Sikandar Razaගේ සාර්ථකත්වයට බලපෑ වීඩියෝව

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

13250

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ තවත් තරග දිනවන දක්ෂතාවයක් පෑමට අවශ්‍ය වූ “පුංචි තල්ලුව” ලබා දීම වෙනුවෙන් ඊයේ (27) පාකිස්තානයට එරෙහි තරගයේ වීරයා බවට පත්වූ Sikandar Raza විසින් හිටපු ඕස්ට්‍රේලියානු නායක Ricky Ponting හට ස්තුතිය පුද කර තිබෙනවා.

මෙවර ලෝක කුසලානයේ සිම්බාබ්වේ කණ්ඩායම ලද තෙවැනි ජයග්‍රහණය ලෙස පාකිස්තානයට එරෙහිව එක් ලකුණකින් ලද තියුණු ජයග්‍රහණයෙන් අනතුරුව Raza විසින් පවසා සිටියේ පාකිස්තානයට එරෙහි තරගය ක්‍රීඩා කිරීමට නියමිත හිමිදිරියේ තමන්ට නිදා ගැනීමට අපහසුවක් දැනුණු බවත්, ඒ නිසා තමන්  Glenn McGrath සහ Shane Warne විශිෂ්ටයින්ගේ නම් පවා ඈඳමින් Ricky Ponting විසින්   Raza පිළිබඳව සාකච්ඡා කරන වීඩියෝ පටය නැරඹූ බවත්, එයින් ඔහු සන්සුන් වූ බවයි.

“අද උදේ මම කලබල වෙලයි හිටියේ, අද තරගය ගැන උද්‍යෝගයකුත් තිබුණා. ඒ වෙනුවෙන් අවශ්‍ය උනන්දුවත් මා එක්ක තිබුණා, නමුත් මට තව පොඩි තල්ලුවක් අවශ්‍ය වෙලයි තිබුණේ. ඒ එක්කම මට මතක් වුනා Ricky Ponting ඉන්න වීඩියෝ එකක් මට අද උදේ ලැබුණා කියලා. ඒ වීඩියෝ ක්ලිප් එක මට අවශ්‍ය තල්ලුව දුන්නා. ඉතින් Ricky ගොඩක් ස්තුතියි!” තරග ජයග්‍රහණයත් සමඟින්ම මාධ්‍යයට අදහස් දැක්වූ Raza එසේ පවසා සිටියා.

“මගේ යහළුවන් සහ පවුලේ සාමාජිකයින් මට කෙටි පණිවිඩ එවලා තියෙනවා, ඔවුන් කියන්නේ ඔවුන්ගේ ඇස්වල කඳුළු පිරිලා කියලයි”, තරගයෙන් පසුව Raza එක් වූ මාධ්‍ය හමුවේ දී ඔහු ඒ බව පවසා සිටියා.

“මගේ ඇඟේ හිරිගඩු පිපුණා, මේ ක්‍රීඩාවේ විශිෂ්ටතමයෙක් සිම්බාබ්වේ ක්‍රිකට් සහ මම ගැන කතා කරලා තියෙනවා.

මට අමතර ශක්තියක් අවශ්‍ය වෙන්නේ නැහැ, ඒත් එහෙම දෙයක් අවශ්‍ය වුනා නම්, ඒ වීඩියෝ ක්ලිප් එකට ඒ ශක්තිය ලබා දෙන්න පුළුවන්. මට අවශ්‍ය වුනා සන්සුන්ව සිටින්න, ඒ සමඟම මට අවශ්‍ය වුනා මේ තරගය වෙනුවෙන් තවත් ක්‍රියාශීලී වෙන්න.”

මෙම වසරේ දී අන් සියලුම ක්‍රිකට් ක්‍රීඩකයින්ට වඩා වැඩිම තරගයේ වීරයා සම්මාන ප්‍රමාණයක් ජයග්‍රහණය කර ඇත්තේ (හත් වරක්) Raza විසිනි.

