2022 වසරේ T20 කණ්ඩායමට වනිඳුගේ නමත්!

529

ICC විසින් නම් කළ 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම සඳහා ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගගේ නම ද ඇතුළත් වී තිබෙනවා.

ගෙවුණු 2022 වර්ෂයේ විස්සයි විස්ස තරග රටාවේ දී පිත්තෙන්, පන්දුවෙන් සහ තුන් ඉරියව්වෙන් ම කැපී පෙනෙන දස්කම් දැක්වූ ක්‍රීඩකයින් එකොළොස් දෙනෙකු තෝරා ගනිමින් ICC විසින් මෙම විස්සයි විස්ස කණ්ඩායම නම් කර ඇති අතර එහි සිටින එකම ශ්‍රී ලාංකික නියෝජනය වන්නේ වනිඳු හසරංගයි.

නව ආසියානු ශූරයින් ලෙස කිරුළු දැරීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය වසරේ දී සමත් වූ අතර එම තරගාවලියේ දී තරග හයක දී කඩුලු නවයක් සහ අවසන් මහා තරගයේ කණ්ඩායමට අවශ්‍යතම මොහොතේ රැස් කළ වේගවත් ලකුණු 37ත් නිසා තරගාවලියේ වීරයා බවට පත්වීමට වනිඳු සමත් වුනා.

එමෙන්ම නිමා වූ විස්සයි විස්ස ලෝක කුසලානයේ ද තරග අටක දී කඩුලු 15ක් බිඳ හෙළමින් තරගාවලියේ වැඩිම කඩුලු ලාභියා වීමට සමත් වූ වනිඳු 2022 වසර නිමා කළේ එම වසරේ විස්සයි විස්ස පිටියේ පස්වැනියට වැඩිම කඩුලු ලාභියා ලෙස කඩුලු 34ක් දවා ගනිමිනුයි.

වනිඳුට අමතරව ඉන්දීය ක්‍රීඩකයින් තිදෙනෙක්, පාකිස්තාන සහ එංගලන්ත ක්‍රීඩකයින් දෙදෙනා බැගින්, නවසීලන්තයෙන්, සිම්බාබ්වේ දේශයෙන් සහ අයර්ලන්තයෙන් එක් ක්‍රීඩකයකු බැගින් මෙම කණ්ඩායමට ඇතුළත් වී තිබෙනවා.

කණ්ඩායමේ නායකත්වය සහ කඩුලු රැකීමේ කාර්ය පැවරී ඇත්තේ එංගලන්ත ක්‍රීඩක Jos Buttler හටයි.

  • ICC විසින් නම් කළ 2022 වසරේ විස්සයි විස්ස කණ්ඩායම: Jos Buttler (එංගලන්තය), Mohommad Rizwan (පාකිස්තානය), Virat Kohli (ඉන්දියාව), Suryakumar Yadav (ඉන්දියාව), Glenn Phillips (නවසීලන්තය), Sikandar Raza (සිම්බාබ්වේ), Hardik Pandya (ඉන්දියාව), Sam Curran (එංගලන්තය), වනිඳු හසරංග (ශ්‍රී ලංකාව), Haris Rauf (පාකිස්තානය), Josh Little (අයර්ලන්තය)

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ICC ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<