දඹුල්ලේ දී හමුවන කොදෙව් යෞවනයෝ

බටහිර ඉන්දීය කෙ‍ාදෙව් යොවුන් කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරය 2023

1132
West Indies U19 Team Tour of Sri Lanka 2023

යොවුන් එක්දින තරග ත්‍රිත්වයකට සහ යොවුන් සිව්දින තරග 2කට සහභාගී වීම සඳහා මෙරටට පැමිණි බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ තරග සංචාරය මේ මස 27 වැනිදා සිට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලි ද්විත්වයේ සියලු ම තරග රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට යෝජිතයි.  

තරගාවලියේ කාලසටහන 

  • අගෝස්තු 27 : පළමු යොවුන් එක්දින තරගය  
  • අගෝස්තු 30 : දෙවැනි යොවුන් එක්දින තරගය 
  • සැප්තැම්බර් 01 : තෙවැනි යොවුන් එක්දින තරගය  
  • සැප්තැම්බර් 05 – 08 : පළමු යොවුන් සිව්දින ටෙස්ට් තරගය  
  • සැප්තැම්බර් 12 – 15 : දෙවැනි යොවුන් සිව්දින ටෙස්ට් තරගය 

මෙරට පැමිණි සංචාරක කණ්ඩායමේ එක්දින නායකයා ලෙසින් Stephan Pascal , සිව්දින කණ්ඩායමේ නායකයා ලෙසින් Nathan Sealy නම් කර තිබෙනවා.  

මෙම කණ්ඩායමට පසුගිය වසරේ දී බටහිර ඉන්දීය කොදෙව් රාජ්‍යයේ දී පැවති වයස අවුරුදු 19න් පහළ ලෝක කුසලාන තරගාවලියට එක් වූ වේගපන්දු යවන ක්‍රීඩක Isai Thorne, තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Nathan Edward සහ වමත් පිතිකරු Jordan Johnson ද ඇතුළත්.  

සංචාරයට එක් වෙන බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ 

Stephan Pascal  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන Stephan Pascal මෙම තරගාවලිය හා එක් වෙන්නේ දක්ෂ දකුණත් පිතිකරුවෙක් මෙන් ම දකුණතින් වේගපන්දු යවන්නෙක් ලෙසින් ද දක්ෂතා දක්වමින්.  

ඔහු එරට දී නිමා වූ ආසන්නත ම වයස අවුරුදු 19න් පහළ Rising Stars තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ දී Windward Island කණ්ඩායම නියෝජනය කරමින් තරග 8ක ඉනිම් 11ක දී අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 285ක් ලබා ගනිමින් තම කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා බවට පත් වෙමින් දක්ෂතා දැක්වූවා.  

Nathan Sealy  

දකුණතින් පන්දුවට පහර දෙමින් සහ වමතින් දඟපන්දු යවමින් දක්ෂතා දක්වන Nathan Sealy බටහිර කොදෙව් ක්‍රිකට් ඉතිහාසයට එක් වෙන අංකුර ක්‍රීඩකයෙක් ලෙසින් මේ වෙද්දී නම් කරන ලද ක්‍රීඩකයෙක්.  

Barbados වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ සහ 19න් පහළ කණ්ඩායම්වල නිත්‍ය සාමාජිකයෙක් වූ Nathan Sealy පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් ජාතික කණ්ඩායමක් නියෝජනය 2019 වසරේ දී. ඒ වයස අවුරුදු 15න් පහළ එංගලන්ත සංචාරයකට එක් වෙමින්.  

එමෙන් ම ඔහු පසුගිය දා නිමා වූ Rising Stars වයස අවුරුදු 19න් පහළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනූ Jamaica කණ්ඩායමේ නායකයා ද වූ අතර එම තරගයේ දී ඔහු ලකුණු 64කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දක්වනවා.  

