නවසීලන්තයෙන් පැමිණි බෙන් ස්ටෝක්ස්ට එංගලන්තයෙන් රහසින් ආධාර

2898
The Guardian

මීට වසර තුනකට පෙර ඔහුගේ පන්දුවාරයක් හමුවේ පහසුවෙන් දිනා ගැනීමට තිබූ විස්සයි විස්ස ලෝක කුසලානයක් එංගලන්තයට අහිමි විය. නමුත් පසුගිය ජූලි 14 වැනිදා නැවත වතාවක් ඔහු ලෝක කුසලානයක් දිනන මග අතිශය උද්වේගකර අවස්ථාවක ඔහු සිටගෙන සිටියේය. ඒ වසර තුනකට පෙර තමා අතින් සිදු වූ වරද නැවත නොකිරීමේ තිර අදිටන ඇතිවය. 

ලෝක ශූර එංගලන්තය “ඇහින්දාස් ටීම්” එකක් ද?

ගමේ ගොඩේ අය පිට කෙනෙක් කණ්ඩායමකට ඇතුළත් වුනොත්….

1991 වසරේ නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච්’හී උපත ලද බෙන්ජමින් ඇන්ඩෲ ස්ටෝක්ස් හට ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබුණේ ආත්මීය බැඳීමකි. ඔහුගේ පියා නවසීලන්ත රග්බි  කණ්ඩායම නියෝජනය කර ඇති අතර රග්බි පුහුණුකරුවෙකු ලෙස ද නමක් දිනා ගත්තෙකි. 

බෙන් ස්ටෝක්ස්ට වයස අවුරුදු තුනක් වන් ඉතාම කුඩා වයසේ දී ඔහුගේ පියා වූ ජෙරාඩ් ස්ටෝක්ස්ට එංගලන්තයට සංක්‍රමණය වීමට ලැබීම බෙන්ගේ ක්‍රීඩා ජීවිතයේ සුවිශේෂී සංධිස්ථානයක් විය. ජෙරාඩ් ස්ටෝක්ස් එංගලන්තයට පැමිණෙන්නේ එංගලන්තයේ වර්කින්ටවුන් රග්බි ලීග කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර ලැබීමෙනි.

බෙන් ස්ටෝක්ස්ගේ ජීවිතයේ සෙසු ලෝකයා එතරම් නොදන්නා සිදුවීමක් සිදු වන්නේ ඔහුට අවුරුදු දහතුනක් පිරෙද්දීය. වයස දහතුනේ බෙන් ස්ටෝක්ස් නම් දරුවාගේ උපන් තුන් ඉරියව් හැකියාව හඳුනා ගත් එක්තරා අනුග්‍රාහකයෙක් ඔහුට මුදලින් ආධාර කිරීමට ඉදිරිපත් වන්නේය.

The Telegraph

ස්ටෝක්ස්ට අනුග්‍රහය දක්වන්නට ඉදිරිපත් වූයේ එක්තරා ආකාරයක අත්භූත අනුග්‍රාහකයෙකි. ඔහු කිසිම විටක තමාගේ අනන්‍යතාවය හෙළි කරනවාට කැමැත්තක් දැක්වූයේ නැත. ශීත ඍතුවේ ස්ටෝක්ස්ගේ පිතිහරඹය සහ පන්දු යැවීම වැඩිදුරටත් දියුණු කරගන්නට පෞද්ගලික පුහුණුවක් ලබන්නට මෙම ආධාර ලැබී තිබුණි.

දහතුන් හැවිරිදි වියේ දී එසේ ආධාර ලැබූ බෙන් ස්ටෝක්ස් නම් තම ගෝලයා ගැන ජොන් ගිබ්සන් නමැති ඔහුගේ පළමු පුහුණුකරුවා අදහස් දක්වන්නේ මේ ආකාරයෙන්ය.

