දකුණු අප්‍රිකානු රග්බි විරුවන් වංශකථා පොත් අලුත් කරයි

126

මසකට අධික කාලයක් පුරාවට මුළු මහත් ලෝකයම රග්බි උන්මාදනයෙන් වසඟ කර ගත් එම උත්කර්ෂවත් ලෝක කුසලානයේ අවසන් පරිච්ඡේදය අද (2) ජපානයේ යොකොහෝමා ක්‍රීඩාංගණයේ දී ලියැවුණේ අභිමානවත් දකුණු අප්‍රිකානුවන්ට තම තෙවැනි ලෝක කිරුළේ හිමිකාරීත්වය උරුමකර දෙමිනි. 

පෑරුණු සිත් සුවපත් කරමින් All Blacks තෙවැනි තැනට

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය ගෞරවාන්විත සටහනකින් නිමා කිරීමේ..

ඔවුන් අතින් පරාජයට පත් වූ අනුශූර එංගලන්ත කණ්ඩායම දකුණු අප්‍රිකාවට එරෙහිව හොඳ සටනක් ලබා දීමට සමත් වූ නමුත් ඔවුන්ගේ එම සටන්කාමීත්වය තරගය ජය ගැනීමට තරම් ප්‍රමාණවත් නොවීය. තරගයේ අවසන් ලකුණු තත්වය දිස්වූයේ 32-12ක් ලෙසිනි.

අවසන් පූර්ව තරගයේ දී ලෝක ශූර නවසීලන්ත කණ්ඩායම අන්ත අසරණ අඩියකට ඇඳ දමමින් ලෝකයම මවිතයට පත්කළ එංගලන්ත කණ්ඩායම මෙම තරගය සඳහා පිවිසුණේ ඉතාමත් හොඳ මානසික මට්ටමකිනි.

ප්‍රතිවාදී දකුණු අප්‍රිකානුවන් ද අද දිනයේ දී තරග බිමට පා තැබුවේ ලොව දැනට සිටින දක්ෂතම ක්‍රීඩකයින් රැසකගෙන් සන්නද්ධ ශක්තිමත් කණ්ඩායමකට හිමිකම් කිමේ ආත්ම විශ්වාසය ද කැටිකොට ගෙනය.

තරගය ආරම්භ වී විනාඩි දෙකක් ගත වීමටත් මත්තෙන් දිනයේ ප්‍රථම වතාවට ලකුණු පුවරුව පණ ගැන්වීමේ අපූර්ව අවස්ථාවක් Springbok Fly Half ක්‍රීඩක Handre Pollard හට උදා වූ නමුත් එම දඬුවම් පහර ලැබුණු කෝණය තරමක් අසිරූ එකක් වූ හෙයින් නිසායාකාරව පන්දුව ගෝල කණු අතරින් යොමුකිරීමට ඔහු අපොහොසත් විය.

දකුණේ පියානෝගේ ශක්තිය උතුරට රැගෙන ගිය “පුතානෝලා”

රග්බි පිටියේ සොයුරන් ගැන නොයෙක් කතා අසන්නට ලැබේ……

එංගලන්ත කණ්ඩායමේ උපාය මාර්ගික විධික්‍රම පිළිබඳ හොඳ අවබෝධයකින් යුතුව තරග වැඳුණු දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් සෑම විටම පන්දුව තමන් සන්තකයේ තබා ගැනීමට වඩාත් උනන්දු වූ අතර ප්‍රතිවාදී එංගලන්ත ක්‍රීඩකයින් හට ඊට එරෙහිව ප්‍රතිරෝධය පෑමට දැඩි වෑයමක් දැරීමට සිදු විය.

