2028 ඔලිම්පික් උළෙලට ක්‍රිකට් ක්‍රීඩාව එකතු කිරීමේ බලාපොරොත්තු තවමත් ජීවමානයි!

2028 Olympics Los Angeles

266

2028 ඔලිම්පික් (LA28) උළෙල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීම නිල වශයෙන් ම ප්‍රතික්ෂේප වී නොමැති බව ESPN cricinfo වෙබ් අඩවිය විසින් වාර්තා කරනවා.

2028 වසරේ Los Angeles වල දී පැවැත්වීමට නියමිත 2028 LA ඔලිම්පික් උළෙල වෙනුවෙන් විස්සයි විස්ස තරග රටාවෙන් (කාන්තා සහ පිරිමි දෙඅංශයෙන් ම) කණ්ඩායම් හයක් පමණක් සහභාගී වන ඉසව්වක් ඇතුළත් කිරීමට ICCය වෙතින් යෝජනාවක් සිදු කර තිබෙනවා.

මීට පෙර යම් මාධ්‍ය වාර්තාවල සඳහන් වුනේ LA28 ඔලිම්පික් උළෙල වෙනුවෙන් ක්‍රිකට් ක්‍රීඩාව ඇතුළත් කිරීමේ උත්සාහය ව්‍යර්ථ වූ බව වුනත්, ඊයේ (21) ESPN cricinfo වෙබ් අඩවිය මගින් සඳහන් කර ඇති තොරතුරු අනුව තවමත් එවැනි තීරණයක් ගෙන නොමැති අතර LA28 සංවිධානයකින් විසින් මාර්තු මාසයේ දී නව ක්‍රීඩා ලැයිස්තුව සැකසීමෙන් පසු ආසන්නව ඔක්තෝබර් මාසයේ දී (මුම්බායි හී පැවැත්වීමට නියමිත සැසියේ දී) ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව (IOC) විසින් මේ පිළිබඳ ව අවසන් තීරණයක් ගනු ඇත.

මෙම යෝජනාව පිළිගතහොත් බොහෝ විට තෝරා ගත් කඩඉම් දිනයක දී ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 6 නියෝජනය කරන කණ්ඩායම් 6ක් ඔලිම්පික් උළෙලට සහභාගී වනු ඇත. ICCය තවමත් තරගාවලි ආකෘතිය පිළිබඳ අවසන් තීරණයක් ගෙන නොමැති අතර, එය ඔලිම්පික් සංවිධායක මණ්ඩලය සමග එකතුව සිදු කරනු ඇති බවයි වාර්තා වන්නේ.

මෙහි දී ක්‍රිකට් ලෝක ශූරතාවක් පැවැත්වෙන තරග රටාවක් ඔලිම්පික් වෙත සහභාගී වීම සහ (T10 තරග රටාව නො සලකා හැර ඇත්තේ එබැවිනි.) කෙටි කාලසීමාවක් තුල වැඩි ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනා ගැනීමට හැකි වීම ද සලකා බලා ඇත.

එමෙන්ම මෙහි දී “Olympic Agenda 2020+5” යන උපාය මාර්ගික සැලැස්ම අනුව IOCය විසින් ඔලිම්පික් වෙත යෙදෙන පිරිවැය අවම කර ගැනීමට උත්සාහ දරමින් සිටින අතර, 2020 ටෝකියෝ ඔලිම්පික් වෙත සහභාගී වූ ක්‍රීඩක සංඛ්‍යාව 11,300ක් වූ අතර, එය 2024 දී 10,500 තෙක් අවම කර ගැනීමට ද මෙම සැලැස්ම අනුව සමත් වී තිබෙනවා.

මේ සැලැස්මේ තවත් එක් ඉදිරි පියවරක් ලෙස ක්‍රිකට් ක්‍රීඩාව කණ්ඩායම් හයක පමණක් සහභාගීත්වයෙන් පැවැත්වීමට සැලසුම් සකසන බවයි වාර්තා වෙන්නේ. එමෙන්ම LA28 විසින් ICCයට දන්වා ඇති පරිදි ක්‍රීඩා ඉසව්වේ ගුණාත්මක ස්වභාවය ඉහළ මට්ටමෙන් පවත්වා ගත යුතු වීම සහ හොඳම කණ්ඩායම් ක්‍රීඩා කළ යුතු වීමේ අශ්‍යතාවය ද මෙසේ කණ්ඩායම් හයක් පමණක් තෝරා ගැනීමට හේතු ලෙස සඳහන් වනවා.

එමෙන්ම ක්‍රිකට් ක්‍රීඩාව ඔලිම්පික් වෙත තෝරා ගත හොත් කාන්තා සහ පිරිමි සියලුම තරග එකම ක්‍රීඩාංගණයක පැවැත්විය යුතු බවට ද ICCය වෙත LA28 මගින් දන්වා තිබෙනවා.

එමෙන්ම මෙහි දී ක්‍රිකට් සමඟ තවත් ක්‍රීඩා ඉසව් අටක් (Baseball/Softball, Flag Football, Lacrosse, Break Dancing, Karate, Kickboxing, Squash සහ Motorsport) LA28 සඳහා තේරී පත් වීමට තරග වදින බවයි වාර්තා වන්නේ.

මේ අතර වත්මන් BCCI ලේකම් මෙන්ම ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරය ද හොබවන Jay Shah හට ICCයේ ඔලිම්පික් කණ්ඩායමේ සාමාජිකත්වය හිමි වී ඇති බවත් ESPN විසින් වාර්තා කරනවා.

දිනෙන් දින උණුසුම් වන ක්‍රීඩා පිටියේ නවතම තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com සමඟින්.

ESPN cricinfo ඇසුරිනි.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<