පාකිස්තානය සමඟ පැවති වසර 6ක් පැරණි ආරවුලක පළිය ගත් සිම්බාබ්වේ ජාතිකයෝ

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

2191

ඊයේ (27) පාකිස්තානයට එරෙහිව සිම්බාබ්වේ කණ්ඩායම ලැබූ එක් ලකුණක තියුණු ජයග්‍රහණයත් සමඟින් සමාජ මාධ්‍ය ජාලාවල (විශේෂයෙන්ම ට්වීටර් හී) පාකිස්තාන ක්‍රිකට් රසිකයින් දැඩි ලෙස සරදමට ලක් වෙමින් පවතිනවා.

එම සරදම් බොහෝමයකට Mr. Beanගේ නම ඈඳීම ද විශේෂයෙන්ම සඳහන් කළ යුතු කරුණක්.

ඊයේ දිනයේ පාකිස්තානයට එරෙහිව කඩුලු අටක් දැවී රැස් කල ලකුණු 130 ඉතා විශිෂ්ට අන්දමින් ආරක්ෂා කර ගනිමින් එක් ලකුණක තියුණු ජයක් ලබා ගැනීමට සිම්බාබ්වේ කණ්ඩායම සමත් වුනා. මෙම තරගයේ අවසන් පන්දුවාරයේ දී පාකිස්තාන කණ්ඩායමට ලකුණු එකොළහක් ලබා ගැනීමට නියමිතව තිබුණා.

මෙහි දී සිම්බාවේ නායක Craig Ervine විසින් අවසන් පන්දුවාරය යැවීමේ වගකීම Brad Evansට ලබා දුන් අතර ඔහුගේ ප්‍රථම පන්දු දෙකට ලකුණු හතක් ලබා ගැනීමට Mohammad Nawaz සහ  Muhammad Wasim සමත් වුනා.

එහි දී නියත ලකුණු හතරක් ලකුණු තුනක් බවට පරිවතනය කිරීමට Craig Ervine විසින් සිදු කළ විශ්මිත පන්දු රැකීම වඩාත් කතාබහට ලක් වන සිදු වීමක් බවට පත් වී තිබෙනවා.

ඉන්පසු පන්දු හතරකින් ලකුණු හතරක ඉලක්කයක් පාකිස්තානයට ළඟා කර ගැනීමට තිබුණ ද, මීළඟ පන්දු තුනටම ඔවුන්ට ලබා ගත හැකි වුනේ එක් ලකුණක් පමණක් වන අතර, එම පන්දුවාරයේ පස්වැනි පන්දුවෙන් Mohammad Nawaz දැවී යන්නේ එක් පන්දුවකින් ලකුණු 3ක් ලබා ගැනීමේ වගකීම නවක පිතිකරු Shaheen Afridi හට පවරමිනි.

කෙසේ වෙතත් මුල් පන්දු දෙකෙන් අනතුරුව ඉතා හොඳින් පන්දු යැවූ Brad Evansගේ අවසන් පන්දුවට Shaheen Afridiට ලබා ගත හැකි වූයේ එක් ලකුණක් පමණයි.

ඒ අනූව පාකිස්තානය පරාජය කරමින් සිම්බාබ්වේ ලැබූ මෙම පෙරළිකාර ජයග්‍රහණයත් සමඟින් ට්වීටර් සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වූ අදහස් කිහිපයක් පහතින්.

“සිම්බාබ්වේ විසින් පාකිස්තානය පරාජය කළා.

මේක “අප්සට්” එකක් කියලා කියන්න එපා. ඒක ඉතාම හොඳින් තරග කළ සිම්බාවේ ක්‍රිකට් කණ්ඩායමට කරන අගෞරවයක්. ඔවුන්ට අපේ ගෞරවය දැක්විය යුතුයි.

පහළ පින්තූරය මේකට අදාළ නැහැ”

“මුලින් අයර්ලන්තය  විසින් එංගලන්තය පරාජය කළා, දැන් සිම්බාබ්වේ විසින් පාකිස්තානය පරාජය කළා. ක්‍රිකට් කියන්නේ අවිනිශ්චිත ක්‍රීඩාවක්. කිසිම කණ්ඩායමක් දුර්වලයි කියලා ලේබල් ඇලවිය යුතු නැහැ. ලෝක කුසලානයේ ඉදිරි තරග වෙනුවෙන් මග බලාගෙන ඉන්නවා.”