“ඔහු සිය පවුලේ අය සමඟ නවසීලන්තයේ සිට පැමිණි වහාම අපේ ක්‍රීඩා සමාජයට පැමිණියා. ඉතාම කුඩා වයසේදීත් ඔහුට හොඳ ජවයක් තිබුණා. දක්ෂතාවයකුත් තිබුණා. නමුත් ඔහුගේ ක්‍රීඩා තාක්ෂණයේ අඩුපාඩු රැසක් තිබුණා. නමුත් කුඩා ස්ටෝක්ස් කවදාවත්ම එංගලන්ත ජාතික කණ්ඩායම නියෝජනය කරාවියැයි මම සිතුවේ නම් නැහැ.

ඔහු ඉතාම ශක්තිමත් දරුවෙක්. ඒක අනිවාර්යය කාරණාවක්. කල් යල් මැන පන්දුවට පහරදීමට ඔහුට තිබුණේ පුදුම හැකියාවක්. ඔහු අනාගතයේ දී දක්ෂයෙකු වේ යැයි මගේ විශ්වාසයක් තිබුණා.

ඔහුට එක්තරා කාලයක අනුග්‍රාහකයෙක් ලැබුණා. නමුත් එය රහසක් ලෙස තබා ගන්නා ලෙසයි ආධාර කල පුද්ගලයා පැවසුවේ. මම කවදාවත් ඔහුගේ නම හෙළි කරන්නේ නැහැ. එය දන්නේ මාත්, මගේ බිරිඳත් ඒ අපූරු අනුග්‍රාහකයාත් පමණයි.

ඔහුට පුහුණුවීම්වලට පුදුම කැමැත්තක් තිබුණේ. ඔහු සතියේ දින හතම හෝ සෙල්ලම් කරන්න ඒවී. ශීත ඍතුවේ පවා ඔහු ක්‍රීඩව අමතක කළේ නැහැ. තරුණ ස්ටෝක්ස් තමාගේ පියා වගේම කොයි තරම් දක්ෂ රගර් ක්‍රීඩකයෙකු වුනත් කිසිම අවස්ථාවක ජෙරාඩ්ගේ අඩිපාරේ යා යුතු යැයි පීඩනයක් ඔහුට කිසිම අවස්ථාවක තිබුණේ නැහැ.

The Telegraph

මම මුලින්ම ඔහුව දකිද්දී නවසීලන්තයේ දී ඔහු තරමක පුහුණුවක් ලබා තිබුණා. නමුත් කිසිම පරිණත බවක් අපි ඔහුගෙන් දැක්කේ නැහැ.

මිනිස්සු මගෙන් ඒ දවස්වලත් ඇහුවා ඔහු එංගලන්තයට ක්‍රීඩා කරාවි කියල ඔබ හිතුවා ද කියලා. නමුත් අපි ජීවත් වන කුඩා නගරවලින් එහෙම ක්‍රීඩකයින් බිහිවන්නේ කලාතුරකින්. මා පුහුණු කල හොඳම ක්‍රීඩකයා ඔහුයි. නමුත් ඔහු එංගලන්තයට ක්‍රීඩා කරයි කියල නම් මම හිතුවේ නැහැ.”

තම සැමියා වැනි ස්වෙච්ඡාවෙන් ක්‍රිකට් වෙනුවෙන් කැපවූ පුහුණුකරුවන් ගැන ගිබ්සන් මහත්මිය කතා කරන්නේ අපමණ භක්තියකිනි.

“ඔහු අපිට ආඩම්බරයක්. ඔහු බෙන් වැන්නෙක් සමඟ මුළු ශීත ඍතුව පුරාම වැස්සේ තෙමෙමින් කල කැපවීම අති විශේෂයි.”

රහසින් බෙන් ස්ටෝක්ස්ට අනුග්‍රාහකත්වය දැක්වූ අපූරු චරිතයටත් වැස්සේ තෙමෙමින් ජොන් ගිබ්සන් මහතා කල කැපවීමේ ද ප්‍රතිඵල මේ වන විට මල්ඵල ගැන්වී තිබේ. ඒ අවුරුදු හතලිස් හතරක නියඟය හමාර කරමින් එංගලන්තයට ලෝක කුසලානය දිනා දෙන්නට බෙන් ස්ටෝක්ස් දැක්වූ දායකත්වය කියා නිම කළ නොහැකි නිසාවෙනි.

>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<