එංගලන්ත නායක Farrell අතින් සිදු වූ අතපසු වීමක් උපයෝගී කරගනිමින් ලකුණු හඹා යාමේ දඩයම ඇරඹූ දකුණු අප්‍රිකානුවන් ලකුණු ත්‍රිත්වයකින් තම ගිණුම තර කර ගත්තේ Pollard එල්ල කළ ජවසම්පන්න පා පහර ගෝල කණු දෙක ගමන් කිරීමත් සමඟිනි. (දකුණු අප්‍රිකාව 03 – 00 එංගලන්තය)

තමන් සිදු කළ පාඩුව පියවා ගැනීමට වැඩි වේලාවක් නොගත් Owen Farrell ඉතා සාර්ථකව හිමි වූ දඬුවම් පහරේ ලකුණු ත්‍රිත්වය එංගලන්තය වෙත හිමිකර දුන් අතර එම ක්‍රියාදාමය තවදුරටත් සක්‍රියව පවත්වාගත් Handre Pollard ඊට පිළිතුරු වශයෙන් දිනයේ දෙවන දඬුවම් පහර සාර්ථක කරගැනීමට සමත් වූයේ නැවතත් දකුණු අප්‍රිකාව පෙරමුණට රැගෙන එමිනි. (දකුණු අප්‍රිකාව 06 – 03 එංගලන්තය)

වෙනස් මුහුණුවරකින් අවසන් සටනට සැරසෙන දකුණු අප්‍රිකානුවන්

දකුණු අප්‍රිකානුවන් තරග සැලසුම් සකස් කිරීමේ දී මෙන්ම ඒවා ක්‍රියාවට නැංවීමේ…..

ඉන් අනතුරුව තරමක් තම ආරක්ෂාකාරී තරග රටාවෙන් අත්මිදුණු එංගලන්ත ඉදිරි පෙළ දකුණු අප්‍රිකානු බැමි බිඳ හෙලීමින් යම් පීඩනයක් ඔවුන් වෙත එල්ල කිරීමට උත්සහ දැරූ අතර ඔවුන්ගේ එම සූක්ෂ්ම උපායට හසු වූ දකුණු අප්‍රිකානු ක්‍රීඩකයින් ලබා දුන් දඬුවම් පහර අවස්ථාව ලකුණු රැස් කිරීමේ මාර්ගයක් බවට පරිවර්තනය කිරීමට Farrell සමත් විය. (දකුණු අප්‍රිකාව 06 – 06 එංගලන්තය)

මෙම අර්ධයේ දී දෙපිලේම කැපී පෙනෙන ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම හට නැවත විවේකාගාරය බලා පිටත්ව යාමට සිදු වූයේ ඔවුන් ඉතාමත් අවාසනාවන්ත ලෙස ආබාධ තත්වයන්ට ගොදුරු වූ නිසාවෙනි.

Springboks බලාපොරොත්තු මොහොතකට ඉහළ නංවාලමින් අවස්ථා දෙකක දී එංගලන්ත ක්‍රීඩකයින් විසින් පූජා කළ දඬුවම් පහර Handre Pollard මැනවින් ඔවුන්ගේ වාසියට හරවා ගැනීමට සමත් වූ අතර ඔහුගේ පා පහර දීමේ කුසලතාව නිසාවෙන් ප්‍රථම අර්ධය අවසානයේ දී ලකුණු 6ක පරතරයක් පවත්වා ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත්කම් දැක්විය. (දකුණු අප්‍රිකාව 12 – 06 එංගලන්තය)

පළමු අර්ධය: දකුණු අප්‍රිකාව 12 (4P) – 06 (2P) එංගලන්තය

විවේක කාලය අතරතුර දී තමන් ගොඩනඟාගත් එම රිද්මය ඔවුන්ගෙන් ගිලිහී යාමට ඉඩ නොදුන් Siya Kolisi ප්‍රමුඛ දකුණු අප්‍රිකානු ඉදිරිපෙළ ක්‍රීඩකයින් එතෙක් වේලාවක් උදා කරගත් Scrum අවස්ථා පහම ජය ගත්තේ ප්‍රතිවාදීන් වෙත දැඩි අභියෝගයක් ලබා දෙමිනි.

