නිපන්දුව දුන්නේ Kohli ඉල්ලපු නිසයි – පාකිස්තානයෙන් දෝස් මුර

විස්සයි විස්ස ලෝක කුසලානය 2022

14942

ඊයේ (23) ඉන්දියාව හා පාකිස්තානය අතර පැවති විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ විනිසුරුවන් පාකිස්තාන කණ්ඩායමට වංචා කළ බවත්, අවසන් පන්දුවාරයේ නිපන්දුව ලබා දුන්නේ Virat Kohliගේ ඉල්ලීම නිසා බවත් පවසමින් පාකිස්තාන ක්‍රිකට් රසිකයන් සමාජ මාධ්‍ය වල මැසිවිලි නගමින් පවතිනවා.

ඊයේ ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඉන්දියාව සහ පාකිස්තානය අතර පැවති ඉතිහාසගත විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී තම ක්‍රීඩා දිවියේ විශිෂ්ටතම ඉනිමක් දියත් කරමින් සුපිරි ඉන්දීය පිතිකරු Virat Kohli විසින් ඉන්දියාවට කඩුලු හතරක ජයග්‍රහණයක් ගෙන දීමට සමත් වුනේ පාකිස්තාන ක්‍රිකට් රසිකයින්ගේ හදවත් මොහොතකට සසල කරවමිනි.

ජයග්‍රහණය වෙනුවෙන් පාකිස්තානය ට එරෙහිව ලකුණු 160ක ඉලක්කයක් හඹා යෑමට නියමිතව තිබූ ඉන්දියාව වෙනුවෙන් පන්දු 53කින් නොදැවුනු ලකුණු 82ක් ලබා ගැනීමට Kohli විසින් ඊයේ සමත් වුනා.

තරගයේ උණුසුම දෙගුණ තෙගුණ කර වූ නොසන්සුන් සහ අසාමාන්‍ය සිද්ධි බොහෝමයක් ඊයේ දිනයේ සිදු වීම ද විශේෂත්වයක්.

ඒ අතරින් වඩාත්ම කතාබහට ලක් වන සිදු වීමක් වන්නේ තරගයේ අවසන් පන්දු වාරය යොමු කළ පාකිස්තානයේ Mohammad Nawazගේ පන්දුවක් නිපන්දුවක් බවට සලකුණු කිරීමයි.

ඉන්දියාවට තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් පන්දු තුනකින් ලකුණු 14ක් ලබා ගැනීමට තිබූ අවස්ථාවේ දී Mohammad Nawaz විසින් යැවූ පහසු ෆුල් ටොස් (full-toss) පන්දුවට ස්ක්වෙයාර් ලෙග් (square-leg) හරහා පහරක් එල්ල කිරීමට Kohli සමත් වූ අතර, විනිසුරුවන් දෙදෙනා යම් සාකච්ඡාවකින් පසුව එය නිපන්දුවක් ලෙස සලකුණු කරනු ලැබීය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් පාකිස්තාන ක්‍රිකට් රසිකයින් සමාජ මාධ්‍ය ජාලා වල දැඩි කෝපයෙන් අදහස් ප්‍රකාශ කළ අතර, ඔවුන් පවසා සිටින්නේ Babar Azam ප්‍රමුඛතම කණ්ඩායමට තරගයේ විනිසුරුවන් විසින් වංචා කළ බවත්, එය නිපන්දුවක් බවට සලකුණු කළේ Virat Kohliගේ ඉල්ලීමක් නිසා පමණක් වන බවත් ය.

මේ එවැනි අදහස් කිහිපයක්!

“2011 මොහාලිවල DRS තීරණය, 2022 මෙල්බන්වල නිපන්දුව ලබා දීමේ තීරණය, මේ අවස්ථා දෙකේ දී ම වංචා කළා.”

“නිපන්දුව දුන්නේ Kohli ඉල්ලපු නිසා, Review කළේවත් නැහැ”

Virat Kohli සීමා ඉරෙන් එළියේ ඉන්නේ, පන්දුව තියෙන්නේ ඔහුගේ ඉනට ඉහළින්. පන්දු යවන්නේ දඟපන්දු යවන්නෙක්, ඒ නිසා පන්දුව තියෙන්න ඕන ඉනට පහළිනුයි. එය නිපන්දුවක් නෙවෙයි.

ඒ වගේම Virat Kohli ඊළඟ පන්දුවෙන් දැවී ගියා. Free hit එකක් නිසා දැවී නොගියත් එය ඩොට් බෝල් එකක් වෙන්න ඕන.”

“එය නිපන්දුවක් විදිහට නම් කරන්න තිබුණු එකම හේතුව තමයි, පහර එල්ල කරපු ගමන් ම Kohli  දුවගෙන ගිහින් විනිසුරුවන්ට පැමිණිලි කරපු එක.”

එම සිදුවීමෙන් අනතුරුව Dinesh Karthikව ස්ටම්ප් කිරීමකින් දවා ගැනීමට Mohammed Rizwan සමත් වූ අතර, ඉන්පසුව පිටියට පිවිසි Ravichandran Ashwin මුහුණ දුන් පළමු පන්දුවම වයිඩ් පන්දුවක් වුනා. Ashwin විසින් මුහුණ දුන් මීළඟ පන්දුවෙන් ජයග්‍රාහී ලකුණ ලබා ගැනීමට ඔහු සමත් වුනා.

ඒ අයුරින් විස්සයි විස්ස තරග ඉතිහාසයේ වඩාත්ම උද්වේගකර තරගයක නිමාව සටහන් වූ අතර, තරග ජයග්‍රහණයෙන් අනතුරුව මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණය ඉන්දීය ප්‍රේක්ෂකයින්ගේ ප්‍රීති ඝෝෂාවලින් පිරී ඉතිරී ගියා.

විස්සයි විස්ස ලෝක කුසලානයේ සියලු තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ZEE News ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<