Jewel Andrew  

කඩුලු රකින්නෙක් ලෙසින් ද සහ දකුණත් පිතිකරුවෙක් ලෙසින් ද දක්ෂතා දක්වන Jewel Andrew නිමා වූ 2022 වසරේ දී Grammar පාසල් කණ්ඩායම නියෝජනය කරමින් තරග 5කට සහභාගී වෙමින් ශතක 2ක් සහ අර්ධ ශතක 2ක් සමඟින් ලකුණු 402ක් රැස් කර ගනිමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්.  

Mavendra Dindyal  

දකුණත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වන Mavendra Dindyal මීට පෙර බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 16න් පහළ කණ්ඩායම නියෝජනය කර ඇති ක්‍රීඩකයෙක් වන අතර මේ වෙද්දී Georgetown ක්‍රිකට් සමාජය නියෝජනය කරයි.  

Joshua Dorne 

වයස අවුරුදු 19න් පහළ Rising Stars තුන්දින ලීග් ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාව දිනූ Barbados වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම නියෝජනය කළ Joshua Dorne දකුණත් පිතිකරුවෙක් ලෙසින් දක්ෂතා දක්වනවා.  

Nathan Edward  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වන ක්‍රීඩකයෙක් ලෙසින් නම් කෙරුණු Nathan Edward නිමා වූ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය ද නියෝජනය කළ ක්‍රීඩකයෙක්. වමත් පිතිකරුවෙක් වූ ඔහු එහි තරග 3කට සහභාගී වෙමින් ඉනිම් 2ක දී ලකුණු 52ක් ලබා ගැනීමට සමත් වෙනවා.  

ඊට එක්සත් අරාබි එමීර් රාජ්‍ය කණ්ඩායමට එරෙහිව පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් නොදැවී ලබා ගත් ලකුණු 51ක් ද ඇතුළත්.  

වමතින් වේගපන්දු යවන්නෙක් ලෙසින් ද කටයුතු කරන ඔහු එම තරගාවලිය නිමා කරන්නේ පන්දුවාර 22.4ක දී කඩුලු 4ක් දවා ගනිමිනුයි 

Tarrique Edward  

Saint Lusia ප්‍රාන්තය නියෝජනය කරමින් බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම හා එක් ව සිටින Tarrique Edward තුන් ඉරියව් ක්‍රීඩකයෙක් ලෙසින් ප්‍රචලිතයි. දකුණත් පිතිකරුවෙක් වන ඔහු දකුණතින් පිට දඟපන්දු යවයි.  

Reon Edwards  

තුන් ඉරියව්වෙන් දක්ෂතා දක්වමින් Jamaica කණ්ඩායම නියෝජනය කරන Reon Edwards පසුගිය දා එරට දී නිමා වූ Grace Headley කුසලාන වයස අවුරුදු 19න් පහළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයේ දී නොදැවී ශතකයක් වාර්තා කරමින් සම්මාන ලැබූ ක්‍රීඩකයෙක්.  

නමුත් ඔහු මෙරට සංචාරයට එක් වෙන්නේ වමත් වේගපන්දු යවන්නෙක් ලෙසින් නම් කෙරෙමින්. 

Deshawn James 

දකුණතින් මද වේගපන්දු යවන Deshawn James ද එරට පැවති Rising Stars වයස අවුරුදු 19න් පහළ තුන්දින තරගාවලියේ ජයග්‍රාහී Jamaica කණ්ඩායම වෙනුවෙන් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. අවසන් මහා තරගයේ දී ඔහු ලකුණු 21කට කඩුලු 5ක් දවා ගනිමින් තරගයේ හොඳම පන්දු යැවීම වාර්තා කරනවා.  

Jordan Johnson  

නිමා වූ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී තරග 4කට සහභාගී වෙන Jordan Johnson තරග 4ක ඉනිම් 4ක දී ලකුණු 69ක් ලබා ගැනීමට සමත් වෙනවා.  

එමෙන් ම ඔහු පසුගිය දා එරට දී නිමා වූ Rising Stars වයස අවුරුදු 19න් පහළ තුන්දින ක්‍රිකට් තරගාවලියේ ජයග්‍රාහී Jamaica කණ්ඩායම වෙනුවෙන් පන්දු 235කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 120ක්  ලබා ගැනීමට සමත් වුනා.   