Off side, Not moving away වැනි වළක්වා ගත හැකි ගණයේ අත්වැරදීම් කිහිපයක් දෙපිලේම ක්‍රීඩකයින් අතින් සිදු වූ අතර එම අවස්ථාවන්ගෙන් නිසි ඵල නොගතහොත් තරගයේ අවසන් තීරණයට එය දැඩි ලෙස බලපෑ හැකි බව අවබෝධ කර ගත් Farrel සහ Pollard දෙදෙනා එංගලන්තය සහ දකුණු අප්‍රිකාව වෙනුවෙන් පිළිවෙළින් දඬුවම් පහර දෙක බැගින් සාර්ථක කරගැනීමට සමත් විය. (දකුණු අප්‍රිකාව 18 – 12 එංගලන්තය)

මීළඟ ලෝක කුසලානය පැවැත්වෙන්නේ කොහේ ද?

2022 වසරේ දී පැවැත්වීමට නියමිත එළඹෙන සත් සාමාජික රග්බි ලෝක….

කාලය ගත්වත්ම ක්‍රමයෙන් උණුසුම් වූ තරගය එංගලන්ත කණ්ඩායමෙන් උදුරා ගැනීමේ පළමු වෙඩිමුරය දියත් කිරීමට සමත් වූයේ දකුණු අප්‍රිකානු Wing ක්‍රීඩක Makazole Mapimpi විසිනි. Lukhanyo Am සමඟ එක්ව එංගලන්ත ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම නිරුත්තර කරමින් ධවල රේඛාව අභිබවා ගිය Mapimpi විසින් අත්‍යාවශම මොහොතේ රැස්කළ එම විශිෂ්ට උත්සාහක දිනුමේ වටිනාකම තවත් වැඩිදියුණු කරමින් Pollard අමතර ලකුණු රැස්කිරීමේ කාර්‍යභරය නිසියාකාරව ඉටු කරන ලදි. (දකුණු අප්‍රිකාව 25 – 12 එංගලන්තය)

වේල්සයට එරෙහිව පැවති අවසන් පූර්ව තරගය සඳහා කණ්ඩායම සමඟ එක්වීමට තිබූ අවස්ථාව ආබාධයක් නිසාවෙන් අහිමි වූ නමුත් අවසන් මහා තරගයේ දී දකුණු අප්‍රිකානු වර්ණයන්ගෙන් සැරසීමේ භාග්‍ය උදාකරගත් Cheslin Kolbe දර්ශනීය ප්‍රවර්තිත උත්සාහක දිනුමක් වාර්තා කරමින් සුවහසක් Springboks ප්‍රේක්ෂකයන්ගේ ඒකායන පැතුම මල්ඵල ගැන්වීම සඳහා අවශ්‍ය අවසන් පියවර සකසා දීමට සමත් විය. (දකුණු අප්‍රිකාව 32 – 12 එංගලන්තය)

කාලගණන යන්ත්‍රයේ 80 වැනි මිනිත්තුව සටහන් වන තෙක් එංගලන්තය නිහඬව තබා ගැනීමට පොර බැදූ දකුණු අප්‍රිකානු රග්බි විරුවන් 2007 වසරෙන් පසුව ප්‍රථම වතාවට Webb Eliss ලෝක කුසලානයේ පහස විඳ ගැනීමට වාසනාවන්ත වූයේ මුළු මහත් දකුණු අප්‍රිකානු ජාතියම නැවත වතාවක් එක කොඩියක් යටතට එකරාශී කරමිනි.

අවසන් ලකුණු තත්වය: දකුණු අප්‍රිකාව 32 (2T,2C,6P) – 12 (4P) එංගලන්තය

තරගයේ වීරයා – Duane Vermeulen (දකුණු අප්‍රිකාව)

ලකුණු රැස්කළ ක්‍රීඩකයෝ

  • දකුණු අප්‍රිකාව – Handre Pollard (2C,6P), Makazole Mapimpi (1T), Cheslin Kolbe (1T)
  • එංගලන්තය – Owen Farrell (4P)

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<