තම කණ්ඩායමේ ජ්‍යේෂ්ඨයකුගේ භූමිකාව රඟ දක්වන අතරේම, ඕනෑම මොහොතක අභියෝගවලට මුහුණ දීමේ නොනිත් ආශාවෙන් පසුවන Raza පිළිබඳව Ponting විසින් ප්‍රශංසාත්මකව අදහස පල කර තිබුණා.

“විස්සයි විස්ස තරග කියන්නේ එක මොහොතකින් වෙනස් වෙන්න පුළුවන් විදිහේ ඒවා, එක පන්දුවකින් සියල්ලම වෙනස් වෙන්න පුළුවන්.  අත්දැකීම් සපිරි වැඩිමහල් ක්‍රීඩකයින්ට ඒ වගේ අවස්ථාවලට මුහුණ දීමේ වැඩි හැකියාවක් තියෙනවා. ඒ වගේ වෙලාවක මොකද්ද හරියටම වෙන්න ඕන කියලා ඔවුන් දන්නවා වගේම, ඔවුන් ඒ දේ කරනවා.”

ICC මගින් Ricky Pontingව සම්බන්ධ කර ගනිමින් සිදු කළ වීඩියෝ පටයට අදහස් දක්වමින් Ponting විසින් එසේ සඳහන් කළ අතර, තව දුරටත් අදහස දැක්වූ Ponting පවසා සිටියේ,

“මම මුල සිටම Raza පිළිබඳ සඳහන් කළේ ඒ නිසයි. ඔහු පරිණත ක්‍රීඩකයෙක්, ඔහු දන්නවා කළ යුත්තේ කුමක්ද, කුමන වෙලාවේ දී ද යන්න.

“වයස අවුරුදු 33 දී, 34 දී ක්‍රීඩකයකු ලෙස තවත් දියුණු වීම අසීරු කාර්‍යයක්. නමුත් ඔහු හොයාගෙන තියෙනවා තමන් දියුණු විය යුතු මාර්ගය. එය එක්දින තරගයක් ද, විස්සයි විස්ස තරගයක් ද කියන දේ ඔහුට අදාළ නැහැ. සමහර විට එය ඔහු මෙතෙක් කාලයකට මුහුණ දුන් උපරිම පීඩනයක් සහිත අවස්ථාවක් වෙන්න පුළුවන්.

මේ ක්‍රීඩාවේ වගේම අනෙකුත් ක්‍රීඩාවලත් හිටපු හොඳම ක්‍රීඩකයින් පීඩනය වැඩියෙන් දැනෙන අවස්ථාවලට හොඳින් මුහුණ දෙනවා. ඇත්තටම ඔවුන්ට අවශ්‍ය දේ වන්නේ ද එයයි. ඔබ දන්නවා Glenn McGrath සහ  Shane Warne වැනි අයට එයට හොඳ උදාහරණ ලෙස දක්වන්න පුළුවන්.

එම ක්‍රීඩකයින්ට ඒ වගේ විශාල මොහොතවල් අවශ්‍යයි, ඒ වගේ අවස්ථාවක් ලැබුණ විට ඔවුන් එය ගිලිහෙන්න දෙන්නේ නැහැ. ඔවුන් එයින් උපරිම ප්‍රයෝජනය අරගෙන තමන්ගේ කාර්‍ය්‍ය ඉතාම හොඳින් කිරීමට වග බලා ගන්නවා. ඒ දේම තමයි Sikandar විසිනුත් ලස්සනට කරලා තියෙන්නෙත්.”

Raza විසින් මෙවර ලෝක කුසලානයේ දී පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් ඉහළ දස්කම් ප්‍රදර්ශනය කරමින් සිටිනවා. ඔහු අයර්ලන්තයට එරෙහි තරගයේ දී ලකුණු 82ක් රැස් කළ අතර, බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව ලකුණු 19කට කඩුලු 3ක් බිඳ හෙළීමට ද සමත් වුනා.

එමෙන්ම ස්කොට්ලන්තයට එරෙහිව පිත්තෙන් ලකුණු 40 රැස් කරමින්, පන්දු යැවීමෙන් ලකුණු 20කට එක් කඩුල්ලක් බිඳ හෙළීමට ද සමත් වුනා.

