මානසික සුවය පතා එංගලන්ත ක්‍රීඩකයා සමාජ මාධ්‍යයට සමුදෙයි !

432

එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරන ප්‍රහාරාත්මක පිතිකරු Harry Brook සිය දුරකථනයේ ඇති සියලු සමාජ මාධ්‍ය යෙදුම් ඉවත් කිරීමට කටයුතු කළ බව ප්‍රකාශ කර තිබෙනවා.  

24 වියෙහි පසුවන Harry Brook 2022 වසරේ සිට එංගලන්ත කණ්ඩායම නියෝජනය කරමින් කැපී පෙනෙන දස්කම් දැක්වීමට හැකි වූවත් නිමා වූ 2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දැක් වූ දුර්වල ක්‍රීඩා විලාසය නිසා ඔහුට බොහෝ චෝදනා එල්ල වන්නට වුනා.  

එයින් පසුව ඔහුට සමාජ මාධ්‍ය ඔස්සේ එල්ල වූ චෝදනා නිසා ඇති වූ මානසික පීඩනයෙන් නිදහස් වීමට ඔහු සමාජ මාධ්‍ය වලින් ඉවත් වී සිටි බවත් පසුව සියලු යෙදුම් ඉවත් කළ බවත් ඔහු ප්‍රකාශ කළා. 

“මම දැන් ටික කාලයක සිට සමාජ මාධ්‍ය වලින් ඉවත් වී සිටියා. මට පීඩනයක් එල්ල වෙන ඕනෑම දෙයක් දුරකථනයෙන් මකා දමන්න මම පැකිළෙන්නේ නැහැ.  

ඒ නිසා මම කිසිම සෘණාත්මක දෙයක් දැක්කේ නැහැ, ඒකෙන් මගේ ක්‍රීඩාව ඉදිරියට ගෙනියන්න උදව් වුනා. සමාජ මාධ්‍ය වලින් ඉවත් වී කටයුතු කිරීම නිසා මට මගේ මානසික සෞඛ්‍ය යහපත් ලෙස තබා ගන්න පුළුවන් වෙනවා.  

ඉතා පසුබෑමකට ලක් වූ ලෝක කුසලාන තරගාවලිය අවසන් වීමෙන් පසු සහභාගී වූ පළමු තරගයේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කිරීමට Harry Brook සමත් වූවත් එම තරගය කඩුලු 4කින්  පරාජයට පත් වීමට එංගලන්තයට සිදු වුනා.  

Harry Brook 2023 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ දී ඉහළ වටිනාකමකට අලෙවි වූ ක්‍රීඩකයෙක් වූ අතර ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියේ දී පෙරළිකාරී ප්‍රහාරාත්මක ඉනිම කිහිපයක් ක්‍රීඩා කරනු ද පසුගිය කාලසීමාවේ දැක ගැනීමට හැකි වුනා.  

දිනෙන් දින උණුසුම් වන ක්‍රිකට් පිටියේ උණුසුම් පුවත් ඔබ වෙත සමීප කිරීමටThePapare.comසූදානම්,රැඳී සිටින්නThePapare.comසමඟින්. 

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<