“ඒ ඉරියව්ව මගේ දිවීමේ වේගය තවත් වැඩි කළා” – Glenn Phillips

විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය 2022

660

ඊයේ (29) ශ්‍රී ලංකාවට එරෙහිව ශතකයක් ලබා ගනිමින් නවසීලන්ත කණ්ඩායමට ජයග්‍රාහී මාවත විවර කර දුන් Glenn Phillips විසින් සිය ඉනිමේ අවසාන භාගයේ දී පන්දු යවන අන්තයේ සිට ලකුණක් සඳහා දිව යාමට භාවිත කළ නව ක්‍රියා පිළිවෙත (කෙටිදුර ධාවකයෙකු තම දිවීම ආරම්භ කරනා සේ) මේ වන විට බොහෝ සේ කතාබහට ලක් වන්නක්.

එම ක්‍රියාව කිසි ලෙසකින්වත් පෙර සැලසුම් කරන ලද්දක් නොවන බවත්, කඩුලු අතර දුවද්දී දැවී යාමකට ලක් වීමේ  අවදානමෙන් බේරීමට උදව් කළ හැකි එකක් බවත් Glenn Phillips විසින් පවසා තිබෙනවා.

ශ්‍රී ලංකාවට එරෙහිව Phillips රැස් කළ ශතකයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වූයේ ඔහුගේ කඩූලු අතර දිව යාමයි. එහි දී ඔහු භාවිත කළ මෙම දිවීම  ආරම්භ කරන ඉරියව්ව සාම්ප්‍රදායික ක්‍රමයට (පන්දු යවන්නා දෙස බලා හිඳිමින් ආරම්භය ගැනීම) වඩා තරමක් වෙනස් එකක් වුවත් එහි යම් යම් අඩු පාඩු ඇති බව ද Phillips විසින්ම පසුව පැහැදිලි කර දී තිබුණා.

“මම හිතන්නේ අපිට ඒ ස්ථානයේ සිට පන්දු යවන්නාව නිරීක්ෂණය කරන්න පුළුවන්, ඒ වගේම හැකි ඉක්මනින් ලකුණ සඳහා දිව යාම ආරම්භ කරන්න පුළුවන්. නමුත් කෙටිදුර ධාවකයකුගේ ඉරියව්වෙන් (sprinter’s start) සිටින විට ඔබ හැකි තාක් උත්සාහ කරන්නේ සීමා ඉරෙන් පිට නොවී සිටීමට වුවත් මාන්කාද් දවා ගැනීම සහ සීමා ඉරෙන් පිට වීම සම්බන්ධයෙන් බොහෝ දේ සිදු විය හැකි.

දවස අවසානයේ දී, මගේ වගකීම තමයි සීමා ඉරේ රැඳී සිටීම සහ හරි වෙලාවට සීමා ඉරෙන් පිටවීම. පන්දු යවන්නා කරන්නේ ඔහුගේ රාජකාරිය, ඔහුට අයිතිය තියෙනවා විකට්ටුවේ බේල්ස් ඉවත් කිරීමට.

මට නම් එම ඉරියව්ව ලොකු උදව්වක් වුනා, ඒ මොහොතේ එය මට හොඳ වේගවත් බවක් ලබා දුන්නා. ඇත්තටම මම කලින් ලකුණු තුනක් ලබා ගැනීමට තිබුණු ආරම්භයක් වරද්ද ගත්තා, මගේ පිතිකරණ සහකරු නම් ඒ දේට ඒ තරම්ම කැමති නොවුණු බව මම දැන සිටියා.“

Phillipsගේ මෙම නව උපක්‍රමය ඉදිරියේ දීත් භාවිත වේවි ද යන්න පිළිබඳ ඔහුට ඒ තරම්ම විශ්වාසයක් නොමැති වුවත්, එම ඉරියව්ව නිසා සාම්ප්‍රදායික ලෙස සිදු කරන පිත්ත සීමා ඉරෙන් ඇතුළේ තබා ගෙන ලබා ගන්නා වාසිය ඔහුට අහිමි වී ගියත්, තමන්ගේ වේගය වැඩි කර ගැනීමට එය උපකාරී වූ බව ඔහුට හැඟෙන බව පවසා තිබෙනවා.

