Babar Azamගේ පාපොච්චාරණය!

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2498

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ සිය ප්‍රථම ජයග්‍රහණය නෙදර්ලන්තයට එරෙහිව ලබා ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (30) සමත් වූ අතර, එම තරගය ජයග්‍රහණය කළත්, කුඩා ඉලක්කයක් හඹා යාමේ දී මීට වඩා හොඳින් එය කළ යුතුව තිබුණු බව පාකිස්තාන කණ්ඩායමේ නායක Babar Azam ප්‍රකාශ කළා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් නෙදර්ලන්ත ඉනිම ලකුණු 91කට කඩුලු 9ක් ලෙස නිමා කරමින් පිතිකරුවන්ට පහසු ඉලක්කයක් හඹා යාමේ අවස්ථාව පාකිස්තාන පන්දු යවන්නන් විසින් ලබා දුන් නමුත්, ඔවුන් එම ඉලක්කය හඹා යෑමට සමත් වුනේ පන්දුවාර 13කුත් පන්දු පහක දී, කඩුලු 4කුත් වැය කරමිනුයි.

“මට ගොඩක් සතුටුයි, කණ්ඩායම පන්දුවෙන් වගේම පිත්තෙනුත් හොඳට කළා. මම හිතන්නේ පන්දුව නිවැරදි ස්ථානවල පතිත කිරීම වැදගත්ම දේ වුනා, මොකද පිටියේ හොඳ ඉලිප්පීමක් තිබුණා. හැමෝම හොඳින් ඒ බව අධ්‍යනය කරගෙන ක්‍රීඩා කළා.“

තරගයෙන් පසුව සහභාගී වූ මාධ්‍ය හමුවේ දී Babar Azam විසින් තරග ජයග්‍රහණය පිළිබඳ ප්‍රකාශ කළේ ඒ ආකාරයෙන්.

“මගේ අදහස නම් අපිට මීට වඩා හොඳින් හඹා යන්න තිබුණා, නමුත් මේ ජයග්‍රහණය අපේ විශ්වසනීය බව වැඩි කරනවා. අපි ඊළඟ තරගය වෙනුවෙන් මේ හොඳ දේවල් ඉදිරියට අරගෙන යනවා.“

Babar එසේ ප්‍රකාශ කරද්දී, පාකිස්තාන පන්දු යවන්නන් ඉදිරියේ අසරණ වුනත් තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තමන් ගත් තීරණය තව දුරටත් සාධාරණීකරණය කිරීමට නෙදර්ලන්ත නායකයා (Scott Edwards) පියවර ගත්තා.

“ඒ තමයි තවමත් ගන්න තියෙන නිවැරදිම තීරණය, අපි තරගාවලිය පුරාවටම මුලින් පන්දුවට පහර දුන්නේ නැහැ. අපි අද දවසේ හොඳ මදි. අපි පවර් ප්ලේ එක අවසන් වෙද්දී ලකුණු 30කට ලං වෙලා (19) හිටියේ, අපිට හතරේ පහරවල් දිගින් දිගටම ලබා ගන්න බැරි වුනා.

පන්දු යවන්නන් ඔවුන්ගේ උපරිමය ලබා දුන්නා, ඒත් ලකුණු 90 කොහොමටවත්ම ප්‍රමාණවත් නැහැ.”

නෙදර්ලන්ත ඉනිමේ කඩුලු 3ක් බිඳ හෙළු Shadab Khan තරගයේ වීරයා බවට පත් වූ අතර, ප්‍රාන්ත ක්‍රිකට් (county cricket) තරගවල දී නෙදර්ලන්ත ක්‍රීඩකයින් සමග ක්‍රීඩා කිරීමෙන් ලද අත්දැකීම් මෙම පන්දු යැවීමට සහය වුනු බවත් ඔහු තරගයෙන් අනතුරුව ප්‍රකාශ කර සිටියා.

“මම හිතන්නේ මේක නියම විකට්ටුවක්, මම උත්සාහ කළේ කෙළින්ම විකට්ටුවට පන්දු යවන්න විතරයි. මම ප්‍රාන්ත තරගවල දීත්, මීට පෙර තරගාවලියේ දීත් මේ ක්‍රීඩකයින්ට පන්දු යවලා තියෙනවා,“ යනුවෙන් මෙම වසරේ දී යෝක්ශයර් ප්‍රාන්තය නියෝජනය කරමින් ප්‍රාන්ත ක්‍රිකට් තරගවලට සහභාගී වූ මෙම 24 හැවිරිදි තරුණයා ප්‍රකාශ කළා.

“අපේ වේගපන්දු යවන්නන් පවර් ප්ලේ එකේ දී ඔවුන්ව පීඩනයට හසු කළා, මම ඒ උදව්වෙන් ඔවුන්ව දවා ගත්තා. ඒක තමයි කණ්ඩායමක් විදිහට ක්‍රීඩා කරනවා කියන්නේ.

එක ලකුණක් ලබා ගන්න ඉතිරිව තියෙද්දී පිටියට යනවා කියන එක ටිකක් ත්‍රාසය දනවන හැඟීමක්, නමුත් අපිට පසුගිය තරග දෙකම අවසන් කරගන්න බැරි වුනා. අද අපිට අවශ්‍ය වුනේ මේ තරගය ජයග්‍රහණයකින් අවසන් කරන්නයි.”

  • නෙදර්ලන්තය – 91/9 (20)(Colin Ackermann 27; Shadab Khan 3-22, Mohammad Wasim Jr 2-15)
  • පාකිස්තානය – 95/4 (13.5) (Mohammad Rizwan 49; Brandon Glover 2-22)

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ නවතම තතුවිත්ති ඔබ වෙත සමීප කිරීමට Thepapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Times of India ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<