.4)ජමිත් තිසර 28, නඳුන් තික්ෂණ 27, රශිත් සිනෙත්ක 3/38, හෙම්සර විශ්වනාථ 3/36

වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයට ලකුණු 7ක ජයක්.

තරගයේ දක්ෂතම පන්දු රකින්නා – රසිත් සිනෙත්ක (සිද්ධාර්ථ විද්‍යාලය)

තරගයේ දක්ෂතම පන්දු යවන්නා – හෙම්සර විශ්වනාථ (සිද්ධාර්ථ විද්‍යාලය)

තරගයේ දක්ෂතම පිතිකරු – ජමිත් තිසර (තංගල්ල පිරිමි ජාතික පාසල)

තරගයේ වීරයා – රසිත් සිනෙත්ක (සිද්ධාර්ථ විද්‍යාලය)

තවත් වාර්ෂික මහා ක්‍රිකට් තරග තොරතුරු සමඟින් දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<