“සිම්බාබ්වේ බීන්ව ඉල්ලුවම, ඔබ බීන් කෙනෙක්ව දුන්නා, මේ ඒකට පලිය අරගෙන තියෙන්නේ. සුබ පැතුම්!

සිම්බාබ්වේ සහ පාකිස්තානය අලලා ඇති වී තිබෙන Mr Bean පිළිබඳ විහිළුව මේ දිනවල වැඩි වශයෙන් කතා බහට ලක් වෙන කාරණයක්. ඊයේ පටන් එම සිදු වීමට තවත් වැඩි අවධානයක් යොමු වෙමින් පවතිනවා.

වසර ගණනක් පැරණි මෙම සිදුවීමට නැවත තටු ලැබෙන්නේ පසුගිය බදාදා (26) Ngugi Chasura නම් සිම්බාබ්වේ ජාතිකයකු විසින් පාකිස්තාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB)  විසින් පාකිස්තාන ක්‍රිකට් කණ්ඩායම සිම්බාබ්වේ තරගයට පෙර සහභාගී වූ පුහුණු සැසියක ඡායාරූප ට්වීටර් හී පල කළ පසු එයට දැක්වූ ප්‍රතිචාරයක් සමඟයි.

“සිම්බාබ්වේ ජාතිකයින් විදිහට අපි ඔබට සමාව ලබා දෙන්නේ නැහැ, ඔබ එක වතාවක් අපිට ඇත්ත Mr. Bean වෙනුවට, වංචාකාර පාකිස්තාන Mr Bean කෙනෙක් ලබා දුන්නා. අපි ඒ ප්‍රශ්නය හෙට (27) විසඳ ගමු. ඔබව ආරක්ෂා කරලා දෙන්න කියලා වර්ශාව වෙනුවෙන් යාච්ඤා කරන්න.”

2016 වර්ෂයේ දී Mr Bean පෙනුමට සමාන  Muhammad Asif නම් පාකිස්තාන ජාතික විකට රංගන ශිල්පියකු සිම්බාවේහි සංචාරයක නිරත වී ඇති අතර, එහි දී එරට ජනයා ඔහු ජනප්‍රිය බ්‍රිතාන්‍ය නළු Rowan Atkinson ලෙස වරදවා වටහා ගැනීමත් සමඟින් මෙම ගැටලුව නිර්මාණය වී තිබෙනවා.

එම සිදුවීමට පසුගිය බදාදා නැවත පණ ලැබීමෙන් අනතුරුව, ඊයේ පැවති සිම්බාබ්වේ සහ පාකිස්තාන විස්සයි විස්ස තරගය “Bean Derby” නමින් ප්‍රචලිත වී තිබුණා.

ඊයේ තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් සිම්බාබ්වේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීම තෝරාගත් අතර, ඔවුන් සිය පන්දුවාර විස්ස අවසානයේ ලකුණු 130ක් රැස් කිරීමට සමත් වුනේ කඩුලු අටක් දැවී යන අතරේ දී ය.

එහි දී පාකිස්තානය වෙනුවෙන් Muhammad Wasim සහ  Shadab Khan පිළිවෙළින් කඩුලු 4ක් සහ කඩුලු 3ක් බිඳ හෙළීමට සමත් වුනා.

ඉන්පසු පිටියට පිවිසි පාකිස්තාන පිතිකරණ බල ඇණියේ ප්‍රබල බල කණු දෙක වන Babar Azam සහ Mohammad Rizwan අඩු ලකුණුවලට දැවී යද්දී, ඉනිමේ එක් අන්තයක් රැක ගනිමින් පිතිකරණයේ යෙදීමට Shan Masood සමත් වූවත්, ඉනිමේ 16 වැනි පන්දුවාරයේ දී  ඔහුගේ දැවී යාමත් සමගින් පාකිස්තාන ඉනිම තවත් අඩ පණ වුනා.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානය තරගාවලියේ පාකිස්තානය පිට පිට ලද දෙවැනි පරාජය මෙය වන අතර, සුපිරි කණ්ඩායම් 12 තරග වටයේ මේ වන තෙක් සිම්බාබ්වේ කණ්ඩායම එකදු තරගයක් හෝ පරාජය වී නැහැ.

විස්සයි විස්ස ලෝක ලෝක කුසලානයේ සියලුම තතුවිත්ති ඔබ වෙත ගෙන ඒමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

Hindustan Times ඇසුරිනි.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<