වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (5) ඕමානයේ දී ආරම්භ වූ අතර එහි දී තරගාවලිය ආරම්භ කරමින් පැවැති ශ්‍රී ලංකාව සහ මැලේසියාව අතර තරගයෙන් කඩුලු 9ක පහසු ජයග්‍රහණයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම සමත් වුණා.
ඕමානයේ Al Amerat ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දු යැවීමට තීරණය කළා. ඒ අනුව පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි මැලේසියා ක්‍රීඩකයෝ ලබා ගන්නේ සියලුම දෙනා දැවී ලකුණු 88ක් පමණයි. ඊට පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුල්ලක් පමණක් දැවී තවත් පන්දු 217ක් ම ඉතිරි කර ගනිමින් ප්‍රතිවාදී ඉලක්කය සපුරා ගන්නවා.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
විරාන් චමුදිත (නායක), රෙහාන් පීරිස්, සෙනුජ වැකුණගොඩ, ගිම්හාන් රසාංජන, සනුල් වීරරත්න, චනිරු සේනාරත්න, ලිත්ම පෙරේරා (කඩුලු රකින්නා), විග්නේශ්වරන් ආකාශ්, සෙත්මික සෙනෙවිරත්න, ලතෙන්ද්ර ආකාශ් සහ කෞෂික කුමාරසිංහ.
මැලේසියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම
Deeaz Patro (නායක), Syamil Aqil, Asyraf Mikail, Firash Taqiuddin, Alif Haziq (කඩුලු රකින්නා), Aiyadh Iskandar, Dzul Syahmi, Nagineswaran Sathnakumaran, Muhammad Nurhanif, Arryan Iskandar සහ Nur Iman.
ජයග්‍රාහී එම ඉනිමේ දී රෙහාන් පිරිස් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගන්නවා. ඊට අමතර ව සෙනුජ වැකුණගොඩ පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 30ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා මෙම ඉනිම් ක්‍රීඩා කරන්නේ ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළ නායක විරාන් චමුදිත ලකුණු නොලබා ම දැවී ගිය පසුවයි. ඒ අනුව ඔවුන් දෙදෙනා විසින් 2 වැනි කඩුල්ලට පන්දු 80ක දී නොදැවුණ ලකුණු 91ක සබඳතාවක් ද ගොඩ නැගුවා.
ශ්‍රී ලංකා ඉනිමේ දැවී ගිය එක ම කඩුල්ලේ හිමිකාරීත්වය දකුණතින් මඳ වේග පන්දු යැවූ Nagineswaran Sathnakumaran සතු වුණා.
- 19න් පහළ ආසියානු කුසලානයට යන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කරයි
- හර්ෂිතාට පළමු වරට ශ්‍රී ලංකා කණ්ඩායමක් මෙහෙයවීමේ වරම්
- MCA T20 පළමු දිනයට අර්ධ ශතක 5ක්
- පාකිස්තාන පොඩ්ඩෝ අවසන් තරගයත් ජය ගනී
- ගාල්ල මහින්ද විද්‍යාලය අවසන් පූර්ව වටයට
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මැලේසියා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වූයේ ආරම්භක දකුණත් පිතිකරු Syamil Aqil. ඔහු ඉනිමේ 5 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 50කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 51ක් ලබා සිටියා.
ඔහුට අමතර මැලේසියා ඉනිමේ අනෙක් සෑම පිතිකරුවෙක් ම තනි ඉලක්කමේ ලකුණුවලට සීමා කිරීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වුණා. එසේ වූවත් ඉනිමේ 2 වැනි කඩුල්ල සඳහා පන්දු 55ක දී ලකුණු 52ක සබඳතාවක් එක් කිරීමට Syamil Aqil සහ Firash Taqiuddin සමත් වුණා. Firash Taqiuddin එම ලකුණු අතුරින් ලකුණු 6ක් පමණක් ලබා ගත් අතර ඊට පන්දු 26ක් වැය කළා.
එතැන් සිට දැවී ගිය කඩුලු 8 ලකුණු 19ක් තුළ දවා ගැනීමට කෞෂික කුමාරසිංහ, විග්නේශ්වරන් ආකාශ් සහ චනිරු සේනාරත්න සමත් වුණා. එහි දී දකුණතින් මඳ වේග පන්දු යැවූ කෞෂික කුමාරසිංහ ලකුණු 30කට කඩුලු 5ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
විග්නේශ්වරන් ආකාශ් ලකුණු 7කට කඩුලු 3ක් දවා ගනිද්දී චනිරු සේනාරත්න කඩුල්ලක් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- මැලේසියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 88 (28.1) Syamil Aqil 51, කෞෂික කුමාරසිංහ 5/30, විග්නේශ්වරන් ආකාශ් 3/07
- ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුල්ලක් දැවී 91 (13.5) රෙහාන් පීරිස් නොදැවී 54, සෙනුජ වැකුණගොඩ නොදැවී 30
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 9ක ජයක්.
- තරගයේ වීරයා – කෞෂික කුමාරසිංහ (ශ්‍රී ලංකාව)
ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය නොවැම්බර් මස 7 වැනිදා බංග්ලාදේශය සමඟින් පැවැත්වීමට නියමිතයි.
වයස අවුරුදු 19න් පහළ ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.





















