සත්කාරක දේශයෙන් ශ්‍රී ලංකාවට අමිහිරි පරාජයක් උරුම වෙයි!

U19 Asia Cup 2023

3929
U19 Asia Cup 2023

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන 2023 වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකාවට එරෙහිව ඓතිහාසික ජයග්‍රහණයක් ලැබීමට සත්කාරක එක්සත් අරාබි කණ්ඩායම විසින් අද (11) සමත් වුනා.

තරගාවලියේ 07 වැනි තරගය ලෙස අද උදෑසන ආරම්භ වූ මෙම තරගයේ කාසියේ වාසිය එමීර් රාජ්‍ය නායකයා විසින් දිනා ගත් අතර ඔහුගේ ඇරයුමෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන පුලිඳු පෙරේරා සහ හිරාන් කපුරුබණ්ඩාර පළමුව පන්දුවට පහර දීමට පිටියට පිවිසුණා.

නමුත් ඔවුන් දෙදෙනාට පෙර තරගයේ දී මෙන්ම මෙම තරගයේ දීත් දස්කම් දැක්වීමට අවකාශයක් උදා වුනේ නැහැ. හිරාන් එක් ලකුණක් සහ පුලිඳු ලකුණු 24කට සිය ඉනිම් නිමා කළ අතර පසුව පිටියේ එක් වූ නායක සිනෙත් ජයවර්ධන සහ රුසඳ ගමගේ විසින් ඉනිමේ තෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවක් පිහිටුවීමට සමත් වුනා.

කෙසේ වෙතත් ඉනිමේ තෙවන කඩුල්ල ලෙස නායක සිනෙත් ලකුණු 49ක් ලබා සිටිය දී අවාසනාවන්ත ලෙස දැවී යාමත් සමඟින් තරගයේ වැඩි වාසි එක්සත් අරාබි එමීර් කණ්ඩායමට වෙතට හැරුණා.

ශ්‍රී ලංකා ඉනිමේ හත් වැනි කඩුල්ල ලෙස මල්ෂ තරුපති ලකුණු 9කට දැවී යන විට ඉනිමේ ලකුණු තත්වය සටහන් වී තිබුණේ 168ක් ලෙසයි. නමුත් එතැන් පටන් පිටියේ එක් වූ දිනුර කළුපහන සහ විශ්ව ලහිරු දෙදෙනා විසින් ශ්‍රී ලංකා ඉනිමේ ගෞරවය රැක ගැනීමේ සටනක් දියත් කළා.

ඔවුන් දෙදෙනා විසින් 8 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 51ක සබඳතාවක් පිහිටවූ අතර විශ්වගේ පිත්තෙන් එයට ලකුණු 26ක දායකත්වයක් ලැබුණා. ඒ අනුව නියමිත පන්දුවාර 50 තුළ ශ්‍රී ලංකා යොවුන් පිතිකරුවන් විසින් කඩුලු 9ක් දැවී ලකුණු 220ක් ලබා ගැනීමට සමත් වූ අතර, මෙහි දී ඉනිමේ ඉහළම ලකුණු ලාභියා වූ දිනුර කළුපහන විසින් ඉනිම අවසන් වන තෙක් නොදැවී කඩුල්ලේ රැඳෙමින් පන්දු 87කින් ලකුණු 56ක් ලබා ගැනීමට සමත් වුනා.

පන්දු යැවීමේ දී Omid Rehman සහ Aayan Afzal Khan අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා.

ශ්‍රී ලංකාව විසින් ලබා දුන් ලකුණු 221ක් ඉලක්කයට පිළිතුරු සැපයීම වෙනුවෙන් පිටියට පිවිසි එමීර් රාජ්‍යය ආරම්භක පිතිකරුවන් දෙදෙනාව ම ඉතා ඉක්මනින් නැවත ක්‍රීඩාගාරය වෙත හරවා යැවීමට ගරුක සංකේත් විසින් සමත් වූ නමුත් ඉන් පසුව එමීර් පිතිකරුවන් විසින් ක්‍රමයෙන් සිය ඉනිම ගොඩ නැංවීමට සමත් වුනා.

මෙහි දී Tanish Suri විසින් පන්දු 88කින් ලකුණු 75ක් ලබා ගැනීමට සමත් වූ අතර ඔහු වටා එක් වූ අනෙක් පිතිකරුවන් සිය උපරිමය ලබා දෙමින් එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඉතිහාසගත ජයග්‍රහණයක් කරා රැගෙන යාමට සමත් වුනා.

මෙහි දී එමීර් ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 172 දී දවා ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුනත් එතැනින් පසුව ද එමීර් රාජ්‍යයේ පසුපෙළ පිතිකරුවන් විසින් තරගයේ ග්‍රහණය තවදුරටත් රඳවා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.

ඒ අනුව පන්දුවාර 48 පන්දු 2ක් තුළ කඩුලු 8ක් දැවී නියමිත ඉලක්කය පසු කර ගිය එක්සත් අරාබි එමීර් යෞවනයින් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ඉතිහාසගත ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් වුනා.

තරගයේ ජයග්‍රහණය එමීර් රාජ්‍යය සතු වුනත් ගරුක සංකේත් ප්‍රමුඛ ශ්‍රී ලංකා පන්දු යැවීමේ බළඇණිය තරගයේ අවසන් මොහොත දක්වා සිය සටන අත් නොහැර තරග වැදීමට සමත් වීම විශේෂයෙන් අගය කළ යුතුයි.

  • ශ්‍රී ලංකාව– 220/9 (50) දිනුර කළුපහන 56, සිනෙත් ජයවර්ධන 49, Aayan Afzal Khan 2/38, Omid Rehman 2/48
  • එක්සත් අරාබි එමීර් රාජ්‍යය– 224/8 (48.2) Tanish Suri 75, Aayan Afzal Khan 33, ගරුක සංකේත් 3/35, විශ්ව ලහිරු 1/28

මීට අමතරව අද බංග්ලාදේශය සහ ජපානය අතර පැවැත්වුණු තරගයෙන් බංග්ලාදේශය කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් අත් කර ගැනීමට සමත් වුනා.

කෙසේ වෙතත් ජපානය සමග පැවැත්වුණු තරගයේ දී ලද දැවැන්ත ජයග්‍රහණය නිසා ශ්‍රී ලංකාව තවමත් B කාණ්ඩයේ ලකුණු සටහනේ දෙවැනි ස්ථානයේ රැඳී සිටිනවා. කෙසේ වෙතත් තරගාවලියේ අවසන් පූර්ව වටය වෙත සුදුසුකම් ලබා ගැනීමට නම් එළඹෙන බදාදා (13) බංග්ලාදේශය සමඟ පැවැත්වීමට නියමිත තරගය ජයග්‍රහණය කිරීම ශ්‍රී ලංකාවට අතිශය වැදගත් වනු ඇති.

මේ අතර 19න් පහළ ආසියානු කුසලානයේ A කාණ්ඩය නියෝජනය කරමින් ඊයේ (10) දිනයේ පැවැත්වුණු තරග ජයග්‍රහණය කිරීමට පාකිස්තාන සහ ඇෆ්ගනිස්තාන කණ්ඩායම් විසින් සමත් වුනා.

තරගාවලියේ තවත් තරග දෙකක් හෙට දිනයේ පාකිස්තානය සහ ඇෆ්ගනිස්තානය අතරත්, ඉන්දියාව සහ නේපාලය අතරත් පැවැත්වීමට නියමිතයි.

වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<