“සමහර විට, සමහර අය මේක පාවිච්චි කරාවි. සමහරු කරන එකක් නැහැ. ඇත්තෙන්ම පිත්ත සීමා ඉරෙන් ඇතුළේ තබා ගෙන සිටීම මගින් ඔබට දුවද්දී අඩියක දෙකක වාසියක් ලැබෙනවා. නමුත් මට තියෙන්නේ කුඩා අත්, ඒ නිසා සාම්ප්‍රදායික ක්‍රමයෙන් මට ලැබෙන වාසියට වඩා දෙයක් එම ඉරියව්ව නිසා මගේ වේගය වැඩි කර ගැනීමෙන් මට ලැබෙනවා.”

ඔහුගේ කණ්ඩායම් සගයා වන Daryl Mitchell පවසා සිටියේ එම නව ක්‍රියාව තමන්ට නොගැලපෙන එකක් වුවත්, Phillipsගේ සිතිවිල්ල අගය කරනා බවයි.

“පෞද්ගලිකව මම Glenn තරම් වේගවත් නැහැ, ඒ ඉරියව්වෙන් ඉඳලා ඔහු වගේ වේගවත් ආරම්භයක් ගන්න මට බැහැ. ඒ නිසා මම නම් ඒ දේ කරන එකක් නැහැ. Glenn Phillips කියන්නේ වෙනස්ම කෙනෙක්, අපි කැමතියි ඔහු අපි එක්ක ඉන්න ගමන් කරන අමුතු සහ පුදුම හිතෙන විදිහේ දේවල්වලට. ඔහු මේ වගේ දස්කම් ප්‍රදර්ශනය කරනවා දකින්න ලැබීම සතුටක්.”

මේ අතර Twitter හී මෙම නව ඉරියව්ව සම්බන්ධයෙන් සිය අදහස් දක්වා සිටි හිටපු ක්‍රිකට් ක්‍රීඩක මෙන්ම ප්‍රවීණ ක්‍රිකට් විස්තර විචාරක Ian Bishop පවසා තිබුණේ මෙවන් දෙයක්.

“මම හිතන්නේ Usain Bolt සහ Yohan Blakeගේ උපන් බිමේ දී Jamaica Tallawahs වලට ක්‍රීඩා කරපු කාලේ Phillips දේවල් එකක් දෙකක් ඉගෙන ගෙන තියෙනවා.”

මේ අතර ලකුණු 15කට කඩුලු තුනක් බිඳ වැටුණු නවසීලන්ත ඉනිම වෙනුවෙන් තමන් සමඟ ලකුණු 84ක සබඳතාවයක් පිහිටුවීමට සහය දුන් Daryl Mitchellගේ පිතිකරණය පිළිබඳව ද Glenn Phillips විසින් ප්‍රශංසාත්මකව කතා කළා.

“අපි හයේ සහ හතරේ පහරවල් ලබා ගැනීමට ගොඩක්ම උත්සාහ කළේ නැහැ, මොකද පිටියෙනුත් ඒ වෙනුවෙන් ලොකු සහයක් නොලැබුණු නිසා. අපේ චේතනාව වුනේ කඩුලු අතර දිව යමින් ලකුණු රැස් කිරීමයි. අපිට විශේෂයෙන්ම පෙන්වීමට අවශ්‍ය වුනේ ශ්‍රී ලංකාවට එරෙහිව අපි හොඳ තැනක ඉන්නවා කියලයි.

Daryගේ සිතිවිල්ල වුනේ කිසිම දෙයක් ළඟා කර ගත නොහැකි ඒවා නොවෙන බවයි, ඔහු පුදුමාකාර පුද්ගලයෙක්. ඔහු විශ්වාස කරන්නේ ඔහු ඉපදිලා ඉන්නේ දැඩි තීරණ ගැනීම වෙනුවෙන් කියලයි. ඔහු ගේ පැමිණීමත් එක්ක ලැබෙන ජවයෙන් ඉක්මනින්ම ඉනිමක් වෙනස් කළ හැකි.”

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයේ නවතම තොරතුරු ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමගින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<