ඊයේ දිනයේ නැවතත් පාකිස්තානයට එරෙහිව ද සාර්ථක වෙමින් ලකුණු 25කට කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වීමෙන් අනතුරුව Raza පවසා සිටියේ එය තම ක්‍රීඩා දිවියේ ලද ඉහළම තරග ජයග්‍රහණය බවයි.

“මම සිම්බාබ්වේ ක්‍රිකට් එක්ක කාලයක් තිස්සේ රැඳිලා සිටියා, මෙම ජයග්‍රහණය අපි ලබපු හොඳම ජයග්‍රහණය විදිහට මම සලකන්න කැමතියි. මොකද මීට වඩා හොඳ තැනක් නැහැ තරගයක් දිනන්න. මේ ලෝක කුසලාන තරගාවලිය. මීට වඩා හොඳ වේදිකාවක් තව කොහෙද.

පාකිස්තානයට එරෙහිව එක් ලකුණක ජයක් ලබන්න නම් ඔබට සියලුම දේ නිවැරදිවම කළ යුතු වෙනවා. අපි  ඒ දේ කළා. මම හිතන්නේ සිම්බාබ්වේ කණ්ඩායම සමඟ මම ලද හොඳම ජයග්‍රහණය මෙයයි.”

තරගාවලියට පෙර සිදු කළ ශල්‍යකර්මයක් නිසා තමන්ට අත එසවීමට නොහැකිව සිටි බවත්, එම නිසා නව පන්දු යැවීමේ ඉරියව්වක් සොයා ගැනීමට සිදු වුණු බවත් Raza පැහැදිලි කළා.

කෙසේ වෙතත් කුමන බාධාව ඉදිරියේ හෝ තරගයේ දී පිත්තෙන් මෙන්ම පන්දුවෙනුත් කණ්ඩායම වෙනුවෙන් සිය දායකත්වය සැපයීමට ඔහුට තදින්ම අවශ්‍ය වී තිබුණා. ඔහුගේ මෙම දියුණු වීමට ඇති ආශාව Pontingගේ පැහැදීමට ලක් වී තිබෙනවා.

“ඔහුට දැන් වයස අවුරුදු 36ක්, නමුත් ඔහු ක්‍රීඩා කරන්නේ වයස අවුරුදු 26ක තරුණයෙක් වගේ උද්දීපනයකින්. ඔහු පිටියේ දුව පනිමින්, තරගය විඳිමින් කණ්ඩායමේ පෙරමුණ ගෙන සිටිනවා.”

Razaගේ මෙම දස්කම් මගින් ඔහු උපයා ගැනීමට සමත් වුනේ Pontingගේ ප්‍රශංසාව පමණක්මත් නොවෙයි. ඔහු මේ වන විටත් මෙම තරගාවලියේ දී නායක Craig Ervineගෙන් අත් ඔරලෝසු තුනක් උපයා ගෙන ඇති අතර, ලෝක කුසලානය අවසන් වීමට ප්‍රථම තවත් එම ඔරලෝසු සංඛ්‍යාව ඉහළ දමා ගැනීමේ අවස්ථාව ද ඔහු සතුව පවතිනවා.

“ අපි ඕස්ට්‍රේලියාවට එන කොට මම මගේ නායකයාට කිව්වා, ‘ඔබ තරගයේ වීරයා වුනොත් කැමති ඔරලෝසුවක් තෝරගන්න, මම එය ඔබ වෙනුවෙන් මිල දී ගන්නවා. නමුත් මම තරගයේ වීරයා වුනොත් ඔබ මම වෙනුවෙන් මිල දී ගත යුතුයි’ කියලා.”

ඊයේ තරගයේ වීරයා ලෙස නම් කළ අවස්ථාවේ තම මැණික් කටුව ප්‍රදේශය පෙන්වීමට හේතුව සඳහන් කරමින් Raza එම රහස හෙළිදරව් කළා.

“මම ඔහුට මතක් කළේ ඔහු දැන් මට ඔරලෝසු තුනක් ණයයි කියලා.”

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ නවතම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට Thepapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<