Devonie Joseph  

වමත් පිතිකරුවෙක් සහ කඩුලු රකින්නෙක් ලෙසින් සංචාරක කණ්ඩායමට එක් වූ Devonie Joseph එරට පැවැත්වෙන Rising Stars වයස අවුරුදු 19න් පහළ තුන්දින තරගාවලියේ දී Grenada කණ්ඩායම නියෝජනය කරන ක්‍රීඩකයෙක්.  

Tamarie Redwood  

දකුණතින් පා දඟපන්දු යවන Tamarie Redwood කණ්ඩායමේ වඩාත් විශ්වාසවන්ත දඟපන්දු යවන්නා ලෙසින් හැඳින්වේ. ඔහු නිමා වූ Rising Stars වයස අවුරුදු 19න් පහළ තුන්දින තරගාවලියේ දී Jamaica කණ්ඩායම නියෝජනය කරමින් දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙක්. 

Isai Thorne  

නිමා වූ යොවුන් ලෝක කුසලාන තරගාවලියට ද එක් වූ දකුණතින් වේගපන්දු යවන Isai Thorne කණ්ඩායමේ පරිණත ක්‍රීඩකයන් අතර ඉදිරියෙන් ම සිටින්නෙක්. නිමා වූ ලෝක කුසලාන තරගාවලියේ දී ඔහු පන්දුවාර 23.0ක් යවමින් කඩුලු 4ක් දවා ගන්නවා.  

දකුණු අප්‍රිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමඟින් සංචාර කිහිපයකට ම එක් වී ඇති ඔහු එරට වයස අවුරුදු 19න් පහළ ප්‍රමුඛ පෙළ තුන්දින ක්‍රිකට් තරගාවලිය සමඟින් එක් වෙන්නේ Guyana කණ්ඩායම නියෝජනය කරමින්. 

Steve Wedderburn  

Jamaica කණ්ඩායම නියෝජනය කරන Steve Wedderburn බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එක් වෙන්නේ වමත් පිතිකරුවෙක් ලෙසයි.  

Adrian Weir  

Jamaica කණ්ඩායම නියෝජනය කරන Adrian Weir බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම හා එක් වෙන්නේ දකුණත් පිතිකරුවෙක් ලෙසයි.   

 එළඹෙන වසරේ දී මෙරට දී පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලිය ඉලක්ක කර ගනිමින් කොදෙව් ක්‍රීඩකයෝ මෙම තරගාවලියට එක් වෙන අතර ඒ වෙනුවෙන් නම් කෙරෙණු සංචිතයේ වැඩි ක්‍රීඩකයන්ගෙන් මෙම කණ්ඩායම සමන්විතයි 

කොදෙව් යෞවනයන්ට එරෙහිව තරග වැදීමට යෝජිත ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ යොවුන් සංචිතය:  

සිනෙත් ජයවර්ධන (නායක), මල්ෂ තරුපති (උපනායක), විශ්ව රාජපක්ෂ, දිනුර කළුපහන, විහාස් තෙව්මික, ගරුක සංකේත, විශ්ව ලහිරු, කවීෂ පියුමාල්, පැතුම් මලිත, පුලිඳු පෙරේරා, රවිශාන් නෙත්සර, රුසඳ ගමගේ, රුවිෂාන් පෙරේරා, සාරුජන් ෂන්මුගනාදන්, විශේන් හැලඹගේ, හිරාන් ජයසුන්දර, දිනිරු අබේවික්‍රමසිංහ, ජනිත් ප්‍රනාන්දු, සුපුන් වඩුගේ, තරණ විමලධර්ම. 

තරගාවලියේ උණුසුම් පුවත් ඔබ වෙත රැගෙන ඒමට ThePapare.com සූදානම් රැදී සිටින්න අප සමඟ ම.   

>>තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<