2024 IPL ක්‍රීඩක වෙන්දේසියට ශ්‍රී ලංකාවෙන් අට දෙනෙක්

IPL 2024

1601

2024 IPL තරගාවලිය සඳහා කණ්ඩායම් සම්පූර්ණ කර ගැනීම වෙනුවෙන් පැවැත්වීමට නියමිත ක්‍රීඩක වෙන්දේසිය සඳහා ක්‍රීඩකයින් 333 දෙනෙකුගේ නම් ස්ථිර කර තිබෙනවා. 

එළඹෙන 19 වැනි දා ඩුබායි හිදි පැවැත්වීමට නියමිත මෙම ක්‍රීඩක වෙන්දේසියට ඉන්දීය ක්‍රීඩකයින් 214ක් සහ විදෙස් ක්‍රීඩකයින් 119ක් ඇතුළත් වී තිබෙනවා. එම විදෙස් ක්‍රීඩකයින් අතරින් දෙදෙනෙක් (Paul Van Meekeren – නෙදර්ලන්තය, David Wiese – නැමීබියාව) ICC අර්ධ සාමාජික රටවලින් ඇතුළත් වී තිබීම විශේෂත්වයක්. 

එමෙන්ම මෙම ක්‍රීඩකයින් 333 අතුරින් 215ක් තවමත් ජාත්‍යන්තර වරම් නොලද ක්‍රීඩකයින් වීමත් විශේෂත්වයක්. 

මේ අතර ගිය වර Royal Challengers Bangalore කණ්ඩායම නියෝජනය කළ වනිඳු හසරංග සමඟ තවත් ශ්‍රී ලාංකික ක්‍රීඩකයින් හත් දෙනෙකුගේ නම් ද මෙවර වෙන්දේසියේ විදෙස් අංශයට ඇතුළත් වී තිබෙනවා. එම අට දෙනා අතුරින් ඉහළම මූලික මුදලක් (ඉන්දීය රුපියල් කෝටි 1.5) යටතේ වෙන්දේසියට ඉදිරිපත් වන්නේ ද වනිඳු හසරංගයි. 

මීට අමතරව කුසල් මෙන්ඩිස්, දසුන් ශානක, චරිත් අසලංක, දුශ්මන්ත චමීර, ඩිල්ශාන් මදුශංක, ලහිරු කුමාර සහ නුවන් තුශාර යන ක්‍රීඩකයින් ඉන්දීය ලක්ෂ 50ක මූලික වටිනාකමක් යටතේ මෙවර වෙන්දේසියට ඉදිරිපත් වනු ඇති. 

මෙවර වෙන්දේසියේ දී කණ්ඩායම් 10 තුළ ක්‍රීඩකයින් 77 දෙනෙකු සඳහා ඉඩ ඉතිරි වී ඇති අතර, ඒ අතුරින් විදෙස් ක්‍රීඩකයින් සඳහා ඉතිරි වී ඇත්තේ ස්ථාන 30ක් පමණයි. 

මෙවර වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන අනෙක් විදෙස් ක්‍රීඩකයින් අතර නිමාවූ ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනෙන දස්කම් දැක් වූ Travis Head, Pat Cummins, Rachin Ravindra වැනි ක්‍රීඩකයින්ගේ නම් ද ඇතුළත් වී තිබෙනවා. 

එමෙන්ම මෙවර නව කණ්ඩායමක් සමඟ එක් වීමේ බලාපොරොත්තු සහිතව Shardul Takur, Harshal Patel, Manish Pandey වැනි ඉන්දීය ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයින් කිහිප දෙනෙකු ද මඟ බලා සිටිනවා. 

2024 IPL ක්‍රීඩක වෙන